Wednesday, April 21, 2010

" ගමේ වැල ගමේ කපුටන්ට"

Wednesday, April 21, 2010


                     දිය වී යන හිම තට්ටු මතින් ලා කොළ පැහැයෙන් ලදළු, ලපළු හෙමිහිට තාලයකට හිස ඔසවනු පෙනෙයි. හිරු එළිය විඳගන්නට හෝ හිරු එලියෙන් උණුසුම්වන්නට හෝ කවුරුන් තුළත් ඇත්තේ දැඩි ආසාවකි. එහෙත් ගැහැණුන්ට එබඳු සිඟිති ආසාවක් වත් මුදුන් පමුණුවා ගන්නට ඉඩක් නැති දේශයක් මෙලොව පවතී යයි කිව හොත් ඔබ මා හා එකඟ නොවනු ඇත.
         තවමත් සීතල දැරිය නොහැකි තරමට තදබලව පවතින හේමන්තයේ අවසානය වුවද උණුසුම් කබායක් නොමැතිව ගෙයින් පිටතට යා නොහැක. කෝපි කෝප්පයෙන් ඉහළට විහිදෙන උණුසුම් වාෂ්ප වලින් දෑත් උණුසුම්කරගෙන මම කබායට සිරුරේ සීතල බාර කළෙමි. නොබෝ වේලාවකින් කාර්යාලයීය රථය ඇවිත් අප කැටුව යනු ඇත.
              
                නවාතැන පුරහම උදේ හතත්, හත හමාරත් අතර ඇත්තේ මහත් කලබැගෑනියකි. උණු පැණින් සැනහෙන්නට, ඇඳුම් මදින්නට, හීලෙන් සප්පායම් වෙන්නට එහෙ මෙහෙ දුවන නවාතැන්කරුවන් හත් අට දෙනා අතර මා ද එක් අයෙකි. කොතරම් කලබල කාරී වුවත් එහෙ මෙහෙ දුවන අතර සුබ උදාසනක් කියා සුබ පතන්නට හා එකිනෙකාගේ සුව දුක් විමසන්නටද කිසිවෙකුත් අමතක නොකරති. සාමාන්‍යයෙන් දොඩන ඉංග්‍රීසි බස වෙනුවට බොහෝ දෙනෙක් මෙරටේ කතා කෙරෙන දාරි බස යොදා ගන්නේ විනෝදයක් ද දැනුමක් ද ලබ ගනු රිසියෙනි.


  "ෂොබාහිර්!"  (සුබ උදෑසනක්!)


  "චුතුරාස්ති?" (කොහොමද?)


  " ෂුම්මා කුබ් අස්ත්?" (ඔබ හොඳින්ද?)


        'ෂුම්මා' යනු ඔබයි. එම භාෂාවේ සිත් ගන්නා සුළු බවක් ඇතැයි මට සිතේ. එනිසාම පොත් කිහිපයක් රැගෙන් බස ඉගෙන ගැනීම අගනේ යැයි මට සිතිණි. 
  " අපහසු දේවල් ෆරීමා ගෙන් අසා දැන ගන්නට ද පිළිවන. ෆරීමා මගේ පරිවර්ථිකාව ලෙස සේවය කරන ඇෆ්ගන් යුවතියයි.


  "ගයිස්, වෙහිකල් හෑස් කම්." 


             අප්‍රිකානු ජාතික ඔමාර් බෙරිහන් දෙයි. ඔහු මගේ කාමරයේ සිටින අනෙක් සගයාය. ෆරීමා පිළිබඳ සිතුවිලි මොහොතකට සිත් බඳුනට දමා අගුළු ලා වාහනයේ ඉදිරි අසුනට ගොඩ වූයෙමි. ලොකු කමකට නොව ඔමාර්ගේ ඉතාලි ජාතික කෙලි පොඩ්ඩට ඔහු ළඟින්ම ගෑවි ගෑවී ඉන්නට ඉඩ කඩ සලසන අරමුණින් යුතුවය. පැමිණ මසක් ගත වන්නටත් පෙර ඔමාර්ට සඳ පෑයුවේය. එලීනා ඔහුගේ සඳ පමණක් නොව් හිරු, තරු, මල් සහ මුළු ලොවම එලීනා විය. එහෙත් මගේ සඳ තවමත් අමාවක දා සේය. කෙදිනක කලා සොළොස සපුරා සිනා සෙනු ඇත්දැයි සිතිය නොහැක.
        වාහනය වළ ගොඩැලි සහිත වීදි දිගේ ඉදිරියට ඇදෙයි. මග දෙපස කියන්නට තරම් නගර වර්ණනාවක් නොමැත. වසර විසිතුනකට වැඩි කාලයක් අඛන්ඩව කෙරුණු යුද්ධවල අනිටු ප්‍රතිඵලයන් වූ සුන්බුන් සහ දුහුවිල්ල පමණක් කාබුල් නුවර වීදි අලංකරණයෙක් යෙදෙන්නට වෙර දරයි.වෙනත් රටෙක අග නුවරෙක නම් නේක වර්ණ සළු පිළියෙන් සැරසී හැඩ වැඩ වූ ලඳුන් විඩාපත් අපගේ නෙත් පුරා සිහිල් අඳුන් තවරනු ඇත. එහෙත් කාබුල් නුවර ගෝනි බිල්ලන් සේ බුර්කා තුළට පිවිසී ඇවිදින ලඳුන් මිස නෙත සිත සනහා රුසිරු වතක් නිකමට වීදි දෙබෑකර පායන්නේ නැත.


