Saturday, April 17, 2010

කැලේ නීතිය

Saturday, April 17, 2010
      මිනිය ගොඩට ගත්තේ පණ පිටින් වැළලූ වළෙන්ය. පණ පිටින් වැළලූයේ  පවුලේ කුල ගර්වය කෙළෙසූ නිසාය. කරක් පස් යට කළ පසු ගල් ගසන්නට යැයි මුල්ලා කී විට වටේ රැස්වී සිටි හැමෝම ඔහුට අවනත වූහ. ගැහැණු බුර්කා වලින් මුළු සිරුරම වසා ගෙන ඇස් දෙකට ඉදිරියෙන් වූ සිහින් දැලෙන් එල්ලය ගෙන ගල්  එල්ල කළහ. අල්ලා දෙවියන් සිටියා නම් කිසිවෙකුටත් ඇයට ගල් ගසන්නට ඉඩ නොදෙනු ඇත.
  'නුඹලාගෙන් පව් නොකළ කෙනෙක් වෙත් නම් පළමුවන ගල ගසා පල්ල" කියන්නට යේසුස් වහන්සේ ආවේ ද නැත. කැලේ නීතිය රජ වූ රටක, නීති රීති ක්‍රියාත්මක නොවන රටක, සාධාරණයක්,යුක්තියක් පසිඳලන්නට කවරෙක් නම් ඉදිරියට එනු ඇත්ද?
   ගල් ගසා මරණු ලැබූ මිණිය නව යොවුන් යුවතියක ගේය. කළ වරද භද්‍ර යව්වනයේම හුන් තවත් මානවකයෙකුට ප්‍රේම කිරීමය. රට ඇෆ්ගනිස්තානයයි. ගම, එම රටේ උතුරේ පිහිටි නූගතුන් පිරුණු නියම් ගමක්ය.
    මරා දැමුණු යුවතියගේ නම අසීසාය. උරංගා ඇගේ ඥාති සොයුරිය පණ පිටින් මෙසේ ම්ලේච්ඡව මරා දමණු බලා සිටිය නොහැකි නිසාම දෙපා වලට ඉක්මන් ගමන් යන්නට අවසර දුන්නේ නැත. එහෙත් සිය නෑනන්ඩිය යලිත් නො එන ලෙසින් ඉක්මන් ගමනක් ගොස් හමාරය.
   අසීසාගෙ මුහුණ බැලිය නොහැකි තරමට ගල්පහර වලින් විරූප වී ඇත. ලේ නොගලන්නේ කොතනින්ද කියා සිතා ගන්නට බැරිය.ඒ තරමටම මුහුණ තුවාල වී ඇත. තවත් ඒ සිත් පෙලන දර්ශනය බලා සිටිය නොහැකිව උරන්ගා බුර්කාව දෑතින් ඔසවා ගෙන දුර්ජන මුහුණු නොපෙනෙන තෙක් මානයක වූ සිය මැටි ගෙදර දක්වාම එක පිම්මේ දුවන්නට විය. ඒ හිතට ඇති පදම් හඬා වැළ පෙන්නටය. 
     " අපේ ආගමේ විදිහට අවසාන කටයුතු කරන්න අවශ්‍ය නැහැ. මේ කෙල්ල අපට කළ අවමානයට මීට වඩා වෙන දඬුවමක් නැහැ. සර්ව බලධාරී දෙවියන් වහන්සේ දන්න මේ හැතිරි කරපු පාප කර්මය මොකද්ද කියලා. තුහ්! තුහ්!" කියා කෙල ගසමින් උජාරු කම් කියන ගමේ මුල්ලාගේ බහට මුළු ගමම අවනතය. කීකරුය. නලංගුය. උරන්ගාට ඉවසිය නොහැක්කේ එයයි.
  මියගිය අසීසාගේ..නැත...මරා දමනු ලැබූ අසීසාගේ මව බුර්කාව තුළට වී මුල්ලාගේ වදන් අනුමත කළේ අසීසාගෙ පියාගෙ අනෙක් බිරියන් තුන් දෙනාද සමගින්ය. බිරියන් තුන් හතර දෙනෙකුට දරුවන් විසි තිස් දෙනෙකු සිටිනා මෙවන් පවුලකට දරුවෙකුගෙ මරණය සයුරෙන් දිය දෝතක් අහක ගියාක් මෙනි. සිත් වේදනා වන්නට කිසිදු කාරණයක් නැත.
  කුරාණයේ මුල්පිටුව වත් කියවන්නට නොදත් අමන මරි මෝඩ මුල්ලා ආගම කියවන්නේ කට පාඩමෙන්ය. ගැහැනු ළමයින්ට ඉස්කෝල තහනම්, අකුරු කරන්නට තහනම් පෙදෙසක ගැහැනු ළමයින්ට ප්‍රේමකරන්නට ඉඩ හසර දෙනු ඇතිද? උරන්ගා මේ සියල්ල හිතමින් මේවා වෙනස් කරන්නට  අල්ලා දෙවියන් නැවත උපදින්නේ නැත්තේ ඇයිද යැයි සිය දහස් වර සිතා ඇත. මුල්ලා ගිය මාසයේ සිය හතරවෙනි බිරිඳ ලෙස අවුරුදු දොළහක ගැටිස්සියක්ව කැන්දාගෙන ආවේ, ඇයගේ පියාට මුදල් හදල් සමග බැටලුවන් රංචුවක් හිලව් කරමිනි.
