Wednesday, June 27, 2012

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ . . . .

Wednesday, June 27, 2012

                             කිසිම කමකට නැතුව වහින වැස්සට සමහරු දෙස් තිබ්බට අපේම රටේ උදවිය වැස්ස නැතුව අහසට හූල්ලනවා. වැව් පිරෙන්න වැසි වසීවා! කියල මම හැම තිස්සෙම කියනවා. අපට බත් දෙන්න පොළවත් එක්ක හැප්පෙන ගොවියන්ට ඉරි තැලුණු පොළව දිහා බලා ඉන්න බැරුව අහසටම දෑස් යොමා ගෙන. 

  නන්දක්කගෙ ගීතයක් මතක් වෙනවා.

 'වැස්ස වළාහක දෙවියනි, දිවැස් හෙළනු මැන'

                        වැසි වනාන්තර රැක ගන්න ඕනි අපි හැමෝම එකතුවෙලා. ඒ වගෙම වන දහනත් රැක ගන්න එක අපි හැමෝගෙම යුතුකමක්. අපේ රටේ 'සිංහරාජය' ගැන මම කලින් සටහනෙත් සඳහනක් කළා. ඒකෙ ඌණ පූරයක් කරන්න අවශ්‍යයි. මේ වන දහන ලංකාවේ සබරගමුව, දකුණ වගෙම බස්නාහිර පළාත් සේරම මායිම් කරල නිර්මාය කර තිබෙන්නෙ රටේ වැඩි පිරිසකට මේ අපූරු ඔසු උයනින් ප්‍රයෝජන ගත හැකි වන ආකාරයට. මෙහි නිර්මාතෘ වරයා ලෙස පොත පතෙහි දක්වෙන්නේ හෙළයේ මහ වෙදැදුරෙකු ලෙස සලකන රාවණ රජතුමායි.

  මෙයට පිවිසෙන්නට වඩාත්ම පහසු මග, කලවාන-වැද්දාගල මාර්ගය සේ කිව හැකි අතර මෙය කොළඹ සිට නම් කිලෝ මීටර් 154 ක දුරක් ගෙවා යා යුතුයි. මේ ඔසු උයනේ වපසරිය හෙක්ටයාර් 160 පමණ වෙනවා.
   ලංකාවේ ප්‍රධාන ගංගා දෙකක් වන කළු ගඟත්, ගිං ගඟත් පටන් ගන්නේ මේ වන පෙතේ, දිය උල්පත් වලින් කියලත් පිළිගත් මතයක්. අපේ රටේ පහත රට තෙත් කලාපයට අයිති ශාක වර්ග 60% ක් විතර මෙම අඩවියේ තිබෙන අතර ඒවායිනුත් 90%ක් විතරම මේ ඔසු උයනටම ආවේණික ශාක ලෙස ජීව විද්‍යාඥයින් පවසනවා. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ දිවි ගෙවන පක්ෂි වර්ග 384න් 144 කුත් මේ සිංහරාජ අඩවියෙ වෙසෙන බව සොයා ගෙන තිබෙනවා. ඒ බිම් ප්‍රදේශ වලට විතරක්ම ආවෙණික උරග වර්ග 96 කුත්, සමනල වර්ග 40 කුත් මදුරු වර්ග 36 කුත් එහි සිටින බවට වර්තමාන පර්යේෂණ වලින් ඔප්පු වී තිබෙනවා. එපමනක් නෙවෙයි, දුර්ලභ ඝ්හණයේ උඩ්වැඩියා මල් වර්ග 170ක් පමණ තිබීමත් එහි සොඳුරු බව වැඩි කරනවා.

   එක්සත් ජාතීන්ගේ  සංවිධානයේ 'යුනෙස්කෝ' මගින් වැසි වනාන්තරයක් ලෙසට 1976 දී හඳුනා ගත් අතර සම්පත් ආරක්ෂණයක් ලෙසට ද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. 

  මේ අනගි ඔසු උයන රාවණ රජතුමාගේ අප්‍රතිහත ධෛර්යය නිසා නිමැවුණු බව පුස්කොළ පොත් වල සටහන්ව තිබුණත් සමහරෙක් එය ස්වභාවික ඔසු උයනක් ලෙසට සඳහන් කරනවා.
      
   'සිංහරාජය' ගැන එන ජනප්‍රවාද බොහොමයක් තිබෙනවා. 'පුෂ්පික' කියන ගුවන් යානයෙන්  රාවණ රජු සීතාව කැටුව මෙ ඔසු උයන නැරඹීමට පැමිණි බවත්, ඔහුගේ සොහොයුරා වන කුම්භකර් මෙම උයන භාරව සිටි බවත් ඒ ජන ප්‍රවාදයන්. ඒ වගෙම කුම්භකර් භාවනා කළ ස්ථානය, 'කුම්භ ගල' ලෙසත් තවමත් ව්‍යවහාරයේ පවතිනවා.

