Saturday, June 23, 2012

වස්සාන ප්‍රීතිය

Saturday, June 23, 2012
                   වැස්ස මේ දවස් වල වහින්නෙ මහ පුදුමාකාර විදිහට.මේ වහිනවා, ලවක් දෙවක් නැතුව. තව ටිකකින් ආයෙමත් තදට ඉර අව්ව. පුංචි කාලෙ නම් කියන්නෙ අව්වයි, වැස්සයි නරියගෙ මගුලයි කියලා. කවුරු හරි කසාද බඳින දවසට වැස්සම කියන්නෙ ගම් පළාත්වල මනමාලි පොල් බීන්දින කොට හිල් පොල් කට්ටෙන් පොල් වතුර බීල තියෙන නිසයි එහෙම වහින්නෙ කියලා.
    ඔන්න ඒ පාර විදුලිකොටනව, ගොරවනව, ඒත් ඒතරම් තදේට නෙවෙයි. මෙහෙට වහිනව වුණාට රජරට පැත්තට වැහි පොදක් වැටෙන්නෙ නැති තරමට කාෂ්ඨකේ කියල රූපවාහිණී ප්‍රවෘත්ති වලින් කියැවෙනවා. පහුගිය මාසේ ඉහින් කණින් දහදිය උතුරන්න පෑව්වා. ඇහි පිල්ලම් වලිනුත් දහදිය බිංදු කම්මුලේ ඉස්සෙච්ච කෑල්ලට වැටෙද්දි 'මෙහෙමත් දහදිය දැමිල්ලක්' කියල කාටත් කියැවෙන්න ඇති. ඒ රස්නෙ දැන් ඇබින්දක් අඩුයි, වැස්ස නිසා. 
 
අපි පුංචි කාලෙ, වහිද්දි වැහි වතුර වැටෙන පීල්ලට ඔලුව අල්ලලා නාන්න අපි හරිම ආසයි. එතකොට අපි හැමදාම නාන්නෙ නැහැ. නාන දවස් සෙනසුරාදා සහ ඉරිදා. අපෙ අම්ම කියනව අඟහරුවාදාටයි, සිකුරාදටයි නාන්න හොන්ද නැහැ කියලා. අම්ම කියන්නෙ  දවස් වල නෑවහම පුතලට හොඳ නැහැලු. ඒ ගොල්ලො ලෙඩ වෙනවලෞ. කෙල්ලන්ගෙන් ගෙන් නම් අම්මලාට අඵල නැහැ මොනම දවසක නෑවත් කියල මම අපේ මල්ලිලාට ඇහෙන්න කියනවා. ඒ වුණාට අම්මා අපිට වඩා පුතාලට ආදරේ වැඩියි කියල මට නං වෙලාවකට හිතුණා. එහෙම පුංචි කාලෙ විතරයි. මොකද මගෙ දුකේදිත් සැපෑඉදිත් අම්මා හෙවනැල්ල වගෙ මගෙ ළඟින් හිටියා, අපෙන් සදහටම සමු ගෙන යන කල්. කොහොමින් හරි වහින දාට අම්මගෙන් හරි පුංචි ගෙන් හරි අහන්නෙ නැතුවම අපි ඉස්සරහ ඉස්තෝප්පුවෙ දෙපැත්තෙන් වැටෙන වැහි පීලි දෙකෙන්ම නාගන්නව. ලොකු මල්ලි එකක, මම එකක. ගෙදර ඉන්න අවෂේශ අයත් අපිට එකතු වෙනවා. නන්දක්ක, කුසුම නැන්දා, අනුලක්කා  ... මේ අය අපට නාදෑයන් වන අය. ඒ ගොල්ලො කැමතියි, අපේ ගෙදර ඇවිත් ඉන්න. අපි වස්සාන ප්‍රීතිය විඳින්නෙ එහෙමයි, පුංචි කාලෙ. පොත් වල කොළ ඉවරයි, බෝට්ටු හදල. මිදුලෙ වතුරෙ පිරිච්ච තැන්වලට වැස්සෙම ගිහින් කඩදාසි බෝට්ටු දමනවා. කාණු වලටත් කඩදාසි බෝට්ටු දමල ඈතට ආතට ගිහින් නොපෙනී යන කල් බලා ඉන්නව. පුන්චි කාලේ වස්සන ප්‍රීතියයි, ලොකු වුනහම
වස්සාන ප්‍රීතියයි මොන තරම් වෙනස්ද?

