Sunday, April 18, 2010

කැලේ නීතිය (ii)

Sunday, April 18, 2010
                 
                HASIBA

                ගැහැණු කම නම් මහී කාන්තාව සේ සියලු දුක්ඛ දෝමනස්සයන් ඉවසා දරා සිටීමය.අසීසා සහ උරන්ගා මේ සියලු දේ ඉවසා වදාරමින් නම් තැබීමේ සාදයට ගියේ දිළිසෙන වස්ත්‍රාභරණයෙන් සැරසී සියලු හැඩ වැඩ වලින්ද ඔප මට්ටම් වෙමින්ය.
     එසේ ලබන තෘප්තියක් හැරෙන්නට පොතක් කියවා, චිත්‍රපටියක් බලා රස විඳින්නට මේ දුෂ්කර ගම්මානයෙ අවකාශයක් නැත. අසීසාට බොහෝ විට මතක් වන්නේ තමා වැඩිවිය පැමිණීමට පෙර කෙලි කොල්ලන් හා නිදැල්ලේ දුව පැන දැඟලූ සුන්දර ළමා වියයි. වැඩිහිටිබවත් සමගම හිත මිතුර සමාගම් තහංචි විය. පිරිමි ළමයින් හා ඇසුර තහනම් විය. 
                 කිසියම් අත්‍යාවශ්‍යය කාරණයකට ගෙදරින් පිටව යන්නේ නම් හිස සිට දෙපතුල් දක්වාම බුර්කාවෙන් සිරුර වසාගෙන යා යුතු විය. මේ සියලු කරුණු කාරණා නිසාවෙන් ළමා වියේදී හදවත සසල කළ කාලිද්ගෙ ප්‍රිය සමාගම අහිමි වීම ඇයට දැරිය නොහැකි වේදනාවක් විය. මේ වේදනා, ශෝක පරිදේවයන් ගෙන් මිදෙන්නට ඇයට තිබුණු එකම සහනය උරන්ගාට සියල්ල කැටි කොට ලිහා දැමීම පමණි.
             කාලිද්ගේ සිත් අරණ මතද මෙබඳුම හැඟුම් රාශියක් විකසිත වෙමින්, මුකුළිත වෙමින් ජනනය කළ අපූරු මනෝ භාවයන් යොවුන් ආදරය දැයි නිර්වචනය කර ගන්නට ඔහුද අසමත් විය. 
  නම් තැබීමේ උත්සවය එළඹුනේ මේ අතරතුර කාලයේදීය. සාදය සඳහා වෙන් කළ කාමරයට ඇතුළු විය හැක්කේ ස්ත්‍රීන්ට පමණය. මේ කාමරයට පිවිසුණු සැණින් මේ බවලතුන් කරන්නේ බුර්කාවන් පමණක් නොව හිස බැඳි සිනිඳු සළු වන පර්දාවන් පවා උනා දැමීමයි. ඉන් අනතුරුව ඔවුන් සිත් සේ රඟති. ගයති. පිරිමින් ගෙන් තොර මේ සාදයට සර්පිනාව හා ඩොලැක්කය වාදනය කරමින් සංගීතය සපයන්නට කොලු ගැටයන් දෙදෙනෙකු සහභාගි කරවා ගනිති.
                අසීසාගෙ කුඩම්මාගේ පුතාගෙ නම් තැබීමේ මගුලටද කොලු ගැටයන් දෙදෙනෙක් ඒ වන විටත් පැමිණ සිටියහ. අසීසා වත්, උරන්ගා වත් ඔවුන් දෙස නිකමට හෝ නොබැලුවේ වියපත් ගැහැණුන්ගේ උකුසු ඇස් වලින් බේරී සිටීම ඉතා දුෂ්කර කාර්යයක් වූ බැවිනි.