      අසීසා, සිය පියාගෙ පළමු බිරියගේ වැඩිමහල් දියනිය වී ඉපිද සිටියාය. කුඩා කල පියාගේ එකම හුරතලිය ඇය වුවද බිරියන් සමගම දරුවන් වැඩි වෙන විට දරු හුරතල් බැලීමක් කොයිම වෙලාවක සිදු වුණේ නැති තරම්ය. අසීසා බැටළු රංචු දක්ක ගෙන කොල්ලන් හා එක තලයට, හරි හරියට  කඳු මුදුන් වලට ඇදෙදී දොසක් කියන්නට කවුරුත් අවේ නැත. එහෙත් ඇය හඬ නගා සිනා සෙන විට, සෙල්ලමෙන් පැරදුණු කොල්ලන්ට හූ කියන විට නම් නැන්දලා සහ පුංචි අම්මලා තරවටු කළා උරන්ගාට මතකය.
   අසීසාට සහ උරන්ගාට පාසැල් යාම තහනම් විය. මල්ලිලා පමණක් කිලෝ මීටරයක් පමණ දුරින් වූ පාසැලට යති. ඔවුන්ගෙ පොත්වල පින්තූර බලන්නට හෝ ඉඩ ලැබෙන්නේ ඔවුන් ගෙදර නැති වෙලාවට පමණක්ය. 
  "උඹලා කෙල්ලො. උඹලට ඔය පොත් අල්ලන්න වත් හොඳ නැහැ. පව්. ගෑණු ජාතිය, ජරා ජාතිය. ගලේ ගහ පිය..මරා දමපිය"
  පොත් බලන්නට ගන්න උත්සාහයන් නතර වෙන්නේ ඒ ආකාරයෙනි. උරන්ගා, අසිසා මෙන් සියලු ගැහැණු දරුවන් මේ කෙණෙහිලි වලට ගොදුරු වුවත් විරෝධතා නගන්නට හෝ පිකට් කරන්නට සංවිධාන එහේ නැත. එසේ කළොත් මරණය නියතය.
         පවුලේ පිරිමි දරුවන් ගැහැණු දරුවන්ව එසේ පාච්චල් කරද්දී වැඩිහිටියන්ද ඔවුන්ට උඩ ගෙඩි දෙමින් පවතින සම්ප්‍රදායන් සහ ආකල්පයන් අනුමත කළහ. 
   අසීසාට මෙන්ම උරන්ගාටද මේ කිසිවක් අභිබවා යා නොහැක. ඒ සඳහා දැනුමක්ද නැත. තාත්තාත්, අම්මලාත් පුතුන්ගේ පැත්තේය. ඔවුන් විදි දුක්, කම් කටොලු, අතවර දැරියන්ද විඳිය යුතු යයි ඔවුහූ අදහති. වැල යන අතට මැස්ස ගහනවා මිසක ඒ තමන්ගේ උපන් කරුමය සහ උරුමය යයි සිතනවා මිසක ඉන් එහාට සිතන්නට ඔවුන්ට ඥාන ශක්තියක් නැත. අම්මලා සිතන්නේ ගැහැණුන් ඉන්නේ ගෙදර දොරෙහි වැඩ කරන්නට, දරුවන් වදන්නට සහ හදන්නට පමණක් බවයි. ඒ වගේම පිරිමින්ගෙ ගුටි බැට වලට ලක් වීම, ඔවුන්ට දාස මෙහෙවර කිරීම තමන් ලබා උපන් දෙයක් බවත් ඔවුහූ පිළිගත්හ. මේවාට විරුද්ධව කතා කිරීම දෙවියන්ට එරෙහි වන තරමේ පාපයක් ලෙසද ඔවුන්ට කියා දී තිබිණි. 
    පිරිමින්ගේ කිසිදු තීන්දුවකට එරෙහි වීමට ගැහැණුන්ට නොහැකිය. අසීසාත්, උරන්ගාත් වයසින් මෝරද්දී මේවා ගැන රහසේ කතා කළද ඉන් එහාට කිසිවක් කරන්නට හැකියාවක් ඔවුන් තුළ වූයේ නැත.
   වැඩිවිය පැමිණීමත් සමගම අසීසා සහ උරන්ගාට බැටුළුවන්ව ගෙනයාම සපුරා තහනම් වූයේ සම්ප්‍රදායන් අනුවය. බැටළුවන් උලා කද්දී කොලු කෙල්ලන් සෙල්ලමේ යෙදෙති. දැන් ඒ සියල්ල යව්වනය විසින් උදුරා ඉවත වීසි කර ඇත. ළමා විය නොඉක්මුණා නම් හොඳ යයි සිතෙන්නේ එවිටය.
    අසීසාට තමන් සමග එක රෑනෙ කෙළි දළෙහි යෙදුණු කොලු කෙල්ලන්ව මතක් වෙයි. එළු, බැටළු, ගවයන් නිදැල්ලේ තන උලා කද්දී වසන්ත කාල සුන්දර කළ කෙලි සෙල්ලම් සිත කොනිත්තද්දී උරන්ගවත් ඇදගෙන  කඳු වළල්ලට දුවන්නට සිතෙන සිත අසීසා රෙදි කැබැල්ලක ඔතා වහළට විසි කරයි. එය නැවත තමන් ළඟට නො එනවා නම් හොඳය.
    අසීසාගෙ පියාගෙ තුන්වෙනි බිරිඳට කුළුඳුල් පුතා ලැබුණ විට අසීසාට මහත් සතුටක් දැනිනි. ඒ දවස් හයකින් එලැඹෙන නම්තැබීමේ උත්සවයට සතුටු විය හැකි නිසාය. ඒ උත්සවයට සහභාගි විය හැක්කේ කාන්තා පක්ෂයට පමණක් වුවද එදාට නටන්නත්, ගයන්නත් ලැබෙන අවස්ථාවෙන් තරුනියන් උපරිම ප්‍රයෝජන ගනිති. ඉනුත් සින්දුවක් කියා, චුට්ටක් නටා අහින්සක සතුටක් ලබනව මිස ඉන් ඔබ්බට යෑමක් කිසි විටෙකත් සැබැ නොවන සිහින පමනකි.  . . . .
(ඉතිරි කොටස මග...)

