Tuesday, February 8, 2011

ඇෆ්ගනිස්තානය

Tuesday, February 8, 2011
          

                               යේ නිර්මාණයට ලැබුණු සමහර කමෙන්ට්ස් නිසා සසල වුණු මගෙ හිත මටත් නොදැනිම මගෙනුත්, සුඩානයෙනුත් මිදිලා ඉගිලුණ,  ඇෆ්ගනිස්තානයට...... අභියෝග, සංත්‍රාසය, ඇක්ෂන්, ඇඩ්වෙන්චර්, සංයෝග..වියෝග...! ! සම්ප්‍රයෝග. . . .විප්‍රයෝග කිව්වම තවත් ලස්සනයි නේද? ඔය අස්සේ මට විප්‍රලම්භ ශෘංගාරයත් මතක් වෙනවා...ඒ කාරණය මෙතැනට අදාලම නැහැ...අර දඩබ්බරී මෙහෙටත් එනව වගේ...
          ඇෆ්ගනිස්තානයෙ හා හපුරා කියල කෙරුණ මුල්ම මැතිවරණයට (2004) වගෙම අවුරුදු පහකට පස්සෙ කෙරුණ ජනපතිවරණයටත් (2009) පුහුණු සහ ප්‍රජා අධ්‍යාපන උපදේශිකාවක් විදිහට වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා.
             සහසුද්දෙන් කියනවනම් මම ඇෆ්ගනිස්තානයටත්, එහෙ මිනිස්සුන්ටත් හරිම ආදරේ තවමත්. තලේබාන් කාරයන්ට ඇරෙන්න. එහෙ සාමාන්‍ය ජනතාව හරිම ලෙංගතුයි, ආචාර ශීලියි, සංග්‍රහ ශීලියි....මොනතරම් දුප්පත් උදවිය වුණත් තමන්ට තියෙන වතුර උගුර හරි, රොටිය හරි, පාන් පෙත්ත හරි අනික් අයත් එක්ක බෙදා හදා ගන්න පුරුද්ද ඔවුන්ට තියෙනවා. අනුන්ගෙ දුකට උණුවෙන හිතක් බොහෝ දෙනෙකුට තියෙනවා. ඉතාමත් දුෂ්කර හුදෙකලාවුණු ගම්මානවල අයගෙ සිත් මූලධර්මවාදීන් විසින් අවුල් නොකළා නම්, මස්තීෂ්ක ශෝධනයක් (බ්‍රේන් වොෂ්) නොකළා නම් ඔවුන් තුළ මේ යහ ඇවතුම් පැවතුම් අනිවාර්‍යයෙන් තියෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේම යුද්ධයෙන් කෙරුණු අනවරත බැට දීම්, විඳින්න සැලැස්වූ දුක් කම්කටොලු, සංතාප, පරිතාප, ශෝක පරිදෙවයන් සියල්ලට බැරි වුණ ඒ වගෙ යහපත් ගුණාංග අකා මකා දමන්න. අප්‍රිකාවේ සුඩානය ඊට වඩා ගොඩක් වෙනස්. ඉඳුරාම වෙනස්. ඒකයි මගෙ හිත යලි යලිත් ඇෆ්ගනිස්තානයට ඉගිලෙන රහස.
            මම රැකියාව කළේ ඇෆ්ගනිස්තානයෙ උතුරු පළාතේ මසාර් ෂෙරිෆ් කියන නගරයේ. මැතිවරණයට අදාල පුහුණු සහ මහජන සම්ප්‍රාප්ත (පබ්ලික් අවුට් රීච්)උපදේශක වශයෙන්. මට බලන්න ප්‍රාදේශීය සභා 6 ක් තිබුණා, කාර්යාලය තිබුණු පළත් අගනුවරත් එක්කම. අපි කාබුල වලට වාහනයෙන් එනවා නම් පැය 9කට කිට්ටු කාලයක් ගත වෙනව. ගුවනින් යනව නම් පැය 2 කකට කිට්ටු කාලයක් යනවා. ඇෆ්ගනිස්තානය ඒ තරමටම විශාලයි.
     කාන්තාවන්ට සුවිශේෂීව නිර්මාණ්ය කළ පුහුණු වැඩ සටහන් තිබුණා. ඒ වගෙම මුල්ලා වරුන්ටත් විශේෂ වැඩසටහන් නිර්මාණය කළේ සිකුටාදාට නොවරදවාම මස්ජිදයට එන බැතිමතුන්ට ඔවුන් හරහා මැතිවරණය, ප්‍රජාතන්ත්‍ර වාදී රජයක වටිනාකම සහ තමන්ගෙ පාලකයා තමන් විසින්ම චන්දයෙන් තෝරා පත් කර ගැනීම බඳු පුර වැසි අයිතිය වැනි දේවල් ජනතාව වෙත ඉදිරිපත් කරන්න පහසු නිසා. මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයන් හරහා මැතිවරණ ප්‍රචාරක කටයුතු කෙරුණත් ඈත එපිට දුෂ්කර ගම්මානවෙල වැසියන් වෙනුවෙන් රැස්වීම්, දෙශන, සම්මන්ත්‍රන සහ වීදි නාට්‍ය වැනි ක්‍රම වේදයන් අපි භාවිතා කළා.