      යෙහෙළියන් දෙදෙනා වර්ණවත් ඇඳුම් වලින් සැරසී තොල් නිය ආල්ප තවරා සාද ශාලාවට අවේ ලැජ්ජාවෙන් බිමට යොමා ගත් නෙත් වලිනි. ශාලාව කීවාට එය දිග කාමරයකි. එහි බඩු මුට්ටු සියල්ල ඉවත් කර මෙට්ට දමා තිබිණි.කාමරය වටේ බිත්ති වලට හේත්තුවී ස්ත්‍රීහු බිම වාඩි වී වෙති. සමහරෙකුගේ උකුළු තල මත කිරි දරුවන්ය. සාදය සරු වන විට," නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා" යන්නද සැබැ වනු ඇත. අසීසාද,උරන්ගාද සමග පැමිණ ඉඩ කඩ තිබෙන තැනක් සොයමින් දැස  යැව්වාය.
          සර්පිනාවේ යතුරු පුවරුවට ඉහලින් වූ ජටාවක් බැඳි මුහුණ ඇයට හුරු පුරුදුය. අසිසාගෙ හද ගැස්ම ඩොලැක්කයේ හඬ මෙන් වැයෙද්දී ඇය උරන්ගාගෙ අත කෙනිත්තුවාය.
" මොකද මේ?"
" බලන්නකො කවුද අර සර්පිනාව ගහන්නෙ කියල."
"කවුද? කොතනද?"
" අර ...අර..සන්ගීත කාරයො දෙන්න."
" ආ..ඔව් නේන්නම්...කාලිද් ජාන් නේද?"
" හ්ම්, දැන් හරි හැඩයි නේද?"
" ම්..ම්...හීන කුමාරය නේ!?
''කට,කට...පුන්චම්මට අහුණොත් කෝටු මස් තමයි මගෙ ඉතුරු වෙන්නෙ"
   දැරියන්ගේ ඇස් තමන් වෙතට යොමුව ඇති බව විදුලි සැරයකින් බඳු අමුතු බලවේගයකින් දැණුනා සේ කාලිද් ද සර්පිනාවෙන් ගලවාගත් දෑස යුවතියන් වෙතම අලවා ගෙන සිටින්නට විය. අසිසාගෙ දසුනින් කෙසේ නම් දෑස ගලවා ඉවත් කරගන්නද?
     අසීසාගේ ගත පුරා අකුණු සැර වැදී ගෙන යන්නේ දිගින් දිගටය. ඇය හදවත මත දකුණු අත තබා 'සලාම්' කියමින් ආචාර කලාය. කාලිද් ද පෙරලා සලාම් කීවේය. ආචාර සමාචාර වචන දෙකකට සීමා වුවද දෑස් යුග දිගු කතාවකට මුල පුරනු දෙදෙනාටම දැණිනි. කාලිද්ට සිය දෙනෙත් අදහාගන්නට නොහැකි තරමට සිත් ඇදගන්න අයුරින් යෞව්වනය වැළඳ ගෙන සිටියාය. 
                නීල වර්ණ දෑස් වල ඇරියුමක් සටහන් වෙමින් සසල වන හැටි ඔහුගේ තුන් සිතම කම්පනය කරනු වැනිය. වත්සුණු තැවරූ දෙකොපුල් ගිම්හානයට රත් පැහැ ගන්වුණු ඇපල් ගෙඩියක් සේ රත් පැහැ ගැන් වෙයි. වැඩිහිටි ගැහැණුන්ගේ දැස් වල සවි කළ ඇන්ටෙනා එහෙ මෙහෙ කර කැවෙද්දී කාලිද් සිය ඇස් සර්පිනාවේ කලු,සුදු යතුරු වෙතට යොමු කළේ හිත පුරා පිරෙන සෙනෙහස වටා වැටක් ඉදි කරමින්ය.
   සාදය ඇරඹුනේ ජනප්‍රිය දේශප්‍රේමී ගීයක අනුවාදනයෙනි.සියල්ලෝම වාදනය අනුව යමින් ගයන්නට වූහ.

