Tuesday, September 29, 2009

උඩු මහල එක් ටැම් ගෙයක් වෙයිද?

Tuesday, September 29, 2009
අම්මා එක්කයි, අප්පච්චි එක්කයි හුරතල් වෙමින් හිටිය සුදුමැනිකෙ දවස් දෙක තුනකින් මහ ගැහැණියෙක් වෙලා. මේ ටික දවසකට කලින් දුව පැන දඟලපු සල්ගහගෙදර සුදු මැණිකෙමද මේ තැන්පත්ව කනට ඇහෙන්න කතා නොකර ඉන්නෙ?
මල්ලි හිටියා නම් අහයි,
" මේ අනේ, මොකද ඔය ඔච්චර ඩිපොසිට් වෙලා ඉන්නෙ?" කියල. 
නව දිවියක ඇරඹුම ගැන සාපේක්ෂව හිතන්නද? නිරපේක්ෂව හිතන්නද? මොළේ උළුක් වෙන ප්‍රශ්න නැතුව සැහැල්ලු විදිහට හිතන්න...කියඹු රැලි දෙකක් පළල් නළලට වැටිල. ඔය අස්සෙන් මට ලස්සන ගියක් මතක් වෙනව.
' සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වළා රොදක සැඟ විලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා....
කියඹු වැල් ලිහී ඔබේ.....'  
මේ කියඹු වැල් මාරුතේ එක්ක මිසක් යෝදයගෙ ඇඟිලි වල ඔන්චිලි පදින්නෙ නැතිවෙයි. මලිති වන මම කණ්ණාඩිය ඉස්සරහ තනියම හුරතල් වෙනව එයත් එක්කම. අර 'බඹා කෙටූ හැටි' පොතෙ වගෙ බෙල්ල කරකවල බැලුවා...මොනව හරි ලකුණු තියෙනවද කියලා...හීනෙන් හරි කවුරු හරි ඇවිත් එහෙම ලකුණක් තියල ඇති කියලා....මොකුත්ම නැහැ. තවම දවස් කීයද? දෙවෙනි ගමන ඇවිත් තවම දවස් දෙකක් වත් ගියෙත් නැහැ.
තවම ආදරේ කලල රුව පිළිසිඳ ගත්ත විතරයි නෙ. කලලය මෝරලා කිරි කැටියෙක් බිහිවෙන්න මාස නවයක් යනව වගෙ එයාගෙ හිතෙත් ආදරයක් පිළිසිඳිලා කළ එළි මංගල්ලෙට තව කල් ගත වෙයි. සම්ප්‍රදායිකා කොමල හිනාවක් දමනව.
"මළ විකාර...මධු සමයෙත් නැති ආදරේ හරියට යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියල වගෙ වැඩක් නෙ..." 
එහෙම මැදට පනින්නෙ දඩබ්බරී.
"එහෙම නෙවෙයි...ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද කියන එකයි, හරි..ඒ නිසා සුදු මැණිකෙ ඉවසපන් පපුව කියල ඉන්න. එයාට ලැජ්ජ ඇති...ආදරේ කරන්න...."
අයියෝ...මේ දෙන්නගෙ වැඩේ වාදෙමයි. මටත් නිවනක් නැහැ. මම එහෙම කිව්වට ඒ දෙන්නගෙ සජීවි සංවාදයන්ට මම හරි ලොල්. 'ඔපෙරා' වැඩ සටහනෙ ටෝක් ෂෝ එකක් වගෙ.
 බැංකු කළමණාකාර මහත්තයා නං ඇබින්දක් වත් දන්නෙ නැහැ, හුරතල් කරන්න. සේරම යුතුකම් සහ රාජකාරි විතරමයි. මමත් හරියට බැංකුවට ආපු ගනු දෙනු කාර භවතෙක් වගෙ. මගෙ තිබිච්ච තොඳොල් කම්, හුරතලේ කොහොමද මෙච්චර ඉකමණට හෝදලා, පිහිදලා, සූරල අහකට විසි කරල දමන්නෙ.... ඒ ගොල්ලො රැව්වට ගෙරෙව්වට...? 