11 ක් අදහස් දක්වලා.:

kolu said...

ඇෆ්ගනිස්තානේ ලංකාවටත් වඩා පරණ ශිෂ්ඨාචාරයක් තියෙන රටක්. දැන් උනත් ඇෆ්ගනිස්තානෙ වයසක උන්දෙක්ගෙන් ඇහුවෙත් රුබෙයීයාට් කට පාඩමෙන් කියයී. එහම රටකට මෙහෙම උනේ කොහොමද. මේ යනවිදිහට ලංකාවෙත් එහම වෙන්න පුලුවන් කියලා සාදාරණ බයක් මට තියනවා.

ජීවිතේමල් said...

එක් එක් රටට ආවේණික වුන සංස්කෘතික , ආගමික හෝ මොකක් හෝ කියා ගත් සම්ප්‍රදායන් තිබෙනවා. ඒවා ඇති උන පදනම බැලුවොත් , බොහෝ විට අපට 'සාධාරණ' යැයි සිතිය නොහැකි තරම් අන්තවාදී කාරනා. මේ ඊට එක් උදාහරනයක්. පුදුමය නම්, මිනිසුන් කාලයත් සමග ඊට අනුරූපව වෙනස් වෙද්දී, තම මතය තුලම එල්බ ගැනීම මිස, එහි වරද නිවරද බව මොහොතකට හෝ නොවිමසීමයි.
වාරිස් ඩයිරි ලියූ 'කාන්තාරයේ කුසුම' පොත කියවූ මොහොතේත්, 'දෙවියන්ගේ අඩවිය' කියවූ මොහොතෙත්, 'දයාබර ඩාලියා' කියවූ මොහොතෙත් මට හැඟුනේ මේ දේමයි... කෲරත්වය මිනිස් හදවතකට නොහැ‍ඟෙනවාද? එය හැඟුනත් නොහැඟුනා සේ තම සම්ප්‍රදායන් ඉදිරියට ගෙනයනවාද?