    " ඇෆ්ගනිස්තාන් සලාම්
      මෙ කාබුල් ජාන් සලාම්"

                   ගීත තුන හතරකට පසුව බොහොමයක් ස්ත්‍රීහු රඟන්නට වූහ. අසිසාගෙ මවද හිස වූ පර්දාව ගලවා දමා නැටුමට එකතු වූවාය. ජීවිතයේ හැම දවසක්ම බුර්කා සිර කූඩුවෙහි සිර වීගෙන සියලු හැඟීම් යටපත් කර ගෙන සිටින මේ ගැහැණුන්ට සීමාවන් සහිතව වුවද සිත් පුරා විනෝද විය හැක්කේ මෙබඳු සාද වලදී පමණි.බොහෝ යුවතියෝ සිය අත් බෑග වලින් කුඩා කණ්ණාඩි ඉවතට ගෙන, අනෙකුන්ගෙන් මුවා වී ටිකෙන් ටිකට තොල් සායම් තවරති. ඇස් වල අඳුන් තවරා ගනිති. හිසකෙස් සකස් කර ගනිති. 
                    අසීසා මේ කිසිවකුත් නොකර අනෙකුන්ගේ උකුසු ඇස් වලින් මිදෙන්නට හැකි හැම මොහොතකම කාලිද් වෙත අනිමිස ලෝචනයකි. 
                  තව අවුරුදු තුන හතරකින් කාලිද් හා විවාහ වී ඔහුගේ සිහින විමානයෙහි අබිසෙස් ලබන්නට ඇත්නම් යයි අසීසාට සිතිණි. අසීසා  සාදය නිමා වූවිට මව සමග උරන්ගාගෙ ගෙදර ගියේ උරන්ගාගෙ මව අසනීපව සිටි නිසාය. ලෙඩා බලා ගෙදරට පැමිනෙද්දී පවා අසීසා සිතුවේ කාලිද්ට ඇවිත් තමා පිළිබඳව කතා කරන්නට පියා සමග දිනයක් යොදා ගන්නට කියන්නටය.
                         සිත තුළ කැටි ගැසුණු නැවුම් අපේක්ෂා සහ සිහිනවලට පොපියන්නට දෙමින් ඇය සිය මැටි ගෙදරට ඇතුල් වන්නට යද්දී දොරක තිබුණු විශාල පිරිමි පාවහන් යුවලක් දුටුවාය. එය සිය පියාගේ පාවහන් යුවලට අමතරව එතැනට එකතු වූවකි.
          බුර්කාවේ දැල තුළින් ඇය සුදු දිගු රවුලකින් යුතු අවුරුදු හැටක පමණ පුද්ගලයකු තත්ත සමග කතවේ යෙදී සිටිනු දුටුවාය. ඇය සිතුවේ ඔහු බැටළුවන් මිළදී ගන්නට පැමිණියෙකු ලෙසටය.
  අමුතතා නිවසින් පිටවී ගිය පසු තාත්තා අම්මාට කී දේවල් කිසිවක් අසීසාට පැහැදිලිව නෑසිණි. එහෙත් රෑ කෑමට හිඳගත් පසු මුල්ලගේ පැමිණීමේ සුලමුල හෙළිදරව් විය.
  "ලතීෆා, අපේ අසීසා හරිම වාසනාවන්ත කෙල්ල. අපේ දුව මුල්ලාගෙ හතරවැනි භාර්යාව වෙන්නයි යන්නෙ."

