Monday, February 28, 2011

ආදරයේ මුල් අකුරු

Monday, February 28, 2011

                නන්දිගෙ ජිව්තය වගෙම ගති ස්වභාවයන්ද  තේරුම් ගන්න මම උත්සාහ කළේ අපේ සුළැඟිලි වල ගැට ගහපු රන් කෙඳිවල ප්‍රභාශ්වර එළිය නිවෙන්න දෙන්න අකැමැත්තෙන්. බිරියක් අතින් සිදුවිය යුතුකම් ඉටු කෙරෙන වග මගෙ හිතට සහතිකයි. කැප වීම්, පරිත්‍යාගයන් එක පසෙකින් පමණක් සිදුවිය යුතු යයි සිතන අයට නම් මට එකඟ එන්න බැහැ, කොයි තරම් බල කළත්. ශාරීරික වශයෙන් බෙලහීන ලෙස සලකන නිසා හෝ සමාජයේ දෙවෙනි පෙළ පුර වැසියෙකුගෙ ගණයට දමල සලකන නිසා හෝ හැම විටම පරදින පක්ෂයට වැටෙන්න මට තියෙන් අයිතිය මොකද්ද කියල මම මගෙන්ම ප්‍රශ්න කර ගන්නවා. නම්‍යශීලි විය යුත්තෙ මා පමණක්ද?
   මගේ ස්ථාන මාරුව පොළොන්නරුවට හදනු වෙනුවට මාව නන්දිගේ මහ ගෙදර පැලපදියම් කරවන ආකාරයෙන් අපූරුවට ඉෂ්ට සිද්ධ වුණා. ආදරයෙන් හුරතල් වෙන්න ඉගෙන ගන්නත් කලින්, ආදරය නොදන්න මනුස්සයෙකුට ආදරයේ මුල් අකුරු කියවන්නත් ඉස්සරින් එහෙම වුනේ ඇයි කියල දඩබ්බරී මගෙන් අහනව. ඒව එහෙම තමයි වෙන්න ඕනි කියල සම්ප්‍රදායිකා එයත් එක්ක ඔට්ටු වෙනවා.

                    ප්‍රේමවතී ආපහු මගෙත් එක්කම ගමට යාවී. අඩුම තරමින් එයා වත් මගෙත් එක්ක කිට්ටුවෙන් හිටියොත් මහගෙදර ඇත්තන්ගෙ වෙනස් කම් දැනෙන එකක් නැහැ.

"මාරුවීම හදල තියෙන්නෙ ඔයාලගෙ ගමට නෙ.පොළොන්නරුව රාජකීය විද්‍යාලෙට නෙවෙයි නෙ. එහෙම වුණෙ කොහොමද?"
          මාරුවීමේ ලිපිය නන්දි වෙත දිගුකරමින් නිශ්ශබ්දතාවය බිඳෙනවා මගෙ අතින්. තේ කෝප්පයට ඇලුණු තොල් තවත් තදටම පීරිසි කෝප්පෙට ඇලවෙනවා. පත්තරයේ නලියන ඇසුත් වැඩියෙන් නලියන්න ගත්තා. මාව නළවන්න කියල නිකමටවත්, කවදාවත් මේ ඇස් වලට, තොල් වල්ට නොහිතෙන එක පෙර කර්මයන්ට බැර කරන්න සිද්ධ වෙලා. කාගෙ ගිණුමට බැර කරන්නද? ඔහුගෙද? මගෙද?
      බඩවැල් අඹරවා ගෙන එන අමුතු වේදනාවක් ඔක්කාරයක් එක්කා ලුණු රසට උගුරට ආවා. කට අති තද් කර ගෙන මම මුළුතැන් ගෙයි පිටු පසට දිව්වා. කොහොම ඒ තරම් වේගයක් මගෙ දෙපයට ආවද කියල හිතා ගන්නත් බැහැ.

