ඉන්ද්‍රයියා කොළඹ ඉස්කෝලෙකට ගියාට පස්සෙ අපේ පෙම් කතන්දරේ එක හැල්මට ගලාගෙන යන එක නතර වුණා. ඊට පස්සෙ මගෙ හිත කීතු කීතු වෙල ගියා එක සිද්ධියකින්. හෙමිකාත් කොහොම හරි කොළඹ ගිහින්..මට හිත වාවන්නැතුව ගියා...මම සරච්චන්ද්‍ර සර්ගෙ පොත් කියවලා හිත හදා ගන්න උත්සාහ කළා.
'ඉක්මනින්ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්න ඇහැකි
මළ ගිය ඇත්තන් කැටුවම'
කවි ලියන්න ගත්ත...ඉන්ද්‍ර එවන ලියුමුත් අඩුවුණා. ඒගොල්ලන්ගෙ අක්කගෙන් මම
ඇහුවම කිව්ව, " අනේ නෑ නංගො, අපිටවත් ලියුමක් එවන්නැහැ. පාඩම් කරනව ඇති" කියලා.
මම සිග්මන් ෆ්‍රොයිඩ් කියෙව්වා. ඩේල් කානගී කියෙව්ව..පස්සේ සැබෑ මිනිහෙකුගෙ කතාවත් කියෙව්වා හිත හදා ගන්න...දිගට හරහට පොත් කියවලා ඒ පොත් අතර අපේ චරිත තියෙනවද කියලා හෙව්ව...පරිවර්තන ගොඩක් කියෙව්වා. මම හරිම ආස පොතක් තිබුණ....රුසියානු පරිවර්තනයක්..මළ මිනිස්සු එකතු කරන කතාවක්...ඒකෙ නම මළ මිනිස්සුද? මට මතක නැහැ. ඒ පොත කියවද්දි මට හැම දේම චිත්‍ර පටියක් වගෙ මැවිල පෙනෙනව.
මගෙ කවි පත්තර වලටත් දැම්ම, ඒව දැකල වත් ඉන්ද්‍ර මට ලියාවිද කියල. මොකුත්ම ආරන්චියක් නැහැ..පාඩම් කරන්නත් බැහැ..ඒත් විභාගෙ ඇන ගන්නත් බැහැ...
පුංචිත් එක්ක පංසල් ගිහින් බෝ මළුවට වෙලා ගොඩාක් වෙල මම ඉන්නව... කවි, කතන්දර ලස්සණට වියමන් වෙනවා. හැම තැනකම මට පෙනෙන්නෙ ඉන්ද්‍රව..පොත් ගුලේ...බෝ මලුවේ..සීමා මාලකයෙ...හිත නිවන්න ගියත් හිත අවුල ගත්ත වගෙ මට දැනුණා... ගෙදර ඇවිත් හිතට එබිලා, ඇතුල් වෙලා ලියන්න බලන කොට මුළු හිතම හිස් වෙල සුදු කර දාසියක් වගෙ...ඉතින් ඉන්ද්‍රයියගෙන් මම මුල්ම බූට් එක කෑවෙ එහෙමයි...තවමත් දුකයි, හිතට...මට එහෙම වුණෙ ඇයි කියලා.
හිත හීලෑ නැතුව ඉබාගාතේ දුවනවා...අම්මට අප්පච්චිට නොපෙන්නා හිතේ දුක වසන් කර ගන්න මම හැම වෙලාවකම උත්සාහ කරනව.
ඇස්වල කඳුළු පිරෙන වෙලාවට ගෙට උඩින් තියෙන වත්තට ගිහින් ගලක් උඩට වෙලා ඇති වෙන කල් අඬනව..පොතකුත් අරගෙනයි මම වත්තට යන්නෙ...කතික තරඟ තියෙන කොට මම කතා පුරුදු වෙන්න එන්නෙත් මේ වත්තට...කෙසෙල් ගස්, අඹ ගස් තමයි මගෙ ප්‍රේක්ෂකයො... මගෙ ප්‍රේකෂ්කයො හිතනව ඇති මොකද මේ අද පරාජිත චරිතයක් රඟ පාන්නෙ කියලා. මම ඉන්ද්‍රට කවියක් ලියන්න හිතුණා..