" මොනවා? අර සීයා වගෙ මිනිහට මාව බන්දලා දෙන්නද යන්නෙ?" ඇයට සිය සිතුවිලි පාලනය කර ගත නොහැකි විය.
   " උඹ ට ප්‍රශ්න අහන්න අයිතියක් නැහැ. මුල්ලා අද මට රුපියල්  ලක්ෂ දෙකක් ගෙනැත් දුන්න. ඉතුරු ලක්ෂෙ බඳින ඩවසට මට ලැබෙයි. උඹලව අපි හදන්නෙ විකුණන්න කියල උඹ දන්නෙ නැද්ද? අපි හදන බැටළුවන්ගෙයි, උඹලගෙයි කිසිම වෙනසක් නැහැ. පුංචි වෙනසකට තියෙන්නෙ විකුණුවාට පස්සෙ බැටළුවන්ව මසට මරණවා. උඹලා අලුත් ජිවිතයක් ලබනව." 
  "අනේ..!අම්මේ, මට නම් බෑ ඒ මිනිහත් එක්ක යන්න"
   "කට,කට..තාත්තට ඉහලින් යන්න මේ ගෙදර කාටවත්ම බැහැ." අම්මගේ වචනද වෙනදාට වඩා සැරය.
  " උඹලා කරන්න ඕනි අපි කියන දේවල්. අනික, හතර වැනි ගෑනි වෙන එකමොන තරම් නම්බුවක්ද? ආයෙම වෙන ගෑනියෙක් ගෙනෙන්නෙ නැහැ නෙ. මිනිහගෙ සේරම වස්තුව උඹට."
  " හේ......හේ.......උඹට තමයි සෙරෝම සම්පත්.හරිම වාසනාවන්ති"
   ගඳ ගහන මුල්ලා කෙනෙකුගේ හතර වැනි බිරිඳ වීමෙහි තිබෙන වාසනාව කුමක්ද? කාලිද්ගේ අත ගෙන සොඳුරු ලොවකට පියමන් කරන්නට දුටු සිහින දෙදරා යන්නට ඉඩ දිය යුතුද? අම්මට සහ තාත්තාටත්, අනෙක් පුන්චි අම්මලාටත් මෙය සුබ දායක ආරංචියක් වූයේ තමන්ව විකිනීමෙන්  ගෙදරට ලැබෙන වස්තු කන්දරාව කෙරෙහි ඇති තණ්හාවය. අසීසා දස අතේ කල්පනා කළේ උරන්ගාට මෙය කියා පිළියමක් සොයන්නට සහය ලබා ගත යුතු බවයි.
  පහුවදා පාන්දරම ඇය උරන්ගා හමු වී සියල්ල පැහැදිලි කළේ වෛද්‍යවරයෙකුට සියලු රෝග ලක්ෂණ පවසන රෝගියෙකු පරිද්දෙනි. බොහෝ වේලා කෙරුණු සතර කන් මන්ත්‍රණයේ අවසාන නිගමනය වූයේ කාලිද්ව කෙසේ හෝ හමුවී තාත්තාව හමුවී විවාහය ගැන කතා කරගන්න ලෙසට ඉල්ලා සිටීමටයි. 

" ඉතින් කොහේදිද අපි මුණ ගැහෙන්නෙ?" 
     අසීසාගෙ නොසන්සුන් සිතට සුදුසු තැනක් කල්පනා වූයේම නැත. උරන්ගා කීවේ බැටලුවන් දක්කා ගෙන යන කඳු බෑවුමෙ සෙල්ලම් කළගල්පොත්ත වඩාත්ම සුදුසු බවයි. ගල් පොත්ත වටේටම මූකලානකි.
" කවුරුවත් දක්කොත්?" අසිසාගේ ප්‍රශ්නය ඒ තරම් බැරෑරුම් එකක් සේ උරන්ගාට නොපෙණිනි. 
" කවුද ඔය පැත්තෙ එන්නෙ? මේ දවස් වල එහා කන්දට නෙ බැටලුවො අරන් යන්නෙ. මම අපේ මල්ලිට කියන්නම් හවසට නමාස් ඉවර වෙලා කාලිද්ට එතැනට එන්න කියන්න කියලා."