තව ටික දවසකින් කියාවිද දන්නෙ නැහැ මගෙ කෙළි ලොල් කම, හුරතලය ඔක්කොම පොලිය නැතුව බැංකුවෙ තැන්පත් කරන්න කියල. මටත් හිතෙන පුදුම සිතුවිලි.
කැම්පස් ඉඳල ගෙදර එන හැම වෙලාවකම ගෙදරට ගොඩ වෙන කොටම අප්පච්චි මාව වඩා ගෙන තමයි, ගේ ඇතුලට ගෙනිහින් අම්මා ලඟින් තියන්නෙ. අර මට කෙණෙහිලි කම් කරන මල්ලි, "හූ...හූ.." කියල, " නාකි හුරතලේ" කියලත් කියනව ඉරිසියාවට.
" උඹ කොච්චර හූ කිව්වත් මම ඉස්සෙල්ලම දැකපු කෙල්ල නේ"  
අප්පච්චි මල්ලිගෙ හූවෙ සැර බාලකරනවා. අම්මා කෑම හදා ගෙන බලාන ඉන්නවා, මට කවන්න. බණ්ඩා, නෝනක්ක අඹ අහුලල එකතු කරල හංගල තියෙනව, මල්ලිට නොපෙනෙන්න. අම්මා කරන්නෙ මගෙ ඔලුව ඔඩොක්කුවෙ තියා ගෙන හිමින් සැරේ පිරිමදින එක. මම දන්නෙම නැතුව දොයිය බබා එත කොට. පුදුම හුරතලයක්. අම්මා එහෙම ඇවිත් මගෙ ඔලුව අත ගානවා නම් කියල හිතෙනවා, මට දැනුත් සමහර වෙලාවට.
අම්ම අපෙන් සදහටම සමුගත්තට පස්සෙත් මට දැනෙනව, මගෙ පොරෝනය අර ගෙන මට පොරවලා යනවා වගෙ. මගෙ ඔලුව අත ගානව, මගෙ කකුල් අත ගානව. ඒ සාංකාව අම්ම නැති වෙලා මාස ගණනාවක් යන කල් මගෙන් තුරන් වුණේ නැහැ. කණ්නාඩියේ ඉන්න මලිතිගෙ ඇස්වල කඳුළු...  
දෙවෙනි ගමනට පහුවදා උදේම ලොකු අක්ක කාමරේට ආව මොනවද උස්සගෙන.
" ලොකු මල්ලි, මෙන්න ඔයාගෙ සුදු මැණිකෙගෙ යුනිෆෝම්" 
ඒ මොකද්ද ඒ කතාවෙ තේරුම? හිත ඇහුවට මගෙන් මට අහන්න පුළුවන්ද එහෙම එයාගෙ ලොකු අක්කගෙන්? එයා මෙයා කිය කියා හිටියට මගෙ කසාද පුරුෂයගෙ නම කියන්නත් අමතක වුණා. එයාගෙ නම නන්දිමිත්‍ර නුගලියද්ද. දුටුගැමුණු රජ්ජුරුවන්ට ඒ නමින් යෝධයෙකුත් හිටිය කියල මට දැන් මතක් වෙනව. නන්දි පාර්සලේ අතට ගත්තා. ඒ ගමන්ම මගෙ අතට දුන්නා. 
" ලිහල බලන්න, ඔය ස්කර්ට්ස් මෙහෙ අඳින්න බැරි වෙයි...අද ඉඳල ඔසරි අඳින්න ගෙදරට" ඔන්න සැලසුම් සහගත වැඩ, පවුලට සම්ප්‍රාප්ත වූ ආගන්තුක ගැහැණියට පළමු නීතිය පනවන ලද වගයි. ව්‍යවස්ථාව මෙලහටත් සකස් කර හමාර ඇති, ටි.ඕ.ආර්. එකත් එක්කම. දන්නවනේ...ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකත් එකත් හදල සම්මත කර ගෙන ඇති.
