Monday, August 31, 2009

ලන්ඩන් සැරිසර 1

Monday, August 31, 2009
පෙම් කතන්දර වලින් මදකට බැහැර වෙලා සවාරි ගහපු කතන්දරයකට යොමු වෙන්න මට අද හිතුණා. කියවන, ලියන එක වගෙම ඇවිදින එකෙනුත් ජීවිතයට දැනුම, විනෝදය විතරක් නෙවේ, විවිධාකර පුද්ගල සම්බන්ධකම් පවා ගොඩ නගා දෙනව.
මේ සවාරිය ලන්ඩන් නුවර ගහපු සවාරි වලින් මගෙ හිතට තදින්ම කා වැදුණු ඒ වගෙම හාස්‍ය ජනක සිද්ධිත් ඇතුලත් පරිච්ඡේදයක්. සවාරි කියන කොට මට මතක් වෙන්නෙ මේ වචනෙ කොහොමද හැදුනෙ කියල. හින්දි, උර්දු වගෙම දාරි සහ පර්සියන් යන භාෂා වලින් සෆාරි හෝ සෆර් කියන්නෙ ගමන කියන එකයි. මම දැන් ඉන්න රටේ 'සුබ ගමන්!' කියල ප්‍රාර්ථනා කරන්නෙ 'සෆර් එ කුෂ්' කියල. ඒ දාරි භාෂාවෙන්. සෆාරි හෝ සෆර් උච්චාරණ පහසුව සදහා සවාරි විදිහට අපේ ජන වහරට එකතු වුණාද කියලත් මට හිතෙනව. ජෙ.බී. දිසානායක මහාචාර්ය තුම වත් ලඟක හිටියනම් වැඩි විස්තරයක් අහගන්න තිබුණ.
එදා අප්‍රේල් විසි හතරවෙනිද කියල මට හොඳට මතකයි. මේ දශකයෙ මුල් භාගයෙ තමයි කාල වකවානුව. හෝටලේ ඉදිරියෙන් නවත්වල තිබුණු තට්ටු දෙකේ බස් එකේ වහලක් නැති උඩ තට්ටුවට අපි නැගගත්තෙ පුලුවන් තරම් පින්තූර, කැමරා කාච වලට හසු කර ගන්න වගෙම වඩාත් වටින,පියකරු දේවල් දැකගන්න තන්හාව පිරුණු සිත් වලින්...අපේ නඩයෙ ගොඩක් කට්ටිය හිටියත් ලංකාවෙන් හිටියෙ මාත් එක්ක රුවිනියි, කුමුදුයි විතරයි. කුමුදු ගැහැණු ළමයෙක් නම් නෙවෙයි. එයා තමයි අපේ ළඟම නෑදෑයා වගෙම මිත්‍රයා. හිටපු ගමන් අපේ අප්පච්චි වගෙත් එයා හැසිරෙනව, ඒත් අපි ගණන් ගන්නෙ නැහැ. එයාටත් ටිකක් ලොකු කම පෙන්වන්න ඉඩ දෙන්න ඔනි නේ.
දේශගුණය හරිම යහපත්, මද හිරු එළියක් තිබුණ, ලන්ඩන් නුවර වැඩිපුර තියෙන චිරි, චිරි වැස්ස වෙනුවට. වසන්තය නිසා හැම තැනම ලස්සන කොල පාට තැවරිල ටියුලිප් මල් පාටින් පාටට හිනා වෙනව හැම තැනකම. කවියක් ලියන්න හිතෙනව මට. අද අපි යන්නෙ ශේක්ස්පියර් ගම්මානෙට. කලින් දවසෙ මම හීනෙනුත් 'වැනීසියෙ වෙළෙන්දා' නාට්‍යයෙ පෝර්ෂියාට රඟ පෑවා, හිතේ තිබුණු ආසාව කොයි තරම්ද කියනව නම්.
ශේක්ස්පියර් ගම්මානෙට ඇතුලු වෙන මායිමේ ධජ පතාක පිරිල..ඔව්..පාට පාට කොඩි වැල් එහාට මෙහාට ඇදල අමුතුම කල එලියක්. මට එතකොටම මතක් වුන මේ මහා කලා කරුවාණන් උපන්නෙ අප්‍රේල් මාසෙ විසි ගණන් වල නේද කියල. එකත් එකටම ජන්ම දින සැමරුම් උත්සව පවත්වනව ඇති. මම මේ කතාව යාළුවො දෙන්නට කිව්වම ඒ දෙන්න මට හිනා වුණා. මෙයා 'ඈන් හතාවේ' වගෙ ශේක්ස්පියර් තුමාගෙ අලගිය තැන් මුලගිය තැන් සේරම දන්නව වගෙ කතාව කියලා.
ඔන්න බස් එක නැවත්තුවා....දවල්ට කෑම වලට විශේෂ තැනකට ගෙනියනව, නමුත් ඒක 'සප්‍රයිස්' එකක් කියලත් කිව්ව නිසා අපි අපට ලැබුණු කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අරමුණත් සිතේ පෙරදැරි කරගෙන ගමන පටන් ගත්ත.