    නියමිත වෙලාවට කාලිද් එතැනට අවේය. අසීසාද බුර්කාවට රිංගා ගෙන,  ගැහෙන සර්වාංගයෙන් සහ සිතින් යුතුව ගල් පොත්තට සේන්දු විය.
" මොකද, අසිසා ජාන්, හදිස්සියක්ද?"
" අනේ, ඔව්...කාලිද් ජාන්, මාව අර කරීම්මුල්ලට කස්සද බන්දල ඩෙන්න හදනව අපේ තාත්තා, මම කැමති නැහැ ඒ මිනිහට. ඔයාට බැරිද ඇවිත් අපේ තාත්තගෙන් මේ ගැන අහන්න?"
" ඒ මුල්ලට ගෑණු තුන්දෙනෙක්ම ඉන්නව නේද?"
"ඒක නේන්නං. මාව හතරවෙනි ගෑනි හැටියටයි ගෙනි යන්න හදන්නෙ....අනේ! පින් සිද්ද වෙයි, මේකට මොනව හරි කරන්න."
" මම අපේ තත්තට කියන්නම් ඔයගෙ තාත්තව මුන ගැහිල මේ ගැන කතා කරන්න කියල. හෙටම මම තාත්තව එවන්නම්, ඔයා වගෙ ලස්සන කෙනෙකුව ලේලි කර ගන්න අපේ තාත්තා ගොඩක් කැමති වෙයි."
  අසීසාට ඉදිරියට පැන කාලිද්ව සිප ගන්නට සිතෙයි. ඇය ප්‍රේමය උතුරා යන සිතින් ඔහුව සිය දහස් වරක් මනසින් සිපගත්තාය.
" අසීසා, ඉක්මණට මුහුණ වහ ගන්න. ඔ‍යාගෙ ෆාතිමා නැන්දා."
" මොනවා? කෝ? විනාසයි"
"ඔව්, ඔව්..ඔයාගෙ පිටිපස්සෙන්" කාලිද්ගෙ වචන උගුරේ පැටලුණා මිස එලියට පිට වුණේ නැටහ.
" හා... මේ අපේ කාලිද් පුතා නේ? අනේ බලන්ඩකො පුතෙ, අපේ අර කලු බැටළු පටික්කි කොහේ ගියාද කියල නැහැ නෙ. මම මේ හොයන්න යන ගමන්. කවුද ඔය ඔතැන ඉඳල අර ගස් දෙබලට මුවා වුණේ?"
  බියපත් වූ අසිසා බුර්කාවත් ඔසවාගෙන දුවන්නට වූවාය. එසැවුණු බුර්කාවට යටින් අසීසාගෙ අඳුම දුටු නැන්දා කම්මුලේ අත තබාගෙන අල්ලා දෙවියන්ට පැමිණිලි කරන්නට වූවාය.
" අනේ! අල්ලා දෙවියනේ! දැන් හැදෙන ගෑණු ළමයින්ගෙ තියෙන නොසන්ඩාලකම පෙනෙනවද? තනි පන්ගලමෙ ගල් පොත්තට ඇවිත් කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්න හැටි. 
ගෑණු ළමයින්ට ඔය වැඩ 'හරාම්' කියල උඹ දන්නෙ නැද්ද මෝඩියේ? මෙහෙමත් අසික්කිත වැඩක්?"
  ෆාතිමා නැන්දා දුටුව දෙයට ඇති පදම් ලුණු ඇඹුල් එකතු කර මුලු ගම පුරහම සාර්ථකව සන්නිවේදන සිදු කළාය. නඩු ඇසීමට ගමේ 'ශුරා' සභාවට අසිසාව කැඳ වනු ලැබිණි. සභාවේ සිටින්නේ පිරිමින් පමණකි.ඔවුන් ලෝකයේ වෙනත් රටවල් සිදුවෙන කිසිවක්ම නොදත් පිරිසකි. දැන ගන්නට උවමනාවක් ද නත. 
  ඔවුන් සිතන, පතන, කටයුතු කරන, තීන්දු ගන්න ආකාරය කොතරම් වැරදි වුවද එහි දොසක් ඔවුහූ නොදකිති.විත්තියක්,පැමිණිල්ලක් යනුවෙන් දෙපාර්ශෑවයක්කැඳවා නොතිබිණි.සියල්ලන්ම කළේ අසිසාට දෝෂාරෝපනය කිරීමපමනකි. ශුද්ධවූනීති උල්ලන්ගණය කළ වරදට, එමෙන්ම පවුලේ කුලගර්වය විනාශ කිරීමේ වරදට දඬුවම් නියම විණි. කොල්ලට කස පහර හතළිහකි. කෙල්ලව පන පිටින් වළලා ගල්ගස්සමර දැමීමට ඒකමතිකව තීන්දු කෙරිණි.
  අනුන්ගේ සුබ සිද්ධිය උදෙසා නොව විපත වෙනුවෙන්ම කැස කවන ඊනියා මූලධර්ම වාදීන්ගේ දෑත් වලින් කණිනු ලැබූ වළට අසීසාව තල්ලු කරනු ලැබූවේ මුල්ල විසින්මය. 