ලොකු අක්ක අහක බලා ගෙන හිනා වෙනව. මම පාර්සලය ලිහල බලුව, අකීකරු වෙන්න බැරි නිසා. ලා පාටවල වොයිල් සාරි තුනක් එක්ක ඒවට ගැලපෙන්න මහපු හැට්ට...ඒවා නම් බෝරිච්චි අත් දමපු හැට්ට නෙවෙයි.
ඉතින් දැන් ගහන ගහන පදයට නටන්න කියන එක නේද මේ නොකියා කියන්නෙ? මම බිංකුන්ඩෙක් වෙල. මට හිතෙනව වල ඇතුලටම ගිහින් හැංගෙන්න. ඒ වුණාට නන්දි මහත්තයා බින්කුඞඩව අර ගෙන වම් අත්ල උඩ තියාගෙන,
" බිං කුණ්ඩෝ බොල බිං කුණ්ඩෝ...තෝත් නටාපන්, මාත් නටන්නම්. බිං කුණ්ඩෝ බොල බිං කුණ්ඩෝ" කියලා දකුණු අතේ දබරඟිල්ලෙන් බිං කුන්ඩගෙ වටේට වෘත්තයන් අඳිනව. බිං කුන්ඩා නටල ටිකක් නැවතුණා. 
" මලිති, ඇඳගෙන උයන ගෙට එන්ට. අද කන්ද උඩ පන්සලේ සලාක දානෙ" 
මම හිස වනල එකඟතාවය පළ කළා. එයාට අඩුම තරමින් මට නංගි කියන්න වත් බැරිද? එයා විදුහල්පතිනියක් නිසා හිතනව ඇති මමත් ඉස්කෝලෙ ළමයෙක් හෝ එයාගෙ යටතෙ ඉන්න ගුරුවරියක් කියලා. මම හිතුවා නන්දි ඇවිත් සාරි තුනෙන් එකක් මට තෝරල දේවි කියල.
මම හිතෙන් තිර රචනය ලියනව. නන්දි ඇවිත් පිට දිගට වැටිල තියෙන මගෙ කොණ්ඩ කරල උස්සල බෙල්ල පිටි පස්සට සිනිදු හාදුවක් හිමින් සැරේ ලකුණු කරනවා. මගෙ බෙල්ල කිති කැවීගෙන යනවා. මම උරිස් අකුලල සියොලඟ කිළිපොළා යාම වාවගෙන, ඔලුව ඇලකරල පිපිච්ච හීන් හිනා පොට්ටු බිමට වැටෙන්න නොදී එයාගෙ පපුවට හේත්තු කරනවා.
ඒත් එයාගෙ තිර නාටක රචකයා ලියල තිබුණෙ වෙන විදිහකට.
" ඔයා ඇඳගෙන එන්න, උයන ගෙට. මම යනවා, පිරිකර ලෑස්ති කරන්න" 
දෙබස් වුණත් හරිම කෘත්‍රිමයි. තාත්ත්වික නැහැ. හරිම යාන්ත්‍රිකයි. වෙළඳ දැන්වීමක් වගේ. අඩු ගණනෙ පිටට තට්ටුවක් වත් දමල යන්න බැරිද? හිත කෙඳිරි ගානව. 
එකම නාට්‍යයකට තිර රචනා දෙකක් තියෙන්න බැහැ නෙ. මේ තිර රචනා දෙකම මර්ජ් කරල එකක් කරන්න වෙයි. නැත්නම් දෙකෙන් වඩාත් ප්‍රබල එක තෝරගන්න වෙයි. මෙහෙම ගියොත් මම ලියපු අත් පිටපත කැපිලම යයි ජවනිකා දෙක තුනක් වත් මගෙ පිටපතෙන් උපුටා ගන්නෙ නැතුව.
මගුල් හැට්ටෙ මිම්මටම හැට්ට මහල. ඉස්කෝලෙට ඔසරි ඇඳලා පුරුදු වෙලා නිසා මට ඉක්මණට ඇඳගන්න පුලුවන් වුණා. මම ඔසරි පොටට කටුව ගහන්නෙ හැම දාම අම්ම ළඟට ගිහිල්ලා. මම කටුවත් අරගෙන ඔසරි පොට අල්ලගෙන පහළට බැස්සා. හිනි පෙළ පාමුල නන්දිමිත්‍ර යෝදයා.
" මේ කටුව ගහනවද, ප්ලීස්" මම පින්සෙණ්ඩු වුණා, හැබැයි ටිකක්. 