       ඔන්න මට අතුරු කතාවක් මතක් වුණ. මම පදිංචි වෙලා ඉන්න නිවාස සංකීර්ණයෙ මගෙ අසල් වැසි හොඳම මිතුරියන් දෙන්න මගෙ මේ මිෂන් රැකියාවන් ගැන හරිම කුතුහලයෙන් ඉන්නෙ. මොකද මම එනවා...හිටපු ගමන් යනවා. සමහර වෙලාවට මාස දෙක තුනක් වත් ඉන්නෙ නැහැ, ආයෙම වෙන රටකට යනවා. මිතුරියන් දෙන්නත් කාර්ය බහුලයි. මමත් කාර්ය බහුඅලයි. ලංකාවෙ ඉන්න ටික කාලෙදිත රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් ආයතන වල දේශන වල යෙහෙන නිසා. මිතුරියන් දෙන්නගෙන් එක්කෙනෙක් කොළඹ බාලිකාවක නියෝජ්‍ය විදුහල්පතිනියක්. අනෙක් තැනැත්තිය කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය වරියක්. වෙලාවකට අපි හවසට පිහිනුම් තටාකයෙ පොඩ්ඩක් සැහැල්ලුවෙන් අලස සුවය විඳින කොට මෙ
කතා බහ ආරම්භ කළත් දිගට ගෙනි යන්න වෙන්නෙ නැහැ.
     ඒ අයටත් එක්කයි, මේ ලියන්නෙ. මේ කටයුතු සඳහා අපි දේශීය නිලධාරීන් පුහුණු කරල ඔවුන්ව පුහුණු කටයුතු සඳහා ගම් නියම් ගම් දක්වාම යවනවා. කිසිම කෙනෙක් මග නොහැරෙන විදිහට තමා, සැලසුම් කරන්නෙත්, එම සැලසුම් ක්‍රියාත්මක කරන්නෙත්. මුලින්ම හැම රටක දීම මූලස්තාන කාර්යාලයෙන් අපිව මුලින්ම ඒ රටේ සංස්කෘතික තත්වයන් ද ඇතුළුව රාජකාරි මට්ටමේ පුහුණු කිරීම් අපට ලබා දෙනවා. පියවරෙන් පියවර එම පුහුණුව තණ මුල් මට්ටම දක්වා පිළිවෙලින් කෙරෙනවා. ඒ
වා හරියට කෙරෙනවාද කියල බලන්නත් අපි අනිවාර්යයෙන්ම යා යුතුයි.
  ඇෆ්ගනිස්තානයේ දෙවැනි ජනධ්පතිවරණයේඩි ලබපු අත් දැකීම් මුල් අත් දැකීම් වලට වඩා වෙනස්. ආරක්ෂක හේතූන් මත බොහෝ ප්‍රදේශ වලට යන්න පිට පුළුවන් කමක් තිබුනෙ නැහැ. අවසර ඉල්ලා ආරක්ෂක අංශයට ඊ - මේල් යවල ඔවුන්ගෙන් අනුමැතිය ලැබුණට පස්සෙ තමයි අපට එම ගමන යා හැකි වෙන්නෙ.
     චන්ද පොළ සේවය කරන නිලධාරීන් පුහුණු කිරීම්, ජනතාව දැනුවත් කිරීම් විවිධාකාරයෙන් කෙරුනා. ඔය කෙරෙන අතරෙ එක් දිනක් මම කාර්යාලයෙ පහුවෙනිදට කෙරෙන මහජන සම්ප්‍රාප්ත වැඩසටහනක සංවිධාන කටයුතු අඪීක්ෂණය කර මින් හිටියෙ. එ වනවිට ඇරියුම් පත් යවා අව්සන්ව තිබුණු අතර දුර කතන ඇමතුම් ඔස්සේ පැමිණීම් තහවුරු කර ගනිමින් හිටියා, මගෙ භාෂා පරිවතිකාව.
     ඒ සඳහා මට සහභාගිවන්නට ඉදිරිපත් කළ ආරක්ෂක අවසර පත්‍රය බලන්න වෙනත් කාමරයක වූ ඈරක්ෂක කාර්යාලයට ගියේ සුපුරුදු ආකාරයෙන් ආචාර කරමින්. ඒත් හැමොගෙම මුහුණු වල බලාපොරොත්තු කඩවුණු රේඛා සටහන් වෙල. ඇස් වල ශෝකී කතාවක් සටහන් වෙලා. හැමෝම මගෙන් යමක් වසන් කරන්න හදනව වගෙ.
" මොකද සේරම ගල් ගහිල? මොකද හැමෝම එහෙ මෙහෙ දුවන්නෙ? ඇයි මට නොකියන්නෙ?"
  ආරක්ෂක ප්‍රධනියා වන රුසියාවේ
න්ද්‍රේ ගෙන් විමසුවා. (අපි, ඒ කියන්නෙ එහෙ හිටි අනෙක් ලංකාවෙ නිලධාරියයි මමයි එයාට විහිලුවට කිව්වෙ අන්දරේ කියලා)