              ඇය අසීසාම මිස මරිය මදලේනා නොවූවාය. ඇත්ත, නැත්ත, හරි වැරදි කියා දෙන්නට මොහොම්මද් නබී තුමාද නැත. පටාචාර, කිසා ගෝතමී හෝ රජ්ජුමාලාට පිහිට වූ ආකාරයෙන් පිහිට වන්නට මේ අබුද්ධස්ස කාලයෙ ගෞතම බුදු රජාණන් වහන්සේද නොවඩිනු ඇත. කට පාඩමෙන් මිස අකුරු ගලපා  ශුද්ධවූ කුරානය කියවන්නට නොදත්මේ නොමිනිස් මුල්ලගේ කැලේ නීතිය සියල්ලෝම හිස් මුදුනින් පිළි ගනිති.
  විසි එක්වැනි සියවසේ මෙබඳු ම්ලේච්ඡ මිනිස් ඝාතන සිදුවෙතැයි කිසිවෙකුට අනුමාන වශයෙන් හෝ සිතිය නොහැකි නමුදු මෙය සත්‍ය වශයෙන්ම සිදුවිණි.
   අවසන් මොහොතේත් අසීසා සිතුවේ තමන් කිසිදු වරදක් නොකලබව පමණකි. ලෝකයේ පවතින කිසියම් ආගමකින් විරුද්ධ ලින්ගිකයෙකුට ආදරය කිරීම වරදක්දැයි සිතන්නට තරම් ඇය පොත පත අසුරු කර නැත. පොත පත ඇසුරු කරන්නට සාක්ෂරතාවක්ද ඇයට නැත. අමීනාගෙ හිස මතට ගල් වරුසාවක් ඇද හැලෙන්නට  විය. පැය දෙකක් ගත වන තුරුත් අසීසා ගල්පහර කාගෙන විලාප නැගුවාය. අවසානයේ ඇයගේ හිස කඩා වැටිණි. ම්ලේච්ඡ ඝාතකයෝ ලෝකයෙ උතුම්ම කාර්යයට දායක කාරක වූවා සේ ප්‍රීති වූයේ, මරණින් පසු සැපත් වන මොක් පුරෙහිදී ඒකාන්තයෙන්ම ඔවුන්ට දිව්‍යාංගනාවන් ලැබෙනු ඇත කියාය.
         
   

10 ක් අදහස් දක්වලා.:

LishWish said...

