Sunday, August 30, 2009

පොදු පෙම්වතා

Sunday, August 30, 2009
මේ කතන්දරේ නං එච්චර පරණ එකක් නෙවෙයි. මේ දශකය තුළ සිදුවෙච්ච අපූරු සිද්ධියක්.මට ඒක මතක් වුණේ කොහොමද කියලා කතන්දරේ ලියල ඉවර වුණාම කියන්නම්. ඔන්න මම එක දිගට අවුරුදු දෙකක් විතර ලංකාවට එන්න බැරිවෙල ඉඳලා දැන් ඔන්න සම්ප්‍රාප්ත වෙන්නයි යන්නෙ. යහලු යෙහෙළියන්ට ඊ මේල් එහෙම එවල දුර කතන පණිවිඩ දීලා...දෙවර්ෂ පූර්ණය සමරන්නයි මගෙ හිත.  
අහෝ!ඒත් දුක හිතෙන එක කාරණයක් තියෙනවා. මගෙ හොඳම අතීසාර මිත්‍රයකුගෙ ඊ මේල් එකවත් දුර කථන අංකයවත් මගෙ ළඟ නැහැ. මම මෙයාව දන් අවුරුදු පහකින් විතර දැකලත් නැහැ...මම හිතුව ලංකාවට ගිහින් මගෙ කලාකාර යෙහෙළියක් ඉන්නව, එයාගෙන් ඉල්ලගන්නං කියල. මම දන්නව මම ගෙදර ගියාට පස්සෙ මෙයා තමයි ඉස්සෙල්ලම මාව බලන්න අපෙ ගෙදරට එන්නෙ කියල..
ගුවන් තොටු පොළට බැස්ස ගමන්ම මගෙ යෙහෙළියට ඇමතුමක් දුන්න, ඔන්න මම මව්බිමට ගොඩ බැස්සා කියල. "සාදරයෙන් පිළිගන්නව ඔයාව, අපෙ ගැන්සිය වෙනුවෙන්. බබෝ..අද නම් පොඩි වැඩක්. යහළුවෙකුගෙ පොතක දොරට වැඩීමේ උත්සවයකට යන්න තියෙනව...හෙට උදේම එනවා" කියල යෙහෙළි කිව්ව. එයාට නමක් දමන්නත් ඕනි නේද දැන්...? ම්..ම්...ම්...සරා කියමු. 
ඒකත් හොඳයි...පවුල් සංස්ථාවෙ වැඩ ටික අද ඉවරයක් කර ගෙන හෙට නිවීහැනේම සෙට් වෙන්න පුළුවන් කියල මම හිතුව. චූටි අක්කට(මගෙ පුංචිගෙ දුව මම කියල තිබ්බෙ,"අනේ! මට ෆ්‍රයිඩ් රයිස් නම් එපා. රෝස කැකුළු බතුයි, කොස් මැල්ලුමකුයි, කිරි හොදියි, වේලිච්ච මිරිස් ලුණු දාල බැදල තියන්න" කියල.. ගෙදර ඇවිත් ඔන්න පෙරේත කමට ඉස්සෙල්ලම ගියෙ කෑම මේසෙට...අප්පෝ...! මගුල් ගෙදරකට වගෙ කෑම හදල..මම කිව්ව ඒවත් හදල තිබුණ.  
" මෙච්චර ගොඩක් මොකටද හැදුවෙ චූටිඅක්කෙ" 
"අවුරුදු ගාණකට පස්සෙ එනකොට එහෙම නැතුව පුළුවන්ද, නංගි"
ඔන්න ඉතින් පහුවදා උදෙන්ම සරා එයි කියල මම මග බලා ගෙන හිටිය. කෝල් එකකුත් නැහැ. අදත් මගුල එන්නෙ නැතුව ඉන්න වෙන්නැති කියල මට හිතුණ. මම වෙනත් යාළුවෙකුට ෆෝන් කරල කිව්වම මම ආව කියල. එයා එතකොට, "අනේ, මලිති එන්න කො අපේ ගෙදර අද රෑට නවතින්න...මම අද තනියෙම....රුවනිත් අද එනව කිව්ව..අපට ජොලියක් දමන්න පුළුවන්" කියල දිගටම කියා ගෙන ගියා. විනාඩි දෙකක් ගියෙ නැහැ, රුවනි කතා කරනව.