" අන්න අක්ක එයාගෙ කාමරේ. ගිහින් එයාට කියන්න"
මහත දෙතොල් වල උපහාස හිනාවක් වගෙ එකක් ඇඳිල මැකිල ගියා, හොරෙන් වගෙ. ඒකටත් මේ මනුස්සය ලැජ්ජද? ලැජ්ජාවද, මහන්තත්ත කමද?
" හා...ඔන්න, අළුත ගෙනා මනමාලිත් එනවා, දානෙට සම්මදම් වෙන්ට"
ඒ මගෙ ආදරණීය නැන්දම්ම. පොඩි අක්ක සෝදමින් හිටිය ගොටු කොළ වට්ටිය දිහවට මාව යොමු කළා.
" අළුත් මනමාලිගෙන් ගොටුකොළ සම්බෝලෙ, මල්ලිගෙ සුදු මැණිකෙට මම ලකුණු දෙන්නෙ පලා ලියන හැටිය බලලා." 
මට බිම ඉඳ ගෙන පලා ලියන්න බැහැ. අනික පලා හීනියට ලියන්නත් බැහැ. නැහැ, බැහැ කියන්න පුළුවන්ද මේ නැපෝලියන් අධිරාජයන් රොත්තට.
" අක්කෙ, මට ලෑල්ලක් දෙනවද, පලා ටික ලියන්න."
"ඔය බංකුව තියෙන්නෙ. ඒකෙ වාඩිවෙලා අර මන්නෙන් ලියන්ට" 
පළවෙනි පරීක්ෂණයෙන් අසමත් වෙන බව දැන් නම් හිත කියනව. කවි ලියන්ට, ගීත ලියන්ට, කතා ලියන්ට පුළුවන් වුනාට මැල්ලුම් ලියන්ට දන්නෙ නැහැ කියල මට කියන්න පුළුවන්ද? අපේ ගෙදරදි මම කිසිම වැඩක් කළේ නැහැ, කුස්සියෙ. අතට පයට වැඩ කාරයො හිටියා කියලා දැන් කියන්නද? මම ඒ ගොල්ලන්ට වැඩ කාරයො නොකීවත් එහෙම නෙ ජන වහරෙ කියන්නෙ.
හිත හොඳ නම් දෙයියො බලනව කියල අපෙ අත්තම්ම කිව්ව එක ඇත්ත බව ඔන්න එතකොටම සනාථ වුණා. දානෙට උදව්වට කියල තේ වත්තෙ දළු කඩන ප්‍රේමවතීව සක්‍ර දෙයියො එවල, මට පිහිට වෙන්න. පඬුපුල් අසුන උණුවෙන්න තරම් මගෙ හිතේ ගින්දර ඇවිලිලා, මටත් නොදැනිම. 
" අප්පේ...මේ සුදු හාමුට කියල වැඩ ගන්න හොඳයිද? ඔය ලස්සන රෝස පාට ඇඟිලි වල ගොටුකොල කහට ගෑවුණාම සුද්ද කරන්න දෙහි මඬු සීයක් ගෑවත් බැරි වෙයි. "
ප්‍රේමවතීට කවුරුත් විරුද්ධ වුණෙ නැහැ. 
"හා...ඔයා එහෙනං ගිහින් පිරිකර ලෑස්ති කරන්ට, මල්ලිත් එක්ක"
මම විසිත්ත කාමරයට ඉගිල්ලුණා හිතෙන්, ඒත් දෙපයින් හෙමිහිට පියවර මැන්නා. කළුවර කවිච්චිය උඩ ඉඳගෙන නන්දි පිරිකර භාණ්ඩ කඩදාසි බෑග් වලට දමනව.
"කුස්සියෙ වැඩ ඉවරද?" ප්‍රශ්නම විතරයි නෙ, මේ ගෙදර මිනිස්සු අහන්නෙ.
" පොඩි අක්ක කිව්ව ඔයාට උදව් වෙන්න කියල" මම නිදහසට කරුණු කියනවා. 
හුරතල් වෙන්න මයි, මගෙ හිත දඟලන්නෙ. මම ඇස් වලින් රස කතාවක් ගොතල කියන්න උත්සාහ කළා. එයා මගෙ ඇස් දෙක දිහා කෙලින් බලන්නෙම නැහැ. ඉතින් කොහොමද මගෙ ඇස් කියවන්නෙ? මගෙ ඇස් කියවන්න බැරි මනුස්සය අර කොහෙදෝ ගුහාවක හැංගිලා, තනිව ගමන් යනවයි කියන හිත නම් කොහොමට වත් කියව ගන්න එකක් නැහැ, කවදාවත්ම.