ලොව එක කොණක කාන්තාවන් ගැන හඬ නගද්දී තවත් කොණක අසරණ වූ මේ මනුසතුන් තිරිසනුන් ටත් අන්තව ප්‍රේමය නම් ලොව ඇති සුන්දරම සංකල්පය වින්දනය කිරීමේ වරදට දඬුවම ලෙස හිත්පිත් නැති ගල් පහරවල් වල සැලකුම් ලබයි..! මේ චක්‍රය වෙනස් වන දිනයක් ඔවුන් සිහිනයක්න් වත් දකිනවද කියා සිතීමවත් උගහටයි..!
අක්කණ්ඩී.., මේ වැනි නරාපැති විවර කිරීමෙන් ඔබ කරන්නේ මෙ සිරිලක ද කතුන් පාපිසි ලෙස හිතනා පිරිමින්ට හා එසේ හිතන්නට උඩගෙඩි දෙන ගැහැණුන්ට අතුල් පහරවල් එල්ල කිරීමකි..!

ජයෙන් ජය ඔබ ව්‍යායාමය ට.

ජීවිතේමල් said...

ඔබේ අභීත පන්හිඳ අගය නොකර බැරිය :-)
ජය වේවා!

.::පිස්සා::. said...

අනේ මන්දා හිතාගන්නත් බෑ වගේ... සමලිංගිකයොත්, සම-අයිතිවාසිකම් ඉල්ලලා මැරෙන්න හදන කාලෙක, මේ වගේ අහිංසකයන්ට තමුන් කැමති කෙනාට ආදරේ කරන්නත් තහනම්ද?

ලිශ් එක්ක සම්පූර්ණයෙන්ම එකඟයි...

මිත්‍රයා said...

නීතිය හදන්නෙ උන්ට ඕන විදියට නෙ.. කොහෙ ලියපු නීතියක් ද මන්දා.. ඒ අසාධාරණය දැක දැක පීඩනයට පත් වන අයම තමන් විසින්ම පීඩාවට පත් වීම නෙ ලොකුම අපරාදෙ..

Word verification අයින් කරන්නෝ....

budhajeewa said...

[said]
අපි හදන බැටළුවන්ගෙයි, උඹලගෙයි කිසිම වෙනසක් නැහැ. පුංචි වෙනසකට තියෙන්නෙ විකුණුවාට පස්සෙ බැටළුවන්ව මසට මරණවා. උඹලා අලුත් ජිවිතයක් ලබනව.
[/said]

This is SO much WRONG!!!

---

අවසන් නිගමනය:
මේ වගේ කාලකණ්නි රටක් ඇමරිකාව නෙවේ මුලු ලෝකෙම එකතුවෙලා විනාස කරල දැම්මත් පවු නෑ!!!

:S

ruvinitl said...

මේක ඇත්ත කතාවක් කියලනම් කියන්න එපා අක්කන්ඩි.. මෙහෙම දේවල් ඇත්තටම වෙනවද මේ ලෝකෙ?

අක්කණ්ඩි said...

මේක සහතික ඇත්ත කතාවක්. මම එහෙ වැඩ කරද්දි මෙය සිදුවුණෙ 2005 දි. මම දැක්කෙ නම්නැහැ. පුවත් පතක පළ වෙලයි තිබුණෙ. මම හොයල බලද්දි, ඇත්ත.

අක්කණ්ඩි said...

මෙහෙම තමයි, ඇත්තටම ඒ යුවතිය මරා දැම්මෙ. මම ප්‍රති නිර්මාණය කළ කතාවක් ලෙසට.

Thejan said...

ලෝකයට සමානාත්මතාවය හොඳින්ම පෙන්වා දෙන සංස්කෘතිය බෞද්ධ කියල හිතාගෙන සිටින එක තව තවත් සාධාරණීකරණය කරන කතාවක් ... අපේ කාන්තාවෝ හුඟක් වාසනාවන්තයි ලංකා‍ව වගේ මාතෘ මූලික (සුද්දො ආවාට පස්සේ ටිකක් වෙනස් වෙලා තියෙනවා තමයි)සමාජයක වෙසෙන්න.

arjuna said...

තේජාන් මලයට හිතින්නේ නැද්ද අපේ පිරිමිත් වාසනාවන්තයි කියලා :D

Post a Comment