" හලෝ...කෙල්ලෙ ඔයා ආවද? මට දුලි දැන් කිව්ව...එහෙනං හවසට සෙට් වෙමු මචෝ" 
" හරි මචන්....අනිවාර්යයෙන්" පිරිමි කට්ටිය වගෙ අපිත් හොඳම යාළුවන්ට මචං, මචෝ කියල තමයි කතාව. අපිත් සෙට් වෙනවා ඔගොල්ලො වගෙම. මම සුරාවෙන් තොර වුණත් (අර මගේ ශරීර කූඩුව ඇතුළෙ ඉන්න සම්ප්‍රදායිකා තමයි මාව එහෙම කරල තියෙන්නෙ මම යාළුවන්ට වයින්, බියර් එහෙම අර ගෙනයි එන්නෙ එයා පෝට් එකෙන්ම. සරාට මොකෙක් හරි සෙට් වෙලාද මන්ද, මොකුත් ආරන්චියක් නැහැ. මම කෝකටත් කෝල් කළා. අර මම කිව්ව පිරිමි යාළුවගෙ දුර කතන අංකයත් ඇහුවා.
" මොකද ඔයාගෙ පරණ ලවක්ද එයා" 
" යකෝ...පිරිමි යාළුවො ඔක්කොම ලව් නෙවේනෙ." 
"ඔන්න මම එස් එම් එස් කරන්නම්...මම හවස් වෙල එන්නම්...හොඳේ..වැඩ ගොඩක් තියෙනව ඔෆිස් එකේ" 
එයාගෙ ස්වරය ටිකක් වෙනස්.මොකක් හරි ප්‍රශ්නයක් වගෙ...හවස් වෙල එනව කිව්වට එයිද කියල මට විශ්වාසෙකුත් නැහැ. එයාට හරියට තදවෙනව. කා එක්ක හරි වලියක් ඇදගෙනද වත්ද? මට නිකමට හිතුණ.
" මම හවසට දුලිතලගෙ ගෙදර යන්න ඉන්නෙ ඔයත් එනවද?"
" අපෝ අර බඩුවද? මම එයාට කැමති නැහැ..ඔයා යන්න."
" එහෙම හිතන්න එපා, සරා...ඔයා එයාව කිට්ටුවෙන් ආශ්‍රය කරල නැහැ නෙ..මම අඳුන්නල දෙන්නම්කො."  
" හැබැයි, මට හිතට ඇල්ලුවෙ නැත්නම් මම අබවුට් ටර්න් දාලා එනව...තරහ වෙන්න බෑ හොඳේ" 
කෙනෙකුව ආශ්‍රය නොකර පූර්ව නිගමන වලට ඇවිල්ල චරිත සහතිකත් නිකුත් කරන එකට මම නං කැමති නැහැ. 
ඔන්න යාලුවගෙ දුරකතන අංකයත් ලැබුණ. මම කෝල් කළා. " හෙලෝ..මේ කටහඬ අඳුනගන්න පුළුවන්ද?"
මම චුට්ටක් හුරතල් වුණා...එයාව පීලි පන්නන්න හිතා ගෙන. 
" අනේ..බෑනෙ රත්තරන්..." ඒ යකා හැමෝටම රත්තරන් කියන්නෙ. කෙල්ලො හිතන්නෙ මූ හැමෝටම ලව් කියල. 
"අනේ! යකෝ,උඹ තාම කෙල්ලන්ට ලණු දෙනව නේද?" 
" අන්න එහෙම එන්නකො, දැන් මං කියන්නං..අපේ මලිති කුමාරිහමි කවද්ද ගොඩ බැස්සෙ? ඔයා විතරයි මට යකෝ කියන්නෙ." 
"හා..ඇත්තද සුමිත් යකා..."
" මම පොඩි වැඩක් කෙල්ලෙ, හවස පහට විතර කෝල් කරනවද?" 
" ඔයාටත් පුළුවන්නෙ මට කෝල් කරන්න. මම දැන් ඉන්නෙ ලංකාවෙ" මමත් ටිකක් ගණන් ඉස්සුවා.
