Wednesday, August 19, 2009

"කෙල්ලන් වලලන්, කොල්ලන් ගෙට ගන්"

Wednesday, August 19, 2009
කතන්දර ලියන්න මගෙ හිතේ තියෙන්නෙත් පුදුම ආසාවක්, මතක තියෙන කාලෙ ඉඳලම..ගැටිස්සි කාලෙ වෙච්ච් දෙවල්..එත කොට ප්‍රථම ප්‍රේමය...කොල්ලො ඒ ගොල්ලොන්ගෙ ප්‍රේමය ප්‍රකාශ කරන්න ආපු හැටි....පාරෙදි ඉස්කොලෙ පිරිමි ලමයි එක්ක කතා කරල ගෙදර ඇවිත් අප්පච්චිගෙන් ගුටි කාපු හැටි... එතකොට හරිම දුෂ්කර ක්‍රියා වගෙ දනුනත් දැන් මතක් වෙන කොට හරිම ආනන්දයක්...

අයියලා මල්ලිලා කතන්දර කිව්වට අක්කලා නංගිලා කතන්දර කියන්න ටිකක් කුලැටියි...කුලෑටි කමම නෙවේ...බයයි..මොකද දන්නවද, සමාජ වට පිටාවෙන් නරක නාමයක් ඒවි කියල..බය නැති අක්කලත් ඉන්නව මම වගෙ. හා..හා..හා..

අපෙ මල්ලි ඉස්සර කියන්නෙ හැමතිස්සෙම මාත් එක්ක තරහ වුනාම, "කෙල්ලන් වලලන්, කොල්ලන් ගෙට ගන්" කියල...මමත් අතාරින්නෙ නැහැ , අනික් පැත්තට කියනව..''කොල්ලන් වලලන්..කෙල්ලන් ගොඩ ගන්" ...කියල...

ටිකක් කල් යන කොට තමයි තේරුණෙ අර මං කියපු විදිහට කොල්ලන්ව වැලලුව නම් විරුද්ධ ලිංගිකයාට ආකර්ශනයක් ඇති වෙන හෝමෝන පරිවර්තනයක් සිදුවෙන වයසෙදි.....හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නෙ. මොකද ෆ්ලර්ට් එකක් ගහන්න වත් කොලු පුලුටක් නැත්නම් ජීවිතේ නිකං පරිප්පු නැතුව පාන් කන්න බැහැ වගේ නෙ නේද.....පාඩම් කරලම ජේවිතේ වේලිල යන්න තිබුන...

මොකෝ මේ අක්කල නංගිල ලැජ්ජවෙන් බිම බලන්නෙ? අප්පෝ....ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි මම නම් බය නැහැ.

ඉස්සර මම හවස පංති යන කොට මට කවුරු හරි බොඩි ගාර්ඩ් කෙනෙක් එවනව. මොකද දන්නවද...? පිරිමි ළමයි වෙරළු...ගල් සියඹල...නෙල්ලි එහෙම දෙනව, නව කතා පොත් ඇතුලෙ දාල ලියුම් දෙනව...පස්සෙන් එනව එයාලගෙ කකුල් ගෙවෙනකල්...බයිසිකල් ටයර් ගෙවෙනකල්ම...

ඔන්න ඉතින් විද්‍යාව පාඩමට මී මැස්සො ගේන්න කිව්ව පංතියෙ හැමෝටම. මගේ 'ප්‍රථම ප්‍රෙමෙ' අපිට දුරින් නැයො වෙන අයියා කෙනෙක්.....අපි එයාට ඉන්ද්‍ර කියමුකො..ප්‍රේමය ප්‍රකාශ කරල නම් තිබුනෙ නම් නැහැ එත කොට....ඒ වුනාට අපි දෙන්නම ඇස්වලින්, ඉඟි වලින් අපේ හිත් වල පොපියපු ආදරය ප්‍රකාශ කර ගත්තා. කාටවත්ම කියවන්න බැරි වුණු අපේ හිත් අපි නම් කියවගත්ත හරිම පහසුවෙන්.