LishWish said...

මට මේ සටහන කියවනකොට මත උනේ ජීන්. පී. සැසන් ගේ පොත් ටික. කොදෙව්වෙන් එහා ලෝකය ගැන පොඩි හෝ ඉවක් තිබ්බත් මේ තරම් පැරණි ඉතිහාසයක් තියෙන ඇෆ්ගනිස්තානය මේ තරම් ම්ලේච්ඡ බව දැනුනම හිත පොඩ්ඩක් ගැස්සිලා නොගියාමත් නොවෙයි...!
ටිකක් වෙලා කල්පනා කරන කොට ඔලුවට් ආවේ මේ අහිංසක මිනිස්සු ගැන අනුකම්පාවකුත් අර ගමේ ඉන්න මූඪ වයසක මුල්ලා ගැන කියා නිමකල නොහැකි වෛරයකුත් විතරයි...!
මේ තරම් තුච්ඡ වෙලා මේ මිනිස්සු කොහොම අල්ලා ව අදහාලා කුරාණය කියවන්න උත්සහ දරණවද මන්දා...?

මිත්‍රයා said...

ඇමරිකාව අනික් රටවල් ගැන හිතන විදියට අපිට අනික් රටවල් ගැන හිතන්න බෑ.. මොකද එම රටවල අවුරුදු ගණනක් පැවතුණු සංස්කෘතික අනන්‍යතාවක් තිබෙන නිසා. නමුත් එම රටවල පිරිමින් සහ ගැහැණුන්ට අවැසි නම් ඒ ක්‍රමය වෙනස් කිරීමට පෙරමුණ ගත හැකියි. එසේ නොමැතිව ජාත්‍යන්තරයට කළ හැකි කිසිවක් නෑ...

උදව්වක් වශයෙන් word verification අයින් කරන්න පුලුවනි ද?

අක්කණ්ඩි said...

මම ඒ රටේ ජාත්‍යන්තර ආයතනයක් වෙනුවෙන් වැඩ කළාට ඇමෙරිකාවෙ අදහස් මුදුන් පමුණුවන තැනක නැහැ. මම හැම සමාජ තලයකම මිනිස්සු ඇසුරු කළා. බහුතරයක් මිනිසුන් හරිම දයාබරයි. ආගන්තුක සත්කාර හරිම ඉහළයි. මේ සත්‍ය සිද්ධිය ඇසුරෙන් මුළු මහත් සමාජයම මූලධර්ම වාදීන් කියල තීන්දුවක් ගන්න හොඳ නැහැ.
කෙසේ නමුත් මම අහපු, දැකපු, කියවපු මගෙ සිත සසල කළ දේවල් බෙදා හදා ගන්න හිතුනා. අවුරුදු තුනකට වැඩියෙන් බොහෝ විට මරණය පෙනි පෙනී එහෙ ගතකරපු කාල වකවානුව ජිවිතයට බොහෝ අපූරු අත් දැකීම් එකතු කළා.

යෝගී... said...

හැමදාම හිතපාරවපු මාතෘකාවක් ඔබ කතාකරලා තියෙන්නේ.. ආදරය කිරීම වරදක් නම් , ඒ වරදට දඬුවම සුමුදු මටසිලිටි මලක් තලා පෙලන්නා සේ ඇගේ අහිංසක මුහුණ පොඩිකර දැමීමනම් , ඒ සංස්කෘතියට අපි කිවයුත්තේ නිකම්ම නූගත් කම කියාද ?

සෑම මිනිසෙකුටම තමා කැමති ලෙස හිතීමට ජීවත් වී‍මට මෙන් ම මිය යාමටද අයිතියක් තිබේයැයි හඟිමි.

ඉහළින් අදහස් දක්වපු මිත්‍රයාට ලියූ දේ මඳක් සංස්කරනය කරන්නට සිතේ. ඒනම්
"නමුත් එම රටවල පිරිමින් සහ ගැහැණුන්ට අවැසි නම් ඒ ක්‍රමය වෙනස් කිරීමට පෙරමුණ ගත හැකියි." යන්න
"නමුත් එම රටවල පිරිමින්ට ___ අවැසි නම් ඒ ක්‍රමය වෙනස් කිරීමට පෙරමුණ ගත හැකියි." ලෙසයි...

ගැහැණියට කළ හැකි දෙයක් නොවේ එහි!..

ස්තුතී අක්කේ ඔබේ කතිකාවත ට..

-ජය

budhajeewa said...

එහි අලුත් පරම්පරාවත් සිතන්නේ ඔය විදියටම නම්, දුක තමා.