මහ බඹාටත් වරදිනව ඇති නෙ, සමහර වෙලාවලට. මේකත් එහෙම ලොකු වැරැද්දක් වුණු එකක් වෙයිද? පිස්සු විකාර මටත්. සතියක් වත් යන්න ඉස්සර එහෙම හිතන්න පුළුවන්ද? අප්පච්චි කිව්වෙ නන්දි හැදිච්ච, නිවිච්ච දරුවෙක් කියල. හැම දාම නිවිලා හිටියොත් ඉතින් එයා තනියෙම නිවන් දකියි. මම සසර කතර අතරමං වෙයි.
මල් කම්, ලිය කම් යොදල වර්ණවත්ව අපි දෙන්නගෙ දෑත් එකතු කරල වියන්නට හිතපු ජීවිතය, අධිවේගී යන්ත්‍රයකට ඔබල වියාවිද මේ සේරම එකතු වෙලා කියල මට හිතෙනවා. කළුවර කවිච්චියෙ කොටල තියෙන පලා පෙති, අන්නාසි මල් දිගේ මගෙ ඇඟිලි දුවනව. ඒවට හිතෙන්නෙ නන්දිගෙ ඇඟිලි වල පැටලෙන්න ඇත්නම් හොඳයි කියල. ඇඟිලි වලට කතා කරල කියන්න බැහැ වගෙම මොනවද හිතන්නෙ කියලා, මමත් නිහඬවම ලී කැටයමේ මල් පෙති අතර ආදරය හෙව්වා. 
" තවම ඔය නිය පොතු කැපුවෙ නැද්ද? මම කිව්ව නේද නියපොතු කපල ඔය ක්‍යුටෙක්ස් පිහිදල දමන්න කියල"
මාව එක පාරටම උඩ වීසි කරල පයින් ගැහුව වගෙ වුණා. මල්ලි කියන 'පෙනල්ටි කික්' එකක් වගෙ. මාව ගොලු වෙනව දවසින් දවස. අප්පච්චි පඩි ගත්තම මගෙන් අහනව, මම වැඩි විය පැමිණිල නාවපු දවසෙ ඉඳලම,
" සුදු අම්මි...ඔයාට ක්‍යුටෙක්ස් ඕනිද පුතේ" කියල. 
අප්පච්චියි, අම්මයි මට ආදරේට එකේක වෙලාවට එක එක නම් කියනව. සුදු අම්මි, සුදු මැණික, දෝනි කොටේ, සාදු මැණික...රාන් කිරිල්ලි...ඒ ආදරේ ඉතින් ආයෙ කාගෙන් ලබන්නද මේ ගෙදරදි. අපේ ගෙදරම යන්න ඔනි, එහෙම හුරතල් වෙන්න.
"දැන් පන්සලටත් යන්න තියෙනව. යන්න කාමරේට ගිහින් නියපොතු වල පාට ඇරල කපා ගෙන එන්න" 
නන්දිමිත්‍ර යෝදයා දුටුගැමුණු රජ්ජුරුවන්ටත් වඩා බලවතෙක්ව ඉන්න ඇති.
'ස්වාමිනී, මා ඔබේ පාද පරි චාරිකා" ගීතය ගයන සුවච, කීකරු භාරියාව උඩු මහලට පිය මනිනවා. උඩු මහල එක් ටැම් ගෙයක් වෙයිද කියල දඩබ්බරී මගෙන් අහනවා. මගෙ ලඟ උත්තර නැහැ. ප්‍රශ්නම විතරයි.
මම 'පෙම්බර මධු' චිත්‍රපටියෙ සින්දුවක් ගැන සිහින මැව්වා.....මගෙ ජීවිතෙත් එහෙම වේවි කියලා. ඒක බොළඳ සිතුවිල්ලක් තමයි. අවුරුදු විස්සක කෙල්ලෙකුගෙ සිතක් බොළඳ නැතුව පරිණත වෙනවයැ. 
'වඩාලා දෝත පුරා 
පරෙවි කිරිල්ලිය සේ...' ? ? ? ?
 