" ඔබේ කාර්ය මණ්ඩලයේ කෙනෙකුට වෙඩි තියලා, ප්‍රජා අඪ්යාපන කටයුතු වලට ගිහින් ආපහු එන කොට"
" එතකොට පොලිසිය මොකද කළේ? ඔවුන්ට ආරක්ෂාව දුන්නෙ නැද්ද?"
" පොලිසියෙ අය සටන් කරා. අපේ පොලිසියෙ අයට තිබුණු ආයුධ වලට වඩා ඔවුන්ගෙ ආයුධ බලවත්...එ වුනාට ඔවුන්වත් මරලා..."
" ඔහු සමග ගිය  ප්‍රජා අධ්‍යාපන නිලධාරිනියන්ට මොකද වුණෙ?"
" සන්සුන් වෙන්න්න, මිස්. ඒ දෙන්නව ගෙවල් වලට ගිහින් ඇරලලා එද්දි තමයි මෙයාට වෙඩි තියලා තියෙන්නෙ. කට්ටිය උතුරටත් ඇවිත්. අපි පුලුවන් තරම් පරෙස්සමින් වැඩ කරන්න ඕනි. මේ සිද්ධිය වුනෙ උතුරෙත්, දකුනෙත් දේශ සීමා ආසන්නයේම තියෙන ගමක"
" ම්ම්ම්ම්..මිස්, හෙට අර තියෙන සම්මන්ත්‍රනයට මිස්ට යන්න බැහැ. අවසර දෙන්න බැහැ. එහෙ කට්ටියටටත්, දේශීය නිලධාරීන්ටත් ඒ සඳහා යන්න පුළුවන්. මම ඊ මඉල් එකක් එවන්නම්, ඒ ගැන."
     ඔහුගෙ හඬ ස්ථිරයි. තීරනාත්මකයි. අත් දැකීම් රාශියක් සහිත, පරිණත රුසියානු හමුදා ප්‍රධානියෙක්.
   මම 'ස්තුතියි' කියා ගෙන ආරක්ෂක කාර්යාලයෙන් මගෙ කාර්යාල කුටියට පාවෙනවා. සැහල්ලුවෙන් නෙවෙයි...උහුලගන්න බැරි යකඩ ගුලියක් හිතේ පටවගෙන. උරහිසෙත්, ඔලුවෙත්...මුලු සිරුර පුරහම ඒ බර වැතිරිලා. කලින් සතියෙ මා ඔවුන් පුහුණු කළ ආකාරය මට සිහිපත් වුණා.
         මරා දැමූ කදීර් ඛාන් වෛද්‍ය වරයෙක්. හරිම දක්ෂ, නිර්මාණාත්මක හැකියාවන් ගෙන් පොහොසත් කෙනෙක්. ජනතාව වෙනුවෙන්, සිය රට වෙනුවෙන් මුදල් නොතකා සේවය කරන්නට කැප වුණු කෙනෙක්. ඔහුගෙ ස්වාධීනකම, නිර්භීතකම
ඝාතනයට ලක් කළ ආකාරය, මහ ම්ලෙච්ඡ ක්‍රියාවක් විදිහට මට දැනුණා. වෛද්‍ය වරයෙකු වුණත් ඔහුට රජයේ රැකියාවක් ලැබුණෙ නැති නිසාම තාවකාලිකව හෝ විරැකියවට පිළියමක් ලෙස ඔහු මේ රැකියාව තෝර ගත්තෙ රටේ අනාගතය පිළිබඳ තීරනාත්මක වෙනසකට තමාටත් දායක වීමෙ අවස්ථවක් ලබා ගන්න අවශ්‍ය නිසා බව ඔහු මට කිව්වෙ, වර්තමාන පරපුරෙහි අනගතය පිළිබඳව අපෙක්ෂා පුරවාගත් දිලිසෙන දෑසින්.
   ඒ දෑස් වල් ලියවුණු කතාව සැබෑ වනව දකින්නට තරම් වාසනාවක් ඔහුට නැතුව ගියා. පපු කුහරය පසාරු කර ගෙන වෙඩි පහර එක දිගට වදිද්දි ...දෙයියනේ...!
   කාර්යාලයෙ අය ඔහුගෙ මළ ගෙද
ර  යන්න සූදානම් වෙනවා. අපට යන්න අවසර නැහැ, අවසන් ගෞරවය දක්වන්නවත්. අපිව ඉතා පහසුවෙන් ගොදුරු කර ගත හැකි නිසා. මුදල් පරිත්‍යාගයක්, ශෝක පණිවිඩයක් ඔහුගෙ පවුලට යැවීමට විතරයි, අපට අවසර ලැබුණෙ. නිදහස් සාමකාමී පළතක් හැටියට නම් කරල තිබුණු උතුරෙත් ඝාතනයක් වාර්තා වුණ, ඔය ආකරයෙන්. ආරක්ෂක කටයුත් වහ වහා තර කෙරුණා. අපේ ගමන් බිමන් සීමා කෙරුණා. දැඩි ආරක්ෂක ර්‍අකවල් මැද නගරයේ කෙරුණු සම්මන්ත්‍රණ සහ දැනුවත් කිරීම් වලට පමණක් සහභාගී වීමට අවසර ලැබුණා.
     සතියක් ගත්වෙද්දී තත්ත්වය සන්සුන් වෙද්දි සියල්ල යලිත් සාමාන්‍ය තත්තවයට පැමිණෙමින් තිබුණා. ආරක්ෂක නීති ලිහිල් වෙද්දි අපි රාජකාරි සඳහා යලිත් නිදහසෙ එහෙ මෙහෙ යන්න පටන් ගත්තා.