වැල්වටාරම් කියන්න ගියහම මී මැස්සන් අල්ලන්න ගිය කතාව අමතක වුණා. ඔහොමමයි මට වෙන්නෙ. ඉතින් පරීක්ෂණ නලත් අර ගෙන ගියා....අපි පුංචි වන වදුලකට වගෙ තැනකට අපෙ ගමේ තියෙන. කිතුල් ගස් පිරිල ඒ හරියෙ...කිතුල් මල් වල පැණි බොන්න එන මී මැස්සො අල්ල ගන්න තමයි ඉන්ද්‍රගෙ අදහස..ගෙවල් ලඟ තව කොල්ලො දෙන්නෙකුත් අඬ ගහ ගෙනයි අපි ගියෙ, තනියට.....

අපේ වාසනාවට කිතුල මලක් කපල බිම දමල තිබුන....රූං රූං ගීත කියමින් මී මැස්සොත් ඇති පදමට හිටියා....බුසලක් විතර මී මැස්සො හිටියත් කවුද උංව අල්ලන්නෙ, විසේ කාර මී මැස්සො එහෙ මෙහෙ පියාඹනව නෙ....ඉන්ද්‍ර වීරය වෙල කිව්ව...."මලිති, ඔය එහාට වෙල ඉන්න, මුං විද්දොත් ඔයට රිදේ...මට හින්නි මාම ගෙන් බැනුමුත් අහන්න වෙයි කියල. හින්නි මාම කියන්නෙ අපෙ අප්පච්චිට. වීරයන්ට වීර චරිත රඟ පාන්න ඉඩ කඩ් ආවසර දීම නුවණක්කාරයි කියල හිතල මම වැටෙන් එහා හිඟුරු පඳුරෙ හිඟුරු කඩන්න පටන් ගත්තා. ඒව හරිම පැනි රසයි...හිඟුරු පඳුරෙ රෝස පාට තැඹිලි පාට මල් පිපිල...මම හිඟුරු මලුයි කොලයි අහුරක් කඩා ගෙන කටෙ ඔබ ගත්ත....මදුරු තලා කොල දෙකකුත් එක්ක...ඒව තමයි අපෙ බුලත් විට...අම්මල අත්තම්මල්ල අපිට බුලත් විට කන්න දෙන්නෙ නැහැ, ඉංග්‍රිසි කතා කරන්න බැරි වෙනව කියලා. මම බුලත් විටෙන් කට රතු කර ගෙන බලාන හිටිය, මී මැස්සො අල්ලගෙන එනකල් මගෙ කුමරාන.

