Friday, February 25, 2011

නිරාමිස සුවය

Friday, February 25, 2011
                      තලවතුගොඩ මෙත්තාරාමය දෙසට ඇදෙන ත්‍රිරෝද රථය වන රුප්පාවක් වැනි පෙදෙසකට ඇතුළු වෙනවා. ඇස නිවන, සිත නිවන පරිසරයක්. ගිනිගහන ගෙන්දගම් නුවරක මැවුණු ශාන්ත, ලොවුතුරා සැප සේ සුනීත, සුපසන්, සුවදායක වටපිටාවක්. සුදු වැලි අතුළ බෝ මළුව ඇරඹෙන්නෙ ගේට්ටුවෙන් ඇතුළු වුණු ගමන්මයි. ත්‍රිරෝද රථයෙන් බිමට, මා පා තැබුවෙ වෙනත් ලෝකයකට ගියා වගේ. එතරම්ම නිවී සැනසුණු සිසිලසක් මුලු සිරුරම වෙලා ගන්නව වගෙ දැනුණා.

                   පාවහන් යුවල ගලවා ඉද්ද මල් පඳුරක් යටට කළ මගෙ දෙපා ඇදෙනව. කෙම්බිමක් හොයා ගෙන යනව වගෙ. බෝ මළුවෙ තැනින් තැන අ
ර්ධ පර්‍යංකයෙන්, බද්ධ පර්‍යංකයෙන් වාඩි ගෙන බවුන් වඩනවා, භික්ෂුණියන්. කහ මල් පිපුණු මල් උයනක සැරිසරන උවැසියෙකුගෙ සිත ගත සිත වෙලා හමා යන සිල් සුවඳින් පසිඳුරන් දමනය වෙන අයුරක් මට දැනෙන්න ගත්තා. මේ සුළු මොහොතකට මට මෙබඳු නිරාමිස සුවයක් දැනෙනවා නම් මෙහිම වැඩ වෙසෙන මේ භික්ෂුණියන්ට හා උපාසිකාවන්ගෙ සිත් සතන් කොයි තරමක් සිසිල්ව, සුවදායකව නිවී ඇත්ද? බුදුගුණම මෙනෙහි කරන සිත් සතන් වල මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ෂා ගුණ දහම් කොතරම් ඔවුන් ගෙ සිත් සතන් වල රෝපනය වී චිරස්තායී ලෙස පවතිනවා ඇත්ද?

       ගෙනා මල් වට්ටියට පැන් ඉසින්නට මා වතුර කරාමය විවුර්ත කරන්න උත්සහ කළත් එය ඉතා තද ගතියකින් යුක්ත බව දැනුනා.
  "සුජී, ඔය පයිප්පෙ ටිකක් තදයි. ඉන්න, මම ඇරල දෙන්නම්"
  ඒ ධම්මදින්නා භික්ෂුණියගෙ මුදු ස්වරය. තිගැස්සුණෙ නැහැ, මම. යෝනිසෝ මනසිකාරයෙන් සිටි නිසා.
" මම ඔයා එනකල් මග බලා ගෙන හිටියා. එන්න, අපි ධර්ම ශාලාව් දිහාවට යමු. එතැන පොඩ්ඩක් වාඩි වෙලා කතා කරමු"

   මට මලිතිගෙ අතීතය මතක් වෙනවා. සරසවි ජීවිතය, නාට්‍ය රඟ පෑ ආකාරය . . . ඇය කොතරම් කෙළිලොල්, දඟකාර යුවතියක්ව සිටියාද? දණින් පහළට වැටෙන තරම් දික්වූ කෙස් කළබ මොන හිතකින් කපා දැමුවාද? මගේ පුහුදුන් සිතට එය ප්‍රශ්නයක් වුවත් සිත දියුණු කළ කෙනෙකුට එය, 'අත්ථී, ඉමස්මිං, කේසා, ලෝමා, නඛා, දන්තා ' යනුවෙන් සතිපට්ඨාන සූත්‍රයේ කායානු පස්සනාවේ දැක්වෙන පිළිකුල් භවනාව සිහිකරන දෙයක් පමණක් වෙන්නැති.
                   බණ මළුවෙ පුංචි පුටු දෙකක අපි අසුන් ගත්තා. උරහිසේ රඳවාගෙන සිටි කසාවන් රෙදි බෑගයෙන් ධම්මදින්නා භික්ෂුනීන් කිසිවක් ඉවතට ගන්නව.