      මැතිවරණ උණුසුම හැමතැනෙකම. අපේ ලොක්ක ඔහුට යන්න නියමිත සේරම රැස්වීම්, සම්මන්ත්‍රන වලට ඔහුව නියෝජනය කරන්න යවන්නෙ මාව. ඒ සඳහා හේතු කිහිපයක් තිබුණත් ඒවා මෙහි සඳහන් කළ යුතු නැහැ කියල මට හිතෙනවා....ආචාර ධර්ම ගරු කරන්නියක වශයෙන්. මම ඒ අවස්ථාවන් ඉත සතුටි භාර ගත්තෙ ජනතාව සමග ගැවසීමේ අවස්ථාව මට ලැබෙන නිසාත්, මගේ සේවා අභිමතාර්ථ ඒ ඔස්සේ සපුරා ගැනීමට අවස්ථා ඉන් මට ලැබෙන නිසාත්. අනික ගන්න වැටුපට සරිලන්න වැඩ කළ යුතුයි කියල මට මගෙ හර්ද සාක්ෂිය හැම විටම බල කරන නිසාවෙන්.
   බොහොම අවස්ථාවල අපට දී තිබෙන සීමාවන් නොඉක්මවා පිරිසගෙ ඉල්ලීම් මත බොහෝ විට කතාවන්ද පවත්වනවා, වැඩිපුර ජනතා ඒ වගෙම කාන්තා සහභාගීත්වය ලබා ගන්න අරමුණින්. ඔවුන්ගෙ භාෂාවෙන්, ඒ වගෙම ආගමානුකූලවත් දේශන පටන් ගන්න මා පුරුදුවෙලා හිටියා. (භාෂාවල් ඉගෙන ගන්න එක මගෙ එක් විනෝදාංශයක්.) එහෙ කාන්තාවන්ට වේදිකාවක නැගල නොබියව කතා කරන්නත්, හැකියාවන් තිබෙන් අයට කවි යොදාගෙන අවස්ථානුකූලව පරිහරණය කරන්නත් උන්නන්දු කළා. එහෙම උන්නන්දු කිරීම් වලින් ඔවුන්ගෙ සහජ හැකියාවන් මතුකර ගන්න හැකි වූ විට මට දැනුණෙ අප්‍රමාණ සතුටක්. මා යමක් කළා කියල ලොකු තෘප්තියක් දැනෙනෙව.
   ඒ තෘප්තිය හිතේ මල් කිනිති ගවසද්දි කාලය ඉගිල යනව දැනුණෙ නැහැ.
  