" සතිස්, මොකද? ෆරීමා ගැන හීන දකිනවද?


ඔමාර් නැවත නිහඬතාවය බිඳියි.


 "ප්ලීස්, ඩෝන්ට්"


          මම ඔහුට අනතුරු ඇඟ වූයේ රියැදුරාට මදක් ඉංග්‍රීසි භාෂාව තෙරුම්ගත හැකි නි ය. මම ඒ බව ඇසකීන් ගි මරා කිවෙමි. විහිළු කටින් කට ගිය හොත් ෆරීමා රැකියාවට පැමිණීමද නතර කරන්නට තරම් සමහර ඇෆ්ගන් පිරිමි අනතුරු දායකය.මට සිහි වන්නේ අපේ ගමේ රටේ පවතින කට වහරකි.
" ගමේ වැල ගමේ කපුටන්ට"
  ඇෆ්ගන් ජාතිකයන් එසේ සිතීමේ වරදක් නැතැයි මට විටෙක සිතේ.
   ෆරීමා කාර්යාලයට පැමිණෙන්නේ ද බුර්කාවේ සිර වීගෙනය. කාර්යාල ගේට්ටුවෙන් ඇතුලට පිවිසෙන ඇය  ආරක්ෂක භටයන්ට වත් සිය මුහුණ නොපෙන්වයි. ඔවුහූ ඇගේ හැඳුනුම් පත බලා ඇයට ගේට්ටුව විවර කරති. බුර්කාවේ දැල් අතරින් පෙනෙන තෙක්මායිමේ දෑස රඳවමින් එන ඇය කාර්යාලයට පිවිසී බුර්කාව ඉවත් කරයි. 
  කාල වර්ණ මේ කුළකින් මිදුණු පූර්ණිමා සඳ ගැන මට කවියක් ලියන්නට සිතෙයි. සුදෝ සුදු හිම සේම මිදී තිබුණු මගේ කවි සිත අසල ෆරීමා සිනහ සලන්නේද වතුසුද්ද මලක් සේය.


" ගයිස්, වෙහිකල්ස් ආ රෙඩී"
   වාහන සපයන මැක්ස් බෙරි හන් දෙයි. ඔහුගේ බෙරිහන් දීම මට අමරදේවයන්ගේ සුගායනයක් තරමටම කර්ණ රසායන බවක් ගෙන දෙයි.ඒ අද අපට මට රාජකාරි නියමිත නව පළාත කාර්යාලයට යන්නට අවස්ථාව සැලසෙන නිසාය. තනිවම නොව ඇය සමගය.
      කාබුල් වලට අයත් ලෝගාර් පළාතට ඇය හැම දාමත් මා සමග යනු ඇත. ඇය පිස හමන සුළං කැරලි මගෙ සිරුරද සිප වැළඳ හමා යනු ඇත.
  මෙය තවත් එක් බොළඳ පෙම්කතාවක් සේ සිත බැහැර නොකරනු මැනවි. මගේ සිත ප්‍රේමයෙන් උන්මාද වී ඇත්ද? එසේත් නැත්නම්.....ඇය වටා ඇති කටු කොහොල් ලොවෙන් ඇයව මුදා ගෙන නිදහස් ලොවක් ඇයට පෙන්වන්නට මා තුළ පවතින අරමුනද? ඇයව බැඳ දමා ඇති සංස්කෘතික රැහැන් පටවල් සිඳ බිඳ දමා බුර්කාවෙන් එ ලොව ඇයට පෙන්වන්නට මට අවකාශ් ලැබෙනු ඇත්ද?
           මම ඉන්දියාවේ රාජේශ් සහ පිලිපීනයේ ලුවී සමග ලෝගාර් පළාත බලා යෑම සඳහා රියේ පසු පස අසුනට ගොඩ වූයෙමි. ෆරීමාට ඉදිරි අසුනට ගොඩ වෙන්නට යයිමා කීවේ ඇෆ්ගන් ගැහැණුන්ට පිටස්තර පිරිමින් සමග එකට වාඩි වීම තහනම් නිසාය. තමාගේ ස්වාමියා හෝ සහෝදරයා සමග වුව එකට, එක පෙළට වාඩිවෙන්නේ එහෙමත් කිහිප දෙනෙක් පමණි. එනිසාම නගරය පුරා දුවන කහ පාට ටැක්සි වල පසුපස 'ඩිකියේ' සිර වී යන ගැහැණුන් මට පෙනෙන්නේ සිර කාරියන් සේ මය.
                 ඇය මා සිටින වාහනයේ සිටීම වුවත් එනිස සිතට අපූරු ආශ්වාදයක් ගෙන දෙයි.  මුහුණ නොපෙණුනද ඇයගේ පිය වදන් අසන්නට ලැබීම කොතරම් සහනයක්ද? ගමනට පැය දෙක තුනක් ගත වුවද ගමන් වෙහෙස නොදැනෙනු ඇත. 