"සුදු මැණිකෙ, මොකද?"

ප්‍රෙමවතී අසුරු සැණින් මා ලඟ.

" චුට්ටක් වමනෙ ගියා, ඔලුව ටිකක් කැරකෙනව වගෙ"

   "ඇඳට ගිහින් හාන්සි වෙමු, සුදු මැණිකෙ. බය වෙන්න මොකුත් නැතිවේ, මයෙ හිතේ, කන්දෙ දෙවියන්නෙ පිහිටෙන්"

   නළලට නැගුණ දහදිය පිහිදල දැම්මෙත් ප්‍රේමවතී. පත්තරේ ඇලවෙච්ච මනුස්සයාට ගැලවෙන්න බැරුව ඇති. 

'අත්ථාහි අත්ථනෝ නාථෝ, කොහී
නාථෝපරොසියා'
   දහම් පාසැලේ ඉගෙන ගත්තු දේවල්, මතක් කරල දෙන්නෙ දඩබ්බරී.
   ඇඳේ හාන්සිවෙල ඇස්පියාගෙන එන කොට නළල මත දෑතක උනුහුමක්. නන්දිට මා ගැන ආදරය හිතිල එන්න ඇති. දොසක් හිතන්න නරකයි. හිතේ පිරුණු ආදරය කියා ගන්න බැරුව ඇති.

" සුදු මැනිකෙ, මෙ කෝපි එක බොන්න, එත කොට ඔය කෙඩෙත්තු ගතිය මග ඇරිලා යාවි"

  ඒ ප්‍රේමවතීගෙ සෙනෙහස මගෙ නලල පිරිමැදපු හැටි. නන්දි පත්තරේ තිබුණු අභ්‍යාවකාශ යානාවක නැගලා පිට සක්වලකට ගිහිල්ලද කොහෙද?

 " කට තිත්තයි, ප්‍රේමවතී. මට අර දිවුල් ගැටයක් කන්න ආසයි, ඇඹුල් රහට. කඩල දෙනවද?"

   " එහෙම නං මම හිතුව හරි. සුදු මැණිකෙ, බය වෙන්න එපා. මගෙන් ලොකු හාමු හැම තිස්සෙම අහනව, මොකද තවම බබෙක් නැත්තෙ කියලා. ඒකත් හරි එහෙනං. මම මහත්තයට කියන්නද?"
  "එපා, එයාට ඕනි නං ඇවිත් අහන්නෙ නැතෑ"

  "ප්‍රේමවතී, කවුද ඔය දිවුල් ගහට පොලු ගහන්නෙ කියල බලන්න."

  " මමයි, පොලු ගහන්නෙ....අපේ සුදු මැණිකෙට ගැට දිවුල් කන්න ආසලු"

   ඒ හඬට නම් පුළුවන් වෙයි, ගල් පිළිමෙ ඇහැරවන්න කියල මට හිතුණා.

  " මලිති, බලන්න මම කොයි තරම් දුර දිග හිතල වැඩ කරනවද කියලා. ඔය තත්ත්වෙ ඉන්න කොට අපේ ගමේ අම්මලා ගාව ඉන්න එක නේ ඔයාට හොඳ."

  අවස්ථානුකූල අයුරින් පන්දුවේ වාසිය අත් පත් කර ගත් නන්දි එතැනින් එළියට ගොස් බිම වැටුණු දිවුල් එකතු කරන ආකාරය දිග ජනෙල් කවුලුව නිරාවරණය කළා.
   
   
   

2 ක් අදහස් දක්වලා.:

එදිරි said...

ෙම් ෙමාකද අග-මුල මාරැෙවලා...

අක්කණ්ඩි said...

පරන කතා බලලා අග මුල මතක් කර ගන්න. කෙටි නව කතාවෙ අවසන් කතාවෙ ඉන්දල යලිත් පටන් ගෙන තියෙන්නෙ.

Post a Comment