මැතිවරණය පැවැත්වෙන්න සියලු කටයුතු සූදානම් වෙනවා. චන්ද පොළවල් වලට සංවේදී චන්ද පත්‍රිකා මෙන්ම අසංවේදී  භාණ්ඩ ඇතුළු සියලු බඩු භාණ්ඩ  යවන එකත් අපෙ අධීක්ෂණය යටතෙ සිදු වෙන්නෙ. මේ සියලු කටයුතුත් සිද්ධ වුණැයි කියමුකො.
   එක දවසක් උදේ අපට නියෝගයක් ආවා, මැතිවරණ දිනයෙඩිත්, ඊට පෙර සහ පසු දිනයන්ගෙ දීත් අප සියළු දෙනාම, ඒ කියන්නෙ ජාත්‍යන්තර නිල ධරීන් සියලු දෙනාම දැඩි ආරක්ෂක රැකවල් මැද පදිංචි ස්ථානයේම සිටිය යුතු බවටත්, දේශීය නිලධාරීන් අධීක්ෂණය කිරීම ජංගම දුර කතන මගින් කළ යුතු බවටත්. හදිසි අවශ්‍යතාවන් සඳහා පාවිච්චි කරන්නට වෙඩි නොවදින රථ අප ඉන්න නිවාස වලම තබා ගත යුතු බවටත්. හැම වෙලාවෙම රියදුරන් දෙදෙනෙකු සේවය සඳහා එම නිවාසයේම සිටිය යුතු බවටත්. අපි හිටියෙ ජාත්‍යන්තර ගෙස්ට් හවුසියෙක, අප කාර්යාලයෙ 12ක් පමණ එහි හිටියා. මේ පුවත් ලැබුණම අපි සේරම කෑම කාමරයට ඇවිත් සාකච්ඡා කළේ ඒ අපේ සාමාන්‍ය සිරිත නිසා.
    අපට වෙන විකල්පයන් හොයන්න බැහැ. තත්වයේ බැරැරුම් කම තේරුම් ගන්න උත්සාහ කරනවා මිසක. ජංගම දුර කතන මගින් හැම ප්‍රාදේශීය චන්ද මධ‍යස්ථානෙකෙට්මත්, චන්ද පොළවල් භාර නිලධාරීන්ටත් කතා කරලා කටයුතු සූදානම් බව දැන ගත්ත.
                  මැතිවරණය දවසටත් ඉර පෑව්වා. අපි අපේ කාමරයේ තිබෙන රූපවාහිණියෙන් සහ අන්තර් ජාලයෙන් ප්‍රවුර්ති නරඹමින් ඉන්නෙ. උදේ කෑම කන්න කෑම කාමරයට ගිය වෙලාවෙ කන්නත් නැහැ. විදේශ පුවත් සේවා ආය
නයකින් පැමිණිල හිටි මාධ්‍ය වේදීන් තුන් හතර දෙනෙක් පළාතේ තරුණයන් කිහිප දෙනෙක්වම ගෙන්නල කෑම කාමරයෙ ලොකු සාකච්චාවක්. අපේ වියදමෙන් ඒ කට්ටියට පාතරාසයත් පිළි ගන්වලා. අපිට වෙන්නෙ එහෙමම නෙ. බිස්කට් කිහිපයක් කාල.ආයෙමත් කාමරයට ඇවිත් ඇලට් එකේ ඉන්නවා. සමාවෙන්න, ඒ වචනය පාවිච්චි කළාට. සෝදිසියෙන් හිටියා. විනාඩි 10ක් ගියෙ නැහැ.....අර එක් මාධ්‍ය වේදියෙක් මෙන්නෙ රූපවාහිනී තිරය මත සජීවී විකාශනයක් ඉදිරිපත් කරනවා. එක චන්ද පොළකට වත් යන්න කාලයක් නැහැ. මම දිව්වා, කෑම කාමරයට. එතන කවුරුත්ම නැහැ. පොඩ්ඩක් සාමාන්‍ය දැනුම පාවිච්චි කරල උඩු මහලෙ සඳළු තයට දිව්ව. මන්න අපෙ මාධ්‍ය වේදියා හෝ ගාලා, සජීවි විස්තර කථනයක යෙදෙනවා. ඇහෙන් දුටුව වගෙ කියවනවා. උහුට මාව පෙනෙන විඩිහට ටිකක් බල්ල ඉන්දලා පොඩ්ඩක් විරිත්තලා මම පහළට ඇවිත් මගෙ කාමරයෙ ඉන්දලා විස්තර කතනයන්ට සවන් දුන්නා. නගරයේ චන්ද පොළ වල් වලට දේශීය තරුනයන්ව යවල ඔවුන්ට ජන්ගම ර කතනයන් සමග ඩොල්ලර් නෝට්ටුත් දීල තමඉ මෙම විස්තර මොවුන් ලබා ගන්නෙ. මාධ්‍යය කණ්ඩායමම නවාතැනේ.
   දවල් කෑමට මම කාම කාමරයට යන කොට ඔවුන් තිදෙන අසුන් අර ගෙන හිටියා. හායි...කියා ගෙන මමත් වාඩි වුණා.
  " මොන තරම් ලස්සන සජීවි වැඩසටහනක් ද ඔබල ඉදිරිපත් කළේ? මුළු ලෝකෙම මිනිස්සු හිතා ඉන්නෙ ඔය ගොල්ලො වීරයො වගෙ ක්ෂේත්‍රයට ගිහිල්ලම වාර්තා කරනව කියලා. අපි විතර
යි දන්නෙ කරන ප්‍රෝඩාව. අනේ..අනේ..! මෙහෙමත් මාධ්‍ය වේදියො?"

