Friday, February 18, 2011

Friday, February 18, 2011

              නවම් පුර පොහොයට කැළණිය පංසලේ සැදැහැවතුන් සයුර ගොඩ ගලන්න වගෙ. අළුයම් හෝරාවෙම අපි පංසලට ඇදුණෙ සිල් සමාදන් වෙන්න හිතා ගෙන. සුදට සුදේ සැරසුණු බැතිමතුන් කිරි මුහුද වගෙ පන්සලේ හැම තැනෙකම. සාධූ!  සාධූ! සාධූ! හඬට මුසු වෙච්ච වන්දනා ගාථා, හේවිසි හොරණෑ නාදය සිත සන්සුන් කරනවා.
  'අන්තෝ ජටා, බහි ජටා' වලින් පිරුණු ගිහි ජීවිතය තුළ නව පන්නයේ නිමැවුම් කෙළෙස් තවනු වෙනුවට කෙළෙස් වඩන ආකාරය සසර බිය තව තවත් තීව්‍ර කරනවා.

  ශබ්ද වාහිනියෙන් දුන්නු අට සිල් සමාදන් වෙලා, උදෑසන බුද්ධ පූජාවට අපි ගියෙ සෙනග අතරින් බොහොම අමාරුවෙන්. තල්ලු කරත්, කකුල පෑගුණත් මෙත් සිතුවිල්ලක් මිසක ද්වේෂ සහගත සිතුවිල්ලක් උපදින්න හිතට අවසර දෙන්නෙම නැහැ, මම. මැලැවෙන සුවඳ මල් මලසුන් මත ජීවිත යථාර්තය කියා දුන්නත්, තේරුම් ගන්නෙ කී දෙනෙක්ද එය?

      පියකරු, සුවඳ මල් හිස ගවසාගෙන, විලාසිතා වලින් සැරසීගෙන තමන් තුළ පවතින හිස් බව වසා ගන්න තැත් කරන බොහෝ අයට බුදු දහම නොවැටහෙන හැටි! පරෙස්සමට පිය නගන මට ඉදිරියෙන් සිල් මෑනියෙක්. භික්ෂුණියක්ද, දස සිල් මාතාවක්ද කියල තේරුම් ගන්නට හැකියාවක් නැහැ. ඔහොම යද්දි අපි එක පෙළට උරෙනුර ගැටී යන්න වුණා. ඇය මා දෙස බලුවෙ අහම්බෙන්. ඒ මුහුණ මට හොඳට හුරු පුරුදුයි. ඒ දෑස, මද සිනහව.... 
    "සුජී, ඔයා මෙහෙ?" ඇය ඉස්සර වුණා.
    "මලිති, මට ඔයට මලිති කිව්වොත් පව්ද?"
    "නැහැ, පව් නැහැ...මම ධම්මදින්න මෙහෙණිය...ඉස්සර මලිති නුගලියද්ද"
    " මම හිතුවෙ නැහ ඔයා කවම දාක වත් සසුන් ගත් වෙයි කියල"
    " අපි බුද්ධ පූජාව ඉවර වෙල කතා කරමු. පරම සත්‍ය තියෙන්නෙ බුද්ධ ධර්මයෙ විතරයි, සුජී."

           හිත සන්සුන් කර ගන්න ආවත් සුජීගෙ හමු වීම සිත නොසන්සුන් කරල. ඇත්තටම මෙතරම් ජීවිතය කල කිරෙන්න දැඩි කම්පනයක් සිදු වෙන්න ඇති. මගෙ හිත අනවශ්‍ය සිතුවිලි රැහැන් වලින් වෙලෙනවා.

     කෙළෙස් පිරුණු මගෙ පෘතග්ජන සිතට ඉවසිල්ලක් නැහැ ඇගේ ජීවිත විවරණය දැන ගන්න කල්. දමනය කරගත් හැකි යයි සිතුවට සිත් කොතරම් අකීකරුද? කොහෙ කොහේ දුවනවද?

" දූරං ගමං ඒක චරං
  අසරීරං ගුහාසයං"

    අට සිල් බිඳෙන්නෙ නැහැ නෙ, මලිති එක්ක කතා කළාට. ඇගේ මුහුණ පුරා ඉතිරී පැතිරෙන ශාන්ත නිවීම, සන්සුන් බව ඇගේ මුහුණ තවත් පැහැපත් කරලා.