හවස පහට විතර මම යන්නම් කියලා වාහනේට ගොඩවෙන්න හදනකොටම ගේට්ටුව අරින්න ගිය රියැදුරා කියනව, " මැඩම්ගෙ යාලුවෙක් නේද අර එන්නෙ" කියල. ඔය එන්නෙ නටව නටව අර සුකිරි බටිල්ලි, සරා. ටිකක් පිළිවෙලකට අඳින්නෙ වත් නැහැ...සල්ලි නැතුවත් නෙවේ..කම්මැලි කම. මේකා ගෙදර මිදුල අතු ගාන්නෙත් නැහැ. ජනෙල් දොරවල් වලට රෙදි දාන්නෙත් නැහැ. අමුතුම පිස්සු චරිතයක්.
දන්නවනේ දැන් ඉතින් අවුරුදු ගානකට පස්සෙ හමුවුණාම, සිප වැළඳ ගැනීම් ගොඩයි.  
" නැගපං. නැගපං...යන ගමන් මල් කඩමු."  
" ඔයා ලස්සණ වෙල...සුදු වෙලා"  
"  ඔයා කොහොමත් සුදුයි, ලස්සනයිනෙ...අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ නෙ..මොකද්ද අනේ..! ටිකක් පිළිවෙලකට අඳින්නකො."
" ලස්සණට අඳින්නෙ නැහැ කියල මට අඩුවක් පාඩුවක් නැහැ."
"ඒ කියන්නෙ උඹට කොල්ලො වැටෙනව කියන එකනෙ, උඹ වගෙම කිළුටු පොරවල් වෙන්නැති"
ඔන්න එතකොටම මගෙ දුරකතනය නාදවෙනව.
" ආ.....ඔව්, බබෝ මම ගමනක් යනව.."
"අපි කවදද මුණ ගැහෙන්නෙ? ඔයාට කියන්න මට ගොඩාරියක් දේවල් තියෙනව" සුමිතයා ගෙ බර බරේ...
" ඔව්...ඔව්...මට ඊ මේල් එකක් වත් එවන්න එපා. දැනුයි පරණ දුක් ගන්නා රාළව මතක් වුණෙ ඔයාට, නේද"
" අනේ පැටියො එහෙම කියන්න එපා. හෙට ඩිනර් වලට යමුද?"
" මගෙ යාලුවෙක් ඉන්නව, එයාවත් එක්ක එන්නම්" 
" කවුද යාළුවා. ලස්සණ එක්කෙනෙක්ද"?  
මේ යකා ඔහොමමයි.  
"සරා, ඔයා දන්නවනෙ එයාව. අර කවි කාරි"
" අප්පෝ එපා...එතකොට මම කොහොමද ඔයාගෙ නළලවත් ඉඹල සමුගන්නෙ?"
( අපි අර ඊනියා ලව් නැතුවට කොහෙදි හරි මුණ ගැහිල වෙන්වෙන කොට සුමිත් මගෙ නළල ඉඹිනවා)
"ඒකට මොකද?"  
" එපා, එපා...ඔයා තනියෙම එන්න.  
"ඕකේ,බායි"  
"කවුද පරණ ලව් එකක්ද"  
"ලව් එකක් මත් නෙවෙයි, හෙට ඩිනර් වලට එන්නලු"  
" යනවද ඉතින්?"  
" තවම හිතුවෙ නැහැ."  
සරාගෙ මුහුණෙ එලිය චුට්ටක් විතර අඩු වෙල. දවසෙම වැඩ කරල නිසා තෙහෙට්ටුත් ඇති. දුලිතයි, රුවනියි අපි එනකල් මග බලා ගෙන ඉන්නව. මම සරාව ඒ ගොල්ලන්ට අඳුන්නල දුන්න. 
" මෙයාගෙ කවි පොත් අපි කියවල තියෙනව...ඔක්කොම වගෙ." දුලිත කිව්ව. රුවණිත් කිව්ව, "ඔයාගෙ අර පත්තරේ කොටස් වශයෙන් යන කතාව ලස්සනයි" කියල. දැන් සරාට ෆුල් ෆිට්. ඉතින් මම රෑට ඉන්න ලැහැස්ති වෙල ආවත් සරා ආවෙ ඔෆිස් ඉඳල නේ. එයාට අඳින්න ඇඳුම්?
" මේ අපි ඔක්කොම,මගෙ රෑට අඳින ගවුම් අඳිමු...ජොලියකුත් තියෙන්න එපාද..නේද මලිති" ඒ දුලී.