        මගෙ කීමට තරුන වැඩසටහන් ඉදිරිපත් කරන්නා මද සිනහවක් පාලා මෙහෙම කිව්ව.

  " අනුන්ගෙ චන්දෙකට අපි ජීවිතය අනතුරක දමල චන්ද පොළවලට යන එකේ තෙරුමක් නැහැ, සහෝදරී. ඔය ගොල්ලනුත් මේ දවස් වල නිවාස අඩස්සියෙ වගෙ නෙ ඉන්නෙ. ඒ නිසා අපිත් හිතුව අපෙ ජීවිත බේරගෙන වැඩ කරන්න ඔනි යහපත් ක්‍රම වේදයක්."
    
             හැබැයි තලත්තෑනි නිෂ්පාදක මහත්මයාට නම් මගෙ කතාව ඇල්ලුවෙ නැහැ. ඔහු මට මහා නොරුස්නා මුහුණක් පෙන්වලා අහක බලා ගත්තා.  ඔහු එහෙන් යනකල්ම මගෙ මූණ බැලුවෙත් නැහැ, කතා කළෙත් නැහැ. මට පාඩුවක් වුණෙත් නැහැ...මට මොකෝ?

ඇත්ත කියන්නත්, බිම ඉඳගන්නත් මම මොකටද බය වෙන්නෙ?

         

3 ක් අදහස් දක්වලා.:

සුමුදු said...

කාලෙකට පස්සේ අක්කණ්ඩී කරළියට ඇවිත්.
හරිම සතුටු හිතුණා.
ඉස්සර වගේම ආයෙමත් දිගටම ලියයි කියලා හිතනවා.
(මලිතිවත් මතක් කරන ගමන්)

එදිරි said...

ෙගාඩක් කාෙලකට පස්ෙස බ්ෙලාග් ඒක පැත්ෙත අැවිත් තිෙයන්ෙන අලුත් අත්දැකීම් ඒක්ක..

අක්කණ්ඩි said...

කාලෙකට පස්සෙ ආවෙ, දැන් සිංහල අකුරු තියෙන නිසා. ඉතින් ඉඩ ලැබෙන විඩිහට බ්ලොග් අඩවියට ගොඩ වෙන්නම්.
ඔබ හමෝගෙම අදහස් දැක්වීම් වලට ස්තුතියි, බොහොමත්ම. සිත දිරි ගන්වන ඔසු පැන් වගෙ.

Post a Comment