                "සුජී, මෙන්න මගෙ පොත. දැන් මගෙ නෙවෙයි. ඔ
යාට මතකයි නෙ, මම මගෙ කතාව කියා ගෙන ආවා. හදිසියෙම අවුරුදු ගණනාවක් මෙහාට මහා පිම්මක් පැනල මම ලිව්ව...උහුලා ගන්න බැරි දේවල්. එදා මෙදාතුර බොහෝ දෙවල් ගිලිහී යන්න ඉඩ හැරියෙ හිතා මතාමයි. ඒත් ඒක හරි නැහැ. පූර්වාපරසන්ධි නොගැලපුණහම ඒ නිර්මාය සත් භාවයෙන් තොරයි."
       "ඔයාට අතීතය මතක් වෙනවද නිතරම?"
       "නැහැ, සුජී, මේ පොත ලියල ඉවර කළහම මට දැනුණු සැහල්ලුව අප්‍රමාණයි, අනන්තයි...දෝමනස්ස සහගත සිතුවිලි සමුදායකින් මිදුනා වගෙ සුවදායක සැහැල්ලුවක් මට දැණුනා. බුදු ගුණ මෙනෙහි කරද්දි, අනිත්‍ය මෙනෙහි කරද්දි ඇලීම්, බැඳීම් වලින් සිත මිදෙනවා. අතීතයේ වත්, අනාගතයේ වත් හිතට සැරිසරන්නට ඉඩ නොදී වර්තමානයේම තබා ගත්තම, යෝනිසෝ මනසිකාරයෙන් හිටියම, සිතුවම, සුභාවිත සිතම පුහුණු කරාම කිසිම දෙයක් ගැන ඇලීමක් නැහැ. පසුතැවීමක් නැහැ."
   "මටත් නිතර මෙහෙ එන්න හිතෙනවා. කමක් නැද්ද ආවට? හරිම ප්‍රසන්නයි. හිත නිවෙනව."
   "කැමති වෙලාවක එන්න. ධර්ම දේශනා තියෙනවා, හැම හවසකම. භාවනා වැඩ සටහනුත් තියෙනවා. වැඩසටහන් විස්තරය අර දැන්වීම් පුවරුවේ තියෙනවා. ඔයාගෙ වැඩ අනුව කාල සටහනක් හදා ගන්න, විවේකය තියෙනව නම්"
  " මම පලතුරු වගයක් ගෙනාවා. ඒ ටික?"
  " අපි ඒව ගිහින් දාන ශාලාවෙ පොදු පාවිච්චියට තියමු"
                          මෙත්තාරාමයෙන් පිටව එද්දි කය විතරක් එතැනින් පිටව එන සෙයක් මට දැණුනා. සිතට නවතින්න හිතිලා, කසාවත් සහ බෝ පත් සිලි සිලිය පිරිත් සජ්ජායනා කරන සුවදායක පරිසරය තුළ.

2 ක් අදහස් දක්වලා.:

මැණික් said...

ඇත්තටම මටත් යන්න හිතෙනවා. ලිපිනය මොකද්ද?
මැණික්(සුළඟ)

~බිன்ku~ said...

Akkage me lipiya kiyewwamath kaalekin passe me blog ekata aawamath dan mata hithenawaa welaawaka akkage blog eka mula indan welaawaka kiyawanna...

Post a Comment