       ' සිත් මල් යායේ සිතුවිලි සමනල් රෑන් සරයි
         වතුසුදු සුවඳේ දැවටෙන පෙම් බස් ඔමරි කරයි' 


       නිතර අසන්නට, දකින්නට  ලබෙන බිම් බෝම්බ, රොකට් ප්‍රහාර සිතින් ඉගිලී ඉවත යද්දී ෆරිමා බුර්කාවේ දැල් අතරින් මා දෙස බලයි.ඇගේ නොපෙනෙන දෑස් කියවා මා පදරුත් පසිඳලන්නේ කෙළෙසද?


  "ෆරීමා ජාන්, කරුණකරල බැහැලා අනික් වාහනයට නගින්න. ඒකෙ ඔක්කොම නැෂනල් ස්ටාෆ් යන්නෙ"
  මැක්ස් 'දුෂ්ටයා' චරිතය රඟ පාන්නට හදන්නේ කාගේ උපදෙස් මතද?
         ෆරීමා කිසිදු වදනක් නොදොඩා මැක්ස්ට කීකරු වී රියෙන් ළියට පිවිසියාය. මගේ සඳ අනෙක් වාහනයට පිටත් කර යැව් මැක්ස් ඇසක් ඉඟි මරමින් මදෙස බැලුවේය. ෆරීමා නැවත හැරී බැලුවේ සිත අකැමත්ත මට කියන්නට විය යුතුය. මගේ සිතින් පටන් ගත් 
අකුණු සැර මුළු ගත පුරාම කොටා ගෙන යන්නට විය.


" මිස්ටර් සතිස්, ෂැල් අයි ටේක් ද ඩොක්‍යුමන්ට්ස් විත් මී?"               


     " නෝ, ප්‍රොබ්ලම්.......ෆරීමා"  


  ඇය යන බව දැන්වීමට සහ මගෙන් සමු ගැනීමට එසේ ඇසුවා දැයි මට සිතිණි. 
   ෆරීමා අනෙක් වාහනයට ගියත් තව පැය එක හමාරකින් මගේම කාර්යලයෙහි, මගේම මේසයෙහි මා අසල හිඳගෙන  මගේම පරිවර්ථිකාව වී  මා සමග දොඩමළු වනු ඇත. මමත්වය හොඳ නැති වුවත් මට ඉන් මිදෙන්නට නොහැකිය.


හෙට තවත් කොටසක්.....

1 ක් අදහස් දක්වලා.:

Wipula said...

ලස්සනයි... රසවත්...හැබැයි මමත් ගම්පොළ ඔරිජිනල් ගම්බට්ටෙක්නේ. මං අහලා තියෙන... කියලා තියෙන විදියට නම් "ගමේ වරකා ගමේ කපුටන්ට"... ගමේ කපුටෝ වැල ගැන වැඩි තැකීමක් නෑ.හැබැයි ඉතිං වරකා නම් පේන්ට බෑ... මගේ අම්මපා රෑට හීන දකින්නෙත් වරකා ගැන තමයි..."දුකාගෙන්" අහලා බලන්ටමං කියන්නේ බොරුද කියලා.. මං හිතන්නේ මීගමුව පැත්තේ වරකා අඩු ඈති... නැත්නම් නැත්තටම නැතුව ඈති... නැත්නම් මේ විදියට අනාදිමත් ගැමි කියමනක් වෙනස්වෙන්නේ නෑනේ මැදපෙරදිග ගියාට...නැද්ද ???

Post a Comment