      බෝ මළුවෙ කෙළවරක අපි වාඩි වුණා, හෙවනක් බලලා. බෝ පත් සිලි සිලිය සුමියුරු පිරිත් සජ්ජායනයක් වගෙ. තාපය නිවමින් බෝ පත් පිස එන මද සුළඟ පිනි අහුරක් වගෙ සිත, ගත දෙකම නිවන.
    "ගොඩක් දේවල් සිද්ධ වුණා, සුජී. මම ඒ  ලිව්වා. පිළිවෙළකට නෙවෙයි....දරුවන්ට හරි දවසක කියවන්න පුළුවන් නේ? පුදුම වෙන්න එපා. හුදෙකලාව ඉන්න ගිහි ජිවිතයට වඩා මේ මහණ කම මට සුව දායකයි."
    "එතකොට දරුවො?"
    "දෙන්නම පිට රට නෙ. ඒ ගොල්ලො කිව්වට ඒ අයත් එක්ක ඉන්න කියලා, මම හිතුව මෙහෙම ඉන්න එක වැඩිය හොඳයි කියලා"
    "කොහෙ දැන් පදින්චිය? තලවතුගොඩ මෙත්තා උපසිකාරාමයෙ. ඔයා එහෙ එන්න කො. ඒ අසපුව දැක්කම ඔයාටත් මහණ වෙන්න හිතෙයි."
    "ඔක්කොම මහණ වුණොත් කවුද පැවිද්දන්ට දාන මාන කරන්නෙ? අපි වගෙ ගිහියො ඉන්න ඕනි ඒකට."
    "ඇයි, බය වුණාද ඔයා? නන්ද කුමාරයව මහණ කර ගත්තා වගේ ආරාමයට ආවම ඔයවත් මහණ කර ගනීවි කියලා."
    "අනේ! නැහැ.....මම නිතර එන්නම්. ඔයාගෙ පොත ගන්න නම් අනිවාර්යයෙන්ම එනවා"
    "එහෙනම් හෙට හවස එන්න. මම බලා ගෙන ඉන්නවා. මම අපේ උපාසිකාවකගෙ ඉල්ලීමකට අද ආවෙ...ඒ ගොල්ලො බලා ගෙන ඇති. තෙරුවන් සරණයි, සුජී"

    "තෙරුවන් සරණයි. මම එන්නම් හෙට, නොවරදවාම."

               ධම්මදින්නා තෙරණිය ගෙන් වෙන්වූ මා, සෙනග අතරට යලිත් එකතු වුණා. ඇගේ පොත කියවන කුතුහලය, ආසාව හිත තුළ යටපත් කර ගෙන.

5 ක් අදහස් දක්වලා.:

Kathandara said...

/* "ඔක්කොම මහණ වුණොත් කවුද පැවිද්දන්ට දාන මාන කරන්නෙ? අපි වගෙ ගිහියො ඉන්න ඕනි ඒකට."
*/

ඕක මටත් හිතිලා තියෙන දෙයක්.

මං තරංග ගේ බ්ලොග් එකෙත් දැම්මා
http://www.blogger.com/comment.g?blogID=3819804150856225471&postID=9217441986715815266

Mark said...

කාලෙකට පස්සේ අක්කණ්ඩිගේ blog එක පැත්තේ ආවේ.. හිත ගොඩාක් නිවුනා මේක කියෙව්වාම.. බුදු සරණයි අක්කණ්ඩි..,

Ravi said...

ඇත්තටම හිත නිවෙන කතාවක්, ඉතින් අර පොතේ මොනවයි තිබ්බෙ? ඒ ටිකත් අපිට කියනව නේද?

සුමුදු said...

මලිති...ධම්මදින්නා මෙහෙණිය...
මට නම් ආවේ ප්‍රශ්නාර්ථයක් අක්කණ්ඩි...
ආයේ මලිතිව කියවන්න ඕනි

එදිරි said...

මලිතිෙග කතාව අාෙයත් අැවිල්ල...!

Post a Comment