"අන්න වැඩේ..නියමයි" කට්ටිය ඇඟ පත කාරිය සෝද ගෙන, එකම විදියෙ ගවුම් ඇඳ ගත්ත...ඔන්න ඉතින් සාලෙ ඉඳගෙන මල් වත්තකම මල් කඩන්නයි යන්නෙ. ගෙදර උදව්වට ඉන්න කමලා වීදුරු, කට ගැස්ම එහෙම ගෙනැත් තියෙනව.. කට්ටියම සුදු වයින් බොන්නයි යන්නෙ. සංස්කෘතික අමාත්‍යංශෙ කවුරුත් එහෙම නැහැ නේද...ළඟ පාතක. නැත්නම් මේ බොන සීන් එකට කොටු දමයි... 
කට ගැස්මට පොල් රොටියි, කට්ට සම්බලුයි...අල පෙතිත් බැදල තිබුණ..තව එකේක රටවල චීස්...දුලිතගෙ ප්‍රියතම ආහාරය චීස්. ඒගොල්ලො වයින් එක්ක චියර්ස් කියද්දි මම ජින්ජර් බියර් එක්ක චියර්ස් කිව්ව. ඉතින් ඔහොම වැඩේ ගියා. අපි කතා කරපුව ලියන්න ගියොත් අතුරු කතා දහයක් විතර ලියන්න පුළුවන්..ඔන්න කොච්චර නියමෙට සෙට් වුණාද කිව්වොත් සරා දුලිතගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන චැට්. මම ඉතින් වෙරි නැති නිසා පින්තූර අරගෙන තියා ගත්ත පස්සෙ පෙන්වන්න කියල. අපි හතර දෙනා කැට් වෝක් දැම්ම...ෆැෂන් පෙරේඩ් එකක් කළා...සින්දු කිව්ව....නාට්‍ය රඟ පෑවා.
දුලී මනමෙ කුමාරයා..මම මනමෙ කුමරි..  
" ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ.... පූෂ්පයෙන් වන සුන්දර වේ..ලංකෘත වේ" අනිත් දෙන්න ගායක කණ්ඩායම. ෆුල් සොමි....අහල පහළ වැඩිය ගෙවල් නැති නිසා හොඳයි...නැත්නම් කැකිරි පැළුව තරමට ගලුත් එන්න තිබුණ වහලට. 
ඉතින් රෑ එකහමාර වෙනකල් පිස්සු නටලා, අපි දැන් නිදා ගන්නයි යන්නෙ. එතකොටයි මතක් වුනෙ දුර කතනෙ..තවමත් අත් බෑගයෙ. නිකමට බැලුව මිස්ඩ් කෝල්ස් තියෙනවද කියල..තියෙනව නේන්නම් දෙකක් ..මෙසේජුත් දෙකක්. සුමිත් ගෙන්. 
'ගුඩ් නයිට් මැණික....මිස් යූ. මොකද ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැත්තෙ' මේ පාර මූ මොකාටද අඳින්න හදන්නෙ...?මොකක් හරි ජංජාලයක් තමයි...
සරායි මමයි එක ඇඳක....රුවිනි දුලී ගෙ කාමරේ... 
රිදී පාට සඳ එළිය මල් කවුළු අස්සෙන් රටාවකට කාමරේට ඇවිල්ල අපි යන්නත් ඉස්සරින්. හුළඟට හෙලවෙන අතු පතර එක්ක ආලිංගන නැටුමක...හරිම හරි රොමැන්තික ගතියක්...මම සඳළු තලයට ගියා...සිංහල උළු වහළ මත පිපිච්ච කඩුපුල් මල් සුවඳයි..සේපාලිකා මල් වල සුවඳයි....කොහේදෝ අමුතු ලෝකෙකට මාව කැන්දන් යනව වගෙ. මම ඇස්දෙක පියාන මල් සුවඳ ආඝ්‍රාණය කළා. නාන කාමරේ ඉඳලා ආපු සරාත් මම ඉන්න තැනට ආවා..... "හරිම සුන්දරයි නේද" මම ඇහුවා එයාගෙන්....  