මුලින්ම ගියෙ එතුමා ඉපදුනු ගෙදරට. තවමත් මේ ගෙවල් වල පිදුරු වහලවල් පෞරාණික විදිහට සංරක්ෂණය කරල තියෙනව දැක්කම මට හරිම සතුටක් දැනුණ. මට මතක් වුණෙ කොග්ගල අපේ ලංකාවෙ ශේක්ස්පියර් තුමාගෙ උපන් නිවහන සහිත කෞතුකාගාරය. විස්තර කියල දෙන්න ඉන්නෙ බොහෝ ඇසූ පිරූ තැන් ඇති විශ්‍රාම ගිය ගුරුවරියන්. ශේක්ස්පියර් පදනමෙන් අර ගත්තු ඉතාම අපූරු තීරණයක් කියල මට හිතුණ. ඔවුන් හරිම කාරුණිකයි. ඉවසිලිවන්තයි. ආචාර ශීලියි..තැන්පත්..රිදී පාට කෙසින් පිරුණු හිස් ඇතුළෙ රත්තරන් පිරිල කියල මට හිතුණ ඔවුන් කතා කරන, විස්තර කරල දෙන විලාශයට.
ඉතාම සරල ලී බඩු කිහිපයක් විතරයි ඒ ගෙදර තියෙන්නෙ. ලියන මේසෙ, පුටුව, තව අමුත්තන් සඳහා වාඩිවෙන්න බංකුවක්. මගෙ සිත් ගත්තු තවත් දෙයක් තමයි කෑම දමන මැස්ස.ඒක උදුන අසලින්ම උඩින් එල්ලලා තිබුණ. අපේ පරණ මහගෙවල් වල දුම්මැස්ස මට මතක් වුණ. මේ දුම්මැස්සෙත් ලස්සණ කතන්දරයක් තියෙනව. 
කෑමට ගන්නා මස් වේලලා හෝ අමුවෙන් වගෙම අනෙකුත් කෑම තියන්නෙ මේ මැස්ස උඩ. මේ මැස්ස කෑමෙන් පිරිල තියෙනවා කියන්නෙ, පැමිණෙන අමුත්තන්ට කෑම සඳහා කෙරෙන වක්‍ර ආරාධනයක්ලු.
ඒත් ශේක්ස්පියර් තුමාලගෙ ගෙදර සිරිතක් තිබුණලු, කවුද එන අමුත්තො කියලා බල්ලො බුරන කොටම ජනේලෙන් බලන්න. කරදරකාරි අමුත්තො එනව ජනේලෙන් දැක්කොත් මේ ගොල්ලො කෑම හංගනවලු, ගෙදර ඉන්න කට්ටියට විතරක් සෑහෙන කෑම ප්‍රමාණයක් මැස්සෙ තියල. ඒ සලකුණින් අර අමුත්තො කැමට තමන්ට ආරාධනා ලැබෙන්නෙ නැති බව දනගෙන වැඩි වෙලා නොඉඳ යනවලු.
ඒ උදුන දර දමන උදුනක්....ලංකාවෙත් අර නුවර එලියෙ, බන්ඩාරවෙල එහෙම පරණ ගෙවල්,හෝටල් වල තියෙන්නෙ. මේ උදුන් වල චිමිනියක් තියෙනව.... මතක්කරගන්න පුලුවන් නේද? සීත කාලෙට, ඒ කියන්නෙ හේමන්තයට දර පාවිච්චිය වැඩියි නෙ...ඉතින් දැලි බැඳෙනවත් වැඩියි. මේ චිමිනිය සුද්ද කරේ නැත්නම් ගේ ඇතුලට දුම එනවා. හිතන්න පුළුවන්ද මේ චිමිනි ඒ කාලෙ සුද්ද කළේ කොහොමද කියලා?
හරිම අපූරුයි ඒ ක්‍රමය. ටිකක් තරබාරු කුකුලෙක්ව අත් දෙකෙන්ම අල්ලල පුළුවන් තරම් වේගෙන් යට ඉඳන් චිමිනිය දිගේ උඩට වීසි කරනවලු. බයවෙච්ච කුකුළා අත්තටු ගහගෙන බිමට පහත් වෙන කොට බැඳිච්ච දැලි,දුම් රොටු ඉවත් වෙනවා. මේ වගෙ කිහිප සැරයක්ම කුකුල් ක්ලීනරේ උඩට පහළට ගියහම චිමිනිය පිරිසිදු වෙල. කොහොමද පුරාණ තාක්ෂණය?
ඔය එතුමාගෙ ගෙදරදි අහපු දැකපු දේවල්..එතුමාගෙ රඟහලට ගිය කතාව කියන්න පස්සෙ වෙලාවක එන්නම්.

4 ක් අදහස් දක්වලා.:

wayaba withthi said...

නියමයි මමත් කුකුල් ක්ලීනරේ අත්හදා බලන්න ඔන වැඩේ කරල හොද නරක කියන්නම්කො

wayaba withthi said...

අක්කන්ඩ් එකපාරටම පින්තැරයක් දැම්මනේ

chamila_dealwis said...

කුකුළට සැප කණේ ඇති :D

sathyajith said...

අදයි පුලින තලාවට එන්න ලැබුනෙ..දැන් ඉතින් ඔක්කොම බලන්න පුලුවන්

Post a Comment