ලඟ තිබුණු ගල් පොත්තක් මට සෙලසුනක් සැපයුව, රැඳී ඉන්න ටික වෙලාවක්.........කම්මැලියි වදේ...මම ආවෙ එයත් එක්ක දැවටි දැවටි ඉන්න...පස්සෙ මම ගල් කැට ටිකක් අහුලගෙන ගල් කොටන්න ගත්තා. මට දැනුනෙ නැහැ වෙලාව යනව.
ඔන්න බොලේ අර තනියට එක්ක ගිය මුර කාරයෙක් කලබල වෙල දුව ගෙන එනව මං ඉන්න පැත්තට....
" මෙහෙ ඔය ගල් කොට කොටා ඉන්නව. අන්න ඉන්ද්‍රට මී මැස්සො විදල"
"ඉතින් එයාමනෙ මට යන්න කිව්වෙ. මී මැස්සො නැතුවට කමක් නැහැ ...අපි යං" මගෙ හිත කලබල වෙල.
"පුවක් පැණි ගෑවම හොඳයි නේද?" පුවක් ඉදිල හැම තැනම වැටිල. එන්න කියන්න...මම පුවක් ගෙඩියක් ගලක් උඩ තියල තලල පැණි එකතු කරන්න හැදුව. ඉන්ද්‍ර එනව අත් දෙකෙන්ම එක ඇහැක් වහ ගෙන...
" ඉන්න මම , පුවක් පැණි ගාන්නම්...." මම දොස්තර වෙන්න හැදුව. ඇස් බැමට විදල තියෙන්නෙ. මට දැනුණු දුක කොයි තරම්ද කියල ඕගොල්ලන්ට නම් ......තේරෙන්නෙ නැතිවෙයි.
ඉන්ද්‍ර ගල් පොත්ත උඩ වාඩිවුනා. මම වෙදකම කළා..ඔහු ඇස් දෙකම වහ ගෙන කීකරු පැටියෙක් වගෙ ඉන්නව...ඔන්න මටත් වීර චරිතයක් රඟ පාන්න මී මැස්සො අවස්ථාව ලබා දීල.....මෙන්න බොලේ බලගෙන ඉන්දෙද්දි ඇහැ වටේට ඉදිමීගෙන එනව...
" අපි ගෙදර යමු....මී මැස්සො ඕනි නැහැ" මම ඉන්ද්‍රට කිව්ව.
ඒ වුණාට හිත යටින් මට හිතුනෙ අපේ සර්ට සඳුදට මොනවද කියන්නෙ, ජීව විද්‍යාව පාඩමට ගියාම කියල. මේ යකාට එහෙම දෙයක් වත් බැහැ නෙ, මගේ හිතේ එක පැත්තක් නෝක්කඩු කියනව....අනික් පැත්ත කියනව, "බලන්න එයාගෙ ඇහැ... එයා එක්ක චුට්ටක් හරි දැවටෙන්න නෙවේද ඔයා ආවෙ" කියල...
ඉන්ද්‍ර එතකොටම කියනව," මලිති......බය වෙන්න එපා. අපට ඇතිවෙන්න මම මී මැස්සො අල්ල ගත්ත...ඔන්න ඔයාගෙ ටෙස්ට් ට්‍යුබ් එක..."
එයා පරීක්ෂණ නලය මට දෙන කොට මට හිතුන එයාගෙ මූණ ඉඹින්න කියලා..මේ කාලෙ වගෙ ඒ කාලෙ අපි එව්ව කොරන්න ඉක්මන් වුනේ නැහැ.....ඔගොල්ලො කියාවි අපි මෝඩයි කියල....හැබැයි මම එහෙම කළා නම් අර මුර කාරයො දෙන්න ගම පුරාම ඒක කියල අපට විසුමක් වෙන්නෙ නැහ...හිතට එන හැමදෙයක් ම ක්‍රියාවට නගන්න එපා කියන එකයි මම ඉගෙන ගත්තු පාඩම. ඒ වුනාට අපි දෙන්න ඇස් දිහාව එක එල්ලේ බලා ගෙන නිසොල්මනේ ගොඩාක් වෙල හිටියා. විදුලි සැර එහෙ මෙහෙ දිව්ව.... තොල් පටවල් අතර සිතුවම් වෙල මද සිනා මැකිලා ගියා! ....හරිම සුන්දරයි...!

6 ක් අදහස් දක්වලා.:

Chrishi said...

හරිම සුන්දරයි...!

Supun Sudaraka said...

නියමයි! (සමාවෙන්න. මං පරක්කුයි)

chamila_dealwis said...

අතරමැද කතාවක පේරාදෙණිය ගැන කියවෙනවා දැකලා මමත් කියවන්න පටන් ගත්තා. අද දවස ඇතුලත ඔක්කොම කියවලා ඉවර වෙලා කියන්නම් හොඳ නරක.

දුකා said...

ෂා පටන් ගැනීමම සුන්දර හීනයක් වගේ ලස්සන කතාවකින් . . . ! නියමයි . . .!

yalu said...

අාසයි, මම කලාතරකින් දැක්ක ගම ටිකක් විතර ප්‍රතිනිර්මානය කරල තියනව.

lord tas said...

maxxx!!
:D

Post a Comment