" අරයත් හිටියනං තවත් සුන්දරයි...මට මෙසෙජ් දෙකක්ම එවල"
" මොනවද කියල තියෙන්නෙ?"  
'ගුඩ් නයිට් මැණික....මිස් යූ. මොකද ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැත්තෙ'කියල. මට ලැබුණු මෙසේජ් එකමයි...මම ඉවසුවා. මුන් දෙන්න සෙට් වෙලාද? අහන්නත් බැහැ....දැන් රෑ වෙල, අපි නිදා ගනිමු මම කිව්වා. මට අහන්න හිතුනෙ නැහැ කවුද එයා කියලා.
දුලී ලගෙ ගෙදර තියෙන වියන් ඇඳන් වලට මම හරිම ආසයි, මට අපේ මහ ගෙදර මතක් වෙනව...අපේ මහගෙදර තිබුණ කළුවර වියන් ඇඳක්..ලස්සණට මිදි වැල් වලින් මල්කම් ලියකම් කරපු. මිදි පොකුරුත් හරිම අගේට ඇඳ විට්ටමේ කැටයම් කපලා.
මම පුරුද්දට තෙරුවන් වැඳල, කරණීය මෙත්ත සූත්‍රය කිව්ව ඇස් පියාගෙන. චුට්ටක් අද දවස ආවර්ජනය කරන්න ඕනි...ඔන්න එතකොටම මගෙ ළඟට කිට්ටු වුණු සරා මගෙ නළල ඉම්බා. මම ඇස් දෙක ඇරියා...  
"බය වුණාද....?"  
" ඔව්, ටිකක් විතර.....ඔයා 'ලෙස්' වෙලාද කියල හිතුණා". 
" අනේ නැහැ, ඔයා ඇස් දෙක වහගෙන එහෙම ඉන්න කොට හරියට ආදරේ හිතුණ....හරියට භාවනාවක් වගෙ."
මට ඇත්තටම ලැජ්ජ හිතුණා. ඉතින් අපි තව ටිකක් වෙල අනික් යාලු කෙල්ලන්ගෙ කොල්ලො ගැන එහෙම කතා කරල නින්දට වැටුණා. පහුවදා උදේ මම අවදිවුණේ සුමිතයාගෙ එස් එම් එස් එකකින්...
එතකොටම සරාගෙ ෆෝන් එකේ මෙසෙජ් ටෝන් එක. 
'එක්ස්කියුස් මි බොස්, දෙයාර්ස් අ මෙසෙජ් ෆො යු' මම පණිවිඩය කියෙව්ව. 
'ගුඩ් මෝනින්ග් රත්තරන්, ඩිඩ් යු ස්ලීප් වෙල්? ලව් යු මැණික" 
මූට නං මොකද්දෝ වෙලා.....
" කවුද ඔයාට මෙසෙජ් කරල තියෙන්නෙ..." සරා අහනවා.
" අර ඊයෙ කතා කරපු යාළුවා....අද ඩිනර් වලට එනවද අහනව...."
" මලිති, මගෙ අලුත් ලව නම් මට පණ ඇරල ලව්..මේ බලන්නකො මෙසෙජ් එක"
'ගුඩ් මෝනින්ග් රත්තරන්, ඩිඩ් යු ස්ලීප් වෙල්? ලව් යු මැණික" 
මට හිතා ගන්න පුළුවන් දැන්..එකම මෙසෙජ් එක ...සුමිත්ගෙ නම්බර් එක මම දැක්ක...ඒක තමයි මට කිව්වෙ ඩිනර් වලට එන කොට සරාව එක්ක එන්න එපා කියලා. මම හිතා ගත්තා ඩිනර් යන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ කියල. සුමිත් දන්නෙ නැහැ අපි දෙන්න අද මුණ ගැහෙන බව. මම කිව්වෙත් නැහැ. සරා කියලත් නැහැ.