(තවත් කෑල්ලක් ලියා ගෙන ආයෙම එන්නම්)

9 ක් අදහස් දක්වලා.:

neon said...

අනේ අක්කණ්ඩි ඔයාටත් වෙච්චි වැඩේ නේද ! නියමෙට ලියල තියෙනවා, හමදාම වගේ මෙකත් මරු ! ඊලඟ කොටස එනකන් බලන් ඉන්නවා !

LazyOwl said...

මේකාව දීයා කන්න එපෑයි, ඔහොම කලාට.

LishWish said...

ඔය පිරිමියා කියන එකා සමහර වෙලාවට ඔහෝම මයි [මාත් ඇතුළුව හා මා නොදැනුවත්වම] . ඔබේ ලිවීමේ හැකියාවනම් සුපිරීයි අක්කණ්ඩී. සුභපැතුම් දිගටම ලියන්න.

චමි.දේ.වා. said...

අන්න ලිජ්හ් කිව්වා ඇත්ත කතාවක්..අක්කන්ඩි ඇත්තටම මේක සිද්දවුන දෙයක්ද? මොනවා උනත් ලස්සනට ලියලා තියනවා......

රන්දීර වීරකෝන් said...

සම්ප්‍රදාය හින්දම "ආදරය" කියන අකුරු හතර මිනිහට නිකන්ම අකුරු හතරක්ම වෙලා ඇති,පොඩිකාලෙත් මිනිහට ආදරේ කියලා ලැබෙන්න ඇත්තේ නීති සංග්‍රහයක් වෙන්න ඇති.ඒත් ඕනම හදවතක් නියම ආදරේ හදුනනවා .....ඒක දරාගෙන ඉන්න ජීවියා නොදන්නවා වුනාට...නියම ආදරේ ලැබූනහම....ලැබෙනකොට ඕනම කෙනෙක් වෙනස්වෙනවා ...මලිතිට පුලුවන් සාම්ප්‍රදායිකා එක්ක එකතුවෙලා හිමිහිට ඒ හදවතට ආදරේ තවරන්න ඒ ලස්සන අකුරු හතරේ තේරුම කියලා දෙන්න ..ඒක මලිතිට බැරි වෙන්නේ නෑ ..මට විස්වාසයි ..ඒක ජීවිතේ තවත් අභියෝගයක් කියලා මලිතිට හිතන්න කියන්න එපා පරදින්න ..ඉවසන්න ..ඒ ගල්වෙච්ච හදවතට ආදරේ වක්කරන්න හෙමිහිට ..හදවතට දැනෙනෙකොට ඒක ආදරේ පොම්ප කරාවි ජීවියාගේ මුලු ඇග පුරාම ...