     මගෙ ලේඛිකා යෙහෙළියක් මට දවසක් ඊ මේල් එකක් එව්වා, වස්සාන ප්‍රීතිය ගැන. එතකොට මම හිටියෙ ඇෆ්ඝනිස්තානෙ. එහෙට වහින්නෙම නැහැ. දැන් එහෙට වහිනවද දන්නෙත් නැහැ. මොකද ඉස්සර වහින්නෙ නහැ කියල කියන ඩුබායි වල මම හිටිය එක දවසක පාරවල් පිරිල උතුරන්න වැස්සා. මගෙ මිතුරිය ලිව්වෙ හොඳටම කළු කරල වහින වෙලාවට ප්‍රේම කරන්න අවස්ථාවක් ලැබෙනව නම් ඉස්තරම් කියල. ඇරපු ජනෙල් වලින් එන හිරිකඩ ඇඟේ පතේ තැවරෙන කොට හිරිගඩු පිපිලා සියොලඟම හිරි වැටී යද්දි ආදරවන්තයට තුරුළු වෙලා ඇස් පියාගෙන ඉන්න ඇය හරිම ආසලු. ඒ ලියුමෙ ශෘංගාරය උතුරනවා.
     මට මතක් වුණේ එහෙට එහෙම ඒ වගෙ වැස්සක් ආවොත්  මොන
වස්සාන ප්‍රීතියක්ද කියලා. මැටි ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගෙ ජීවිතවලට මොන කලක් යාවිද? එහෙ මැටි ගෙවල් වල වහලත් මැටියෙන්, උලු හෝ ටකරං හෝ හෙවිලි කරල තියෙන්නෙ ගෙවල් කිහිපයක විතරයි. බහුතරයක් ජීවත් වෙන්නෙ මැටි ගෙවල් වල. හේමන්තයට මැටි වහලවල් වලට හිම වැටෙනව. සුදට සුදේ හිම තට්ටු තට්ටු මැටි වහලේ සනීපෙටසැතපිලා ඉන්නව කිටිකිටියේ එකට ළං වෙල, තද සීතලට තවත් ටිකක් ඇලවිලාම හිටියොත් හොඳයි කියලා. හිම කැටිවලට තේරෙන්නෙ නැහැ, එහෙම පැය ගාණක් හිටියොත් මැටි මොළොක් වෙලා කඩා ගෙන වැටෙයි කියල. හැබැයි මේ කාරණේ පරම්පරා ගණනක අත් දැකීමෙන් දන්න ඇෆ්ඝන් මිනිස්සු ඉක්මණට වහලෙට නැගල සවල් වලින් මේ හිම තට්ටු පොළවට ඇදල දමනව.
   වැස්ස ගැන කියන්න පටන් ගත්තට දැන් හිම දක්වා කතාව විහිදිලා. වැස්සත් හිමෙත් ඒ හැටි වෙනසක් නැහැ නෙ. වතුර වලම ස්වභාවයන් දෙකක්.
සෙන්ටිග්‍රේඩ් අංශක 100 දි වතුර උතුරල වාෂ්ප බවට පත්වෙනව. සෙන්ටිග්‍රේඩ්  සෘණ අංශක  වලදි  වතුර මිදිලා හිම බවට පත් වෙනවා. භෞතික විද්‍යා පාඩමේදී මුලින්ම ඉගෙන ගත්තු හිමාංකය, තාපාංකය මතකයට එනවා.
                 සමහර මිනිස්සුන්ගේ සිත් හැම තිස්සේම හිමාංකයේ පවතින්නෙ. තරහ යන්නෙ නැහැ. ද්වේෂ කරන්නෙ නැහැ. වෛර කරන්නෙ නැහැ. ඒත් තවත් සමහරෙකුගෙ සිත් හැම තිස්සෙම තියෙන්නෙ තාපාංකයෙ. උතුර උතුර, පැසව පැසව, අනුන් කෙරෙහි කෝපයෙන්, ඊර්ෂ්‍යාවෙන්....ඒ අයට කියන්නෙ කිසිම තෙතමනයක්
නැති මිනිස්සු කියලා. අනුන් ගෙ දුකට උණු වෙන්නෙ නැති හිත්. ඒ හිත්වල රුධිරයත් රත් වෙලා කැකෑරෙනව ඇති. ඒ අයගෙ රුධිර පීඩනය වැඩි ඇති හැම තිස්සෙම. සමහරුන්ට රුධිර පීඩනය පාලනය කරන බෙහෙත් වලටවත් 'ප්‍රෙෂර්' අඩු වෙන්නෙ නැහැ. සමහරු ප්‍රෙෂර් පෙත්ත ත්තෙ නැති වුණහම බොහොම කලබල වෙනවා. අපි නම් ඒකට කියන්නෙ 'ප්ලෙෂර්' පෙත්ත කියලා.
 