  වැස්ස ගැන කියන්න ඇවිත් අපේ රටේ සම්පතක් ගැන මතක් කරන්න ලැබුණු එක යහපත් කියල මට නං හිතෙනවා. වැස්ස එන්න ඉස්සර වැස්සක පෙර නිමිති කියන්නෙ වැහි ලේන්නු කියල පුංචි කාලෙ අහල තිබුණා. වැහි ලේන්නු කිව්වට ඒ වැහි ලිහිණියො . . කුරුල්ලො... කෑඳැත්තාත් වැස්සට හොට අල්ලගෙන ඉන්නවලු, වැහි වතුර ටිකක් කටට වැටෙන කල්.

' වැස්ස වසින්නට ඉස්සර අහසේ වළාකුළින් විදුලිය කෙටුවා, තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝක්කඩු බැල්මෙන් බැලුවා'
'ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ , හිනාවෙයන් කළු හිනා වෙයන්'
  අමරදේව මාස්ටර්ගෙ කවදාවත් රස නොසිඳෙන සින්දු හිතෙන් දුරකට යන්නෙම නැහැ.
  ළඟදි තිබුණු 'පැණි වළලු' හැන්දෑව බලන්න ගියපු වෙලාවෙ, ඒ වැඩසටහනට කොහෙත්ම ගැල පෙන්නෙ නැති සින්දු අතර ඉරාජ් නම් වූ ගායකයගෙත්  සින්දුවක් සජීවීව අහන්න සලස්වල තිබුණා. ගීතමය හෝ කාව්‍යමය ගුණය අහලකින් වත් නොගෑවුණු, පුහ්! පුහ්! කියන ඒ විකාර, ගීත කියල සමහරු හඳුන්වන කොටත්, එවැනි ගීත නොවන අනුකරණ දේවල් දකින කොට හා අහන කොටත් අපේ සංගීත ක්ෂේත්‍රය වැසි නැති මහ ඉඩෝරයකට අහු වෙලා විනාශ වී යාවිය කියන බිය අපි හුඟ දෙනෙකුට දැණුනු බව නම් තැනින් තැන කෙරුණු පසු විපරම් වලදි හෙළිදව් වූ බවත් සටහන් කරන්නෙ, වේදනාවෙන්.

4 ක් අදහස් දක්වලා.:

AnithKona said...

වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුළින් විදුලිය කෙටුවා. මෙහෙට්ට දැනෙන ග්‍රීස්මය මේ දවස් වල.. වැස්සක් පෙනෙන තෙක් මානෙක නෑ. ඒ උනාට දකුණු කොණට වහිනවා හෝ ගාලා. ග්ලෝබල් වෝමින්ග් කියන්නේ මේකට වෙන්න ඇති.හහා.. ඉරාජ් ගේ සිංදුව !

Raj said...

අම්මපා අමරදේව මාස්ටර්ගේ ඒ ගීතයට මාත් හරිම කැමතී.... ඇත්තට බස්නාහිර පලාතට වැස්ස වැඩී මොකට මෙහෙට මෙච්චර වහිනවද වැස්ස ඔන පැත්තට වහින්නැතුව...එකෙත් හැටි...මොනා උනත් අපේ වනඝහනය පණ වගේ රැකගත යුතුමයි..එය අදට වඩා හේට හොඳටම දැනේවී

තරු (Shamithru) said...

අක්කණ්ඩි අදටත් ලස්සන ඔසු උයනක් නිරුපට්ද්‍රිතව හපුතලේන් හැරිලා ගියාම තියෙනවා. අක්කර ගාණක ඔසු උයනක්.නම කියන්න ඒ තරම් කැමැත්තක් නෑ. නම කිව්වොත් මිනිස්සු හොයාගෙන ගිහින් විනාස කරලා දාවි.ඒකත් රාවණා රජ්ජුරුවන්ගේ කාළයේ වැවූ ඔසු උයනේ වල් වැදිලා නැති කොටස.දෙතුන්පාරක් යන්න හිටියත් දවසින් ගිහින් එන්න බැරි නිසා නොගිහින් හිටියා. මේ දේවල් අපි රැක ගන්න ඕනේ.අපේ අනාගත පරපුරට

Chandi said...

අක්කේ, ගොඩාක් විස්තර දැන ගත්තා. මේ උරුමයන් රැක ගන්න අද අදම පියවර නොගත්තොත් මහ විනාසයක් වේවි. අද බිහිවන සින්දු ගැන කතා කරල වැඩක් නෑ. හොඳ ගීතයක් ඇහෙන්නෙත් කලාතුරකින් එෆ් එම් නාලිකාවල.

Post a Comment