මේව දැක දැකත් අපිට කරන්නට දෙයක් නැති බව දැනීම නිසා, දුක තමා.

:(

දුකා said...

තහනම් කිරීමේ ක්‍රමය මඟින් . . . මිනිසුන්ට රසවින්ඳනය (වැඩිහිටියන්ට පමනයි චිත්‍රපටි වැඩිහිටියන්ට පවා නැරඹීම තහනම්) , නිවරදි තොරතුරු ලබා ගනීම (රජයට කඩේ යන පුවත්පත් හැර අනෙක් විකල්ප පුවත් පත් වාරණය ආදී) හා
රජයේ සියළුම දේවලට එක හෙලා කැමති කරවා ගැනීමේ හා අකමැති වෙන්නන් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමේ ක්‍රමවේදයෙන් . . .

වේගයෙන් ඇෆ්ගනීකරණය වේගය අපේ රටේ මේ කතා ත් නුදුරු අනාගතයේ ම අසන්නට ලැබේ යැයි සිතෙන සිතුවිල්ල කොයි තරම් භයානකද . .. ?

එවැනි භීෂණයක් අත්විඳි අක්කන්ඩී නම් කෙදිනක වත් අපේ රටේ එවැනි දේකට උඩගෙඩි නොදේවී යැයි නිරතුරු සිතමි . ..

පිස්සා පලාමල්ල said...

මහ තිරිසන් ක්‍රමයක් ඕක. සමහර නීති රීති ඔය ආගමේ කොහෙත්ම පිලි ගන්න බැහ. අමානුශිකයි.

ඔය ගැන කියන්න දෙවල් හුඟක් තියෙනවා. වෙනම ලිපියක් ලියන්න තරම්... වෙලාවක් ලියන්නම්.

මුචලින්ද said...

මාරයි! කතාවත්, ලිවිල්ලත් දෙකම.ඇෆ්ගනිස්තානයේත්, පුෂ්පා රම්ලනීත් නිසා අර දෙක ගැන පුදුම වෙන්න දෙයක් නෑ!

arjuna said...

අක්කන්ඩිගේ කතා මාර රසවත්
මාරම මාරයි
අද තමයි මට මේ බ්ලොග් එක හම්බ උනේ
ටැබූගේ, බියෝන්ඩ්ෆ්‍රේම් ගේ කතා කියවා කියවා ඉන්දලා පිටස්තර 2 හරහා කතන්දරකාරයාට සෙට් වෙලා (පෙරේදා) ඒක හරහා අද තමයි මෙහේට ගොඩ උනේ
කොමෙන්ට් දාන්නවත් නොනැවතී අද එකදිගට කතා කියවා ගෙන ගියා, කොමෙන්ට් ක්‍රන්න ඕන උනත් ඔබට පින් දෙන්න ඒකටවත් නවතින්න ලෝබ හිතුන නිසා
ඒත් මිගාර අය්යාගේ (මීගාර අය්ය කිව්වෙ එයා අය්ය බව හොඳටම ශුවර් නිසා) කොමෙන්ට් එක දැක්කාට පස්සේ කොමෙන්ට් එකක් නොදා යන එක අසීසට වෙනුවෙන් වගේම මන් වෙනුවෙනුත් කරන අපරාදයක් කියලා හිතුන නිසා පොඩ්ඩකට නැවතුනා

මම අසීසා උනානම් ඇමරිකන් කරයෝ නෙවෙයි යම රජ්ජුරුවෝ ඇවිත් හරි මාව ඒ අපායෙන් බේරගන්නවනම් සතුටු වෙයි
රටේ ඉන්න ගෑනුයි මිනිස්සුයි පෙල ගැහෙන කම් කොහොමද මම දුක් උහුලන්නේ
මුල් තැන අරන් සටන බහින්න එක්කෙනෙක් හරි මරනයට බය නැතුව ඉදිරිපත් වෙන්න ඕන - ඒක මාත් පිලි ගන්නවා

මම මරනයට නම් බය නෑ - හැබැයි ඒ මරනය වස බෝත්ලයකින්, සයනයිඩ් කරලකින් සමහරවිට එක පරට මරන වෙඩි උන්ඩයකින් (වෙඩි වැදුනම රිදෙන්න්න කොච්චර වෙලා යනවද? - වෙඩි වැදුන පින්වතෙක් ඉන්නවනම් මගේ සැකේ දුරු කරන්න )වගේ කෙලවෙර වෙනවානම්
ගල් පාර කස පාර කාල මැරෙන්න නම් මම බයයි

Post a Comment