' එන්න කල් නොදමාම
වසන්තය,යලිත් මා වෙත
ගිම්හානයට හිතක් පපුවක්
ඇත්තෙම නැහැ
මල් වගෙ හිත් තලන්නෙ ඇයි
පව් සිද්ධ වෙයි බෝම
මට කියන්න ඉන්ද්‍රයියෙ
මම ඉවසන්නෙ කෝම'
කවිය හිතේ ලියාගෙන මම වත්තෙ පිපිලා තිබුණ දාස්පෙතිය මල් කඩා ගත්ත බුදුන් වඳින්න හිතා ගෙන......මට ධම්ම පදයෙ ඉගෙන ගත්තු ගාථාවක් මතක් වුණා.
"පේමතෝ ජායතී සෝකෝ
පේමතෝ ජායතී භයං"
ඒත් මට ප්‍රේමයෙන් මිදෙන්න තරම් හිතට උවමනාවක් තිබුණෙ නැහැ. විරහ වේදනාවත් හොඳ නිමිත්තක් වුණා, නිර්මාණ වලට පෙළඹෙන්න.
Sunday, August 30, 2009
Subscribe to:
Post Comments (Atom)
8 ක් අදහස් දක්වලා.:
අඩේ අක්කෙ,ඉන්ද්‍රයියා ඔයාගේ පෙම්බරා නෙවෙයිද?මම හිතාගෙන හිටියේ මේ දෙන්නත් එක්ක හොඳට මල් කඩනව ඇති කියල.
ඔන්න දැක්කනේ වෙච්ච දේ...ඒ වුණාට මම කතා ලියන එක නවත්තන්නෙ නැහැ. ඉතිහාසයට එකතු වුණු දේවල් වලින් කොච්චර ලස්සන අනාගත කතා මැවෙනවද?
ඇත්තටම දුක හිතුනා. ඒත් ඉතින් එහෙම වෙච්ච එකත් හොඳයි. තව පරක්කු වෙලා එහෙම වෙනවට වැඩිය.
කොහොමහරි දුකා අයියා නිවාඩු ගිය ටිකට ජීවිත කතන්දර කියන්න අපිට අළුත් යාළුවෙක් හම්බ වුන එක නම් ලොකු දෙයක්.
ෂහ්, සිරාවට. මගේ ඇහැටත් නොදෑනීම කඳුළු ආවා නෙව. අක්කලාගේ කාලේ හරි සුන්දරයි නෙව. වත්තක් පල්ලෙහාට ගිහිල්ලා තනියම කතා කරන්න... නිදහසේ හිතන්න ඇති වෙනකන් නිදහස... ඒත් ඉතින් පරචස් ගානකට සීමා වෙලා ඉන්න අපි එක්තරා ආකාරයකින් අවාසනාවන්තයි.
අදහස් ලිවීම ගැන ස්තුතියි. විවේක ලැබෙන හැම විටෙකම කතාවක් ලියන්න උත්සාහ ගන්නම්. දුකා, ඩෝසන් සහ කතන්දර කාරය තමයි මාව පෙළඹුවෙ කතා ලියන්න. ඔවුන්ට මගෙ හද පිරි කෘතඥතාවය!
දුකයි. ගිම්හානයට හිතක් පපුවක් නෑ තමයි. අපි නිකන් ඒ කාලෙට ගහෙන් කැඩිලා හුළගෙ පාවෙන කොළ විතරයි.
ඒෙහම කියන්න ඒපා, වසන්තෙය් සුන්දර බව ෙගාඩක් දැෙනන්ෙන් ගිම'හානෙය් කටුක බව නිසා බව මතක තියාගන්න. වසන්තය වෙග්ම ගිමහානයක් අෙප්ම, අෙප් ජීවිත වලම ෙකාටසක් ෙන්ද
මේ බ්ලොග් එක මම කියවන්න අරන් එක හුස්මට කියවගෙන කියවගෙන ගියා. ගොඩාක් ලස්සනට ලියලා තියෙනවා.අක්කා හිතන්නෙ මගේ පලවෙනි ආදරේ වුනු Girl වගේමයි. මට වෙලාවකට හිතෙනවා මම හිතන්නෙත් ඉන්ද්‍ර වගෙයි කියලත්. හැමදාම හොඳින් ඉන්න. අක්කා ලියන විදිය සිරාවටම පට්ට.
Post a Comment