මුහුනු නොදැක තිබිනට වැඩිය කතා නොකලට කියන්න මේ මල්ලි ඉන්නවා කියලා මලිති අක්කත් එක්ක ..අක්කාගේ ජීවිතය ලස්සන වෙයි මට විස්වාසයි.....

ආසයි මලිති අක්කත් එක්ක කතාකරන්න මමත් ඉන්නේ පාලුවෙන් ..කියන්නකො විදිහක්...වෙන්නේ නෑ කරදරයක්..පුලුවන් තවත් ආදරනීය මල්ලි කෙනෙක් වෙන්න...

තවත් පොඩි ප්‍රෂ්නයක් මේක නවකතාවක්ද ඇත්තටම වෙනදෙයක්ද කියලා මගේ යටි සිත හැම වෙලේම අහනවා මලිති අක්කේ ඒකට මොකද කියන්නේ..?

මම හිතට මොකද කියන්නේ...

දුකා said...

ම් ම් ම් ම් ම් සමහර විට නන්දියා කලින් ආදරයකින් හිත තලාගෙන . . . ආදරේ, සෙනෙහස කියන හැඟීම් මැරුනු කෙනෙක්ද දන්නේ නෑ . . .

එහෙම අයත් ඉන්නවා . . . අමතක කරන්න එපා . .

නමුත් අවසනාවට වැඩි දෙනෙක් (විශේෂයෙන් කාන්තාවන් . .) ඒ අයව දකින්නේ ඒ ගතිය නරුම කමක් හැටියට . . .

නමුත් සත්‍ය ඒක නෙමෙයි . . . සමහර විට ඒ මැරුනු ආදරේට ආපහු පන දෙන්න උනත් පුලුවන් වෙයි කියල මට හිතෙනවා අක්ක්න්ඩි ටිකක් ඉවසලා . . නන්දියාගේ ආත්මයේ කුහරෙකට ඩිංගක් හරි රිංග ගන්න පුලුවන් උනා නම් . . .

අපි මේ ගැන වෙලාවක ටිකක් කතා කරමු අක්කන්ඩි . . .

Mark said...

දෙයක් අහන්නම් අක්කන්ඩි.. තරහ වෙනවාද?

"ඈත්තටම ඔයා තවම ඔය දීගේ කනවාද?" :O

ජීවිතේ හරිම පුදුමාකාරයි, ඔයා වගේ නිදහසේ කෙලිදෙලෙන් ජීවත් වුනු කෙනෙක්ට ඔය වගේ ජීවිතයක් ගෑලපෙන්නෙ නෑ. ඈත්තමයි.. එතකොට තරින්දු. එයාට මොකද වුනේ?

අක්කණ්ඩි said...

පාඨකයන්ට විවිධ දේවල් අනුමාන කළ හැකියි, තම තමන්ගෙ අත්දැකීම් අනුව. සත්‍යය වෙන එකක් වෙන්න පුළුවන්.

යෝජිත විවාහ පමනක් නෙවෙයි, ප්‍රේම විවාහ පවා දෙදරා යනවා, අන්‍යෝන්‍යය ගෞරවය නැති වෙන කොට. අනික තමන්ගෙ අත් දැකීම් අනුව සාපේක්ෂව හිතල ගැහැණු හෝ පිරිමි හෝ නරුම විදියට ප්‍රශ්න දෙස බලනවා කියලත් අපිට කියන්න බැහැ.

අවුරුදු ගණනකට ඉස්සර නොමේරූ යුවතියකගෙ විශ්ලේශණ ශක්තිය අද ඉන්න මේරූ ගැහැණියකගෙ පරිකල්පනයට වඩා වෙනස්.

කියවමුකො දිගටම...

මනෝ( TMG) said...

very good open ended answer Akkandi . I like that :) cheers :)


TMG

Post a Comment