           වැස්ස යාන්තම් පෑව්වා විතරයි, පුංචි ළමයි කට්ටියක් ඇවිත් පිට්ටනියට සෙල්ලම් කරන්න. ඔන්චිල්ලාවල වතුර පිරිලා, ඉ
ගන්න බැරි  තරමට. 'සී සෝ' වල පහළට වැටිල තියෙන කෑලි වලත් වතුර. දරුවන් බොහොම සීරුවෙන් වතුර අයින් කරනවා. වැස්සක් කරල තියෙන දේවල්?
     වැස්සට සම්බන්ධ වනාන්තරත් තියෙනව. ඒ වැසි වනාන්තර. කිසියම් වන්නතරයක් වැසි වනාන්තරයක් වෙන්නෙ, වසරකට මිලි මීටර් 1750-2000 ක  වර්ෂාපතනයක් තිබුණොත් විතරයි. අඟල් වලින් නම් 68-78 ක්. ඒක තමයි ප්‍රමිතිය. මේ වනාන්තර ලෝකයේ තිබෙන විශාලතම ස්වභාවික ඔසු සැල්. ඒ තරමට ස්වභාවික ඖෂ
වලින් පිරිලා. ඒ විතරක්ද? ජෛව විවිධත්වය  . .. කුරුල්ලන් වර්ග, කෘමීන් වර්ග හා සත්ව වර්ග වගෙම ගස් කොළන්, පැලෑටි වර්ග . . . මේවා රැක ගැනීම අප හැමෝගෙම යුතුකමක්. 



අපේ රටෙත් 'සිංහරාජ' වනය විශාල සම්පතක් අපට. ඒත් 'සිංහරාජ' වගෙ වන දහනවලට ගිහින් ලී ජාවාරම් කරන මිනිසුන් වුණත් මට හිතෙන්නෙ අර කලින් කිව් හිතේ කිසිම තෙතමනයක් නැති මිනිස්සු කියලා. හිත් පිත් නැතුව ගස් බිම පෙරලලා කරන වන විනාශයෙන් අපේ අනාගත දරුවන්ග්ට බොන්ඩ තියෙන වතුර පොද නේද මේ විනාශ කරන්නෙ කියල හිතන්න බරි තරම් රුපියල් සත ඒ මොළ ගෙඩිවලට ලොකු වෙලා. ගහ කොළ වලට, සතා සීපාවට ආදරේ කළා, අපේ මුතුන් මිත්තො. ඉතාම ඈත යුග වල ඔවුන් ගස්, ගල් වලට නමස්කාර කළා. පුද පූජා පැවැත්වුවා. ඒකට සමහරු හිනා වුණත් තමන්ට කන්න අඳින්න දෙන, රැක බලා ගන්න ගස්, ගල්, ඉර, හඳට වැන්ද එකෙන් මට නම් පෙනෙන්නෙ ඔවුන් කළ ගුණ සැලකීම පුරුදු පුහුණු කළා කියලයි. ඒක උතුම් මනුෂ්‍ය ගුනාංගයක්. ඔවුන්ගේ ඒ යහපත් ක්‍රියා නිසා අද අපිට මේ විදියට සතුටින් ඉන්න ලෝකයක් තියෙනව. වතුර තියෙනවා. ඒත් අපෙන් පස්සෙ පරම්පරා ගණනාවකට මොනවගෙ ජීවිතවලට මුහුණ දෙන්න වෙයිද, වතුර නැතුව?

7 ක් අදහස් දක්වලා.:

Dilip Saparamadu said...

නියමයි අක්කා ..සුභ පැතුම්

TG said...

අර යාලුවගේ සෘංගාර ඊ මේල් කතාව දැක්කම මට මත්ක්වුනේ " ගෝපිකාවත් තුරුලට අරන් මේඝ ලතා විජ්ජු ලතා බලන්න හිතා මේඝය දැන් කැමතිනම් වහින " කිව්ව ධනිය ගෝපාලයා :)

වැස්සත් නා නා ප්‍රකාර මනෝ භාවයන් ගේනවනේ

Il mondo di una povera pazza said...

කාලෙකට පස්සෙ මෙන්න මෙයා ලියලා.

හරිම සතුටුයි ලියන්න ගත්තට. ඒ විතරක් නෙමෙයි වැස්ස එක්ක සම්බන්ද බොහෝ මතක අලුත් කලාට....

Dinesh said...

ගොඩක් කාලෙකෙන්නේ ලිපියක් දාලා තියෙන්නේ..

Pushpa Ramlani said...

අදහස් පළ කළ හැමෝටම හෘදයංගම කෘතඥතාවය පළකරන්නෙ, නොමසුරුවයි. වැස්ස ගැන ලියන එක වැස්ස නිසාම අතරමග නතර කරල තමයි, පුලින තලාවෙ ඇතිරුවෙ. ඉතුරු ටික අද ලියන්න ඕනි. ඒකත් කියවන්න කියලා ඇරියුම් කරනවා, ආදරයෙන්.

Chandi said...

අක්කේ , කාලෙකින් ලීවත් වටිනාකම ඉහලයි. ඇත්ත , ගස් වලට වද හිංසා දෙන්නෙ හිත්පිත් නැති අය. මේව රැක ගැනීම අපේ යුතුකම. අපේ රටේ ලොකු ලොක්කොත් මේවට උල්පන්දම් දෙන නිසා කරන්න දෙයක් නෑ. වෙන රට වල පරිසරය සුරැකීම හරිම ඉහලයි. ස්තූතියි! පෝස්ට් එකට.

Hasitha said...

අයං වස්සාන කාලෝ

Post a Comment