ඔන්න දැන් අපි උදේට කන්න ගියා. ඔන්න ආයෙත් එස් එම් එස්..... 
"මිස් යු ඩාලිං, කෝල් මි සූන්" මම හිනාවෙල පාන් පෙත්තක බටර් ගාගත්තා. එතකොටම සරාගෙ ෆෝන් එකට එස් එම් එස්. රුවනියි, දුලියි හිනා වෙනව.. 
" මුන් දෙන්නට එක කොල්ලෙක්ද කොහෙද ලව්. එකම වෙලාවට කොහොමද එස් එම් එස් එන්නෙ?" ආදරෙයි කැස්සයි හන්ගන්න බරිලු නේ?
අනේ පව්....සරා කොච්චර සතුටුද කියල අහනව නම් එයාගෙ මෙසෙජ් වලට, මෝඩි වගෙ අපි තුන්දෙනාටම පෙන්නුව. ඒ තරමට ත්‍රිල්...මට ආපු මෙසෙජ් එක මයි. මට දුකයි, මම සුමිත්ට පස්සෙ බනින්නම් කියල හිතුවා. ඒත් මගෙ මූණෙ වෙනස් කමක් වුණාද මන්දා. සරා එක පාරටම මගෙ ෆෝන් එක අර ගෙන බැලුවා. මට තරු පෙනුණා.එයා දැක්ක සුමිත්ගෙ අංකය...මුකුත්ම කිව්වෙ නැහැ....දුලී ත්‍රී වීල් කට එන්න කිව්වා, සරාට ඔෆිස් යන්න...මට සරා ගැන දුකයි...මම එයාට යන්න ඇරියා. මම පස්සෙ යන්නම් කියල හිතුව. ඔන්න සරාගෙන් මෙසෙජ් එකක්..
"සොරි, මට ඔයාට කියන්න බැරි වුණා සුමිත් ගැන. ඔයා එයාට ආදරේද?"
" නැහැ, මගෙ හොඳම යාලුවෙක් විතරයි...ඔය දෙන්නට මම සුබ පතනව, මම ඩිනර් යන්නැහැ, එයත් එක්ක. මම එයාට දැන්ම කතා කරල මේ ගැන කියන්නම්"
මම සුමිත්ට කතා කළා. " අයියෝ....මලිතියෝ...ඔය ගෑණි දැන් මගෙ ඔලුව කයි...මොකක් හරි කරන්නෝ"
"මම යනවනෙ තව සති දෙකකින්...මම ඩිනර් එන්නෙත් නැහැ..ඔයා අද එයාව එක්ක යන්න කොහේ හරි...ෂේප් න්‍යාය දාපන්..උඹ දන්නව නේ?"
" අනේ, ප්ලීස්, ඔයා එන්න බබා...කොච්චර කාලෙකින් දැක්කෙ නැද්ද?"
"සොරි, සුමිත්, තව ගෑණියෙකුගෙ ඇස්වල කඳුලු දකින්න මම කැමති නැහැ...අපේ පරණ යාළුකම තියා ගෙන ඉමු" මම කිව්වා.
පස්සෙ සරා 'පොදු පෙම්වතා' කියල කවි පන්තියක් ලියලා මට ඊ මේල් කරල තිබුණා. එතැනින් පස්සෙ ඒ දෙන්න හොඳට හිටියා වෙන්නැති...සරා මට ලියන එක, කතා කරන එක, ඊ මේල් එවන එක නැවැත්තුවා...මම ගැන දෙන්න මොන මොන විදිහට අර්ථ කතනය කර ගත්තද කියල මම දන්නෙ නැහැ......සරාට එයාගෙ පෙම්වතා ලැබුණ..මට හිටිය හොඳම යාලුවො දෙන්නෙක් නැතිවුණා.
හා...! එකක් කියන්න අමතක වුණා...සුමිත් වෙනම ඊ මේල් අයි. ඩී. එකක් හදා ගත්ත, මට ලියන්න. මොකද ප්‍රේමෙ වැඩි කාලෙ පාස් වර්ඩ් එක සරාට කියල තිබුණ නිසා. මම ඒ වුණාට සුමිත්ට මේල් යවන එක නැවැත්තුව...  


මොකටද නිකන් පව් පුරව ගන්නෙ කුරුළු කූඩු වලට ගල් ගහලා?

19 ක් අදහස් දක්වලා.:

Chrishi said...

මුලින් කියවද්දි මාර සතුටක් ආවා. ඉවර වේගන යද්දී දුකයි. ඉවර උනාට පස්සෙ දුකයි සතුටයි මිශ්‍ර වෙලා අමුතු හඟීමක් දැනුනා.

අක්කණ්ඩි said...

අදහස් දැක්වීම ගැන ස්තුතියි...මගෙ හිතට ලොකු සවියක් මේ අදහස්...

.::පිස්සා::. said...

මාරයින්නේ... දිගටම ලියන්න...

ඩෝසන් said...

හොඳයි හොඳයි කතා හොඳයි...

:)

EXPRESS[දිලංක මාධව] said...

පිස්සු හැදිල ආයි හැදෙනවෝ.
අක්කෙ ඔය කතාව ඇත්ත සීන් එකක්ද?හැමදාම කියනව වගේ මේපාරත් නියමයි.හැබැයි ඉස්සෙල්ල කිව්ව වගේ ඉන්ද්‍රයියනම් නෑ නේ.පව්නේ ඉන්ද්‍රයියා.

kasun said...

nice :)

LazyOwl said...

ප්‍රතිචාර දක්වන්න, ඉස්සෙල්ල එක දෙයක් දෑන ගන්න ඕනා. මේක මේ ගොයියගෙ ඈත්ත නමද?

EXPRESS[දිලංක මාධව] said...

මේ ගොයියා කිව්වේ කාටද?

අක්කණ්ඩි said...

මේ ගොයියගෙ නම ඇත්ත නෙවෙයි..එහෙම ඇත්ත නම් දානවද....කාගෙ වත්?

කතන්දර කාරයා said...

1. ඉන්ද්‍ර ගේ අඬු කැඩිය යුතු ය.

2. ඔබ ගේ ද අඬු සුමිත් නිසා තව පොඩ්ඩෙන් කැඩෙන්නට ඉඩ තිබුණි.

අක්කණ්ඩි said...

මොළේ කළඳක් තිබුණු නිසාම අඬු නොකඩා ගෙන බේරුණෙමි.

wayaba withthi said...

පින්තූර ටිකත් දැම්මනම් තමා ආතල්

TMG හෙවත් මනෝ said...

ලස්සන කතාව .මම හිනාවුනා ඇතිවෙන්න .මෙවට කියන්නෙ කෙටි පනිවුඩ සහ දිග කතා.සරයි ,ඔයයි සෙට් වුනානම් හරියට සුමිතයගෙ අඬු කැඩීම කෙසේවෙතත් හොඳ පාඩමක් උගන්වන්න තිබුනා අයෙත් මේ වගේ තක්කඩි වැඩ නොකරන්න.ඒත් කොහෙදෙ මේ ගෑනු එකම මිනිහට රැවටිලත් කිසි සමගියක් නැහැනේ .රැවටිලි කාරයෙක් බව දැනගෙනත් ආදරේ බෙදාගන්න පොරේ.

nidhahasa said...

මට නම් කියන්න තියෙන්නෙ මේ ලියන ඒවා හරිම රසවත් අව්‍යාජ දේවල් කියල තමයි. හැබැයි කියවන හැම වෙලේම මට සුනේත්‍රාව මතක් වෙනවා. ඔයා එයාව ඇසුරු කරල තියෙනවද මන්දා :)

අක්කණ්ඩි said...

අන්තර්ජාලයෙ සුනේත්‍රායි මේ ඔබව අමතන්නෙ...ඔයාට 'සුනේත්‍රා සින්ඩ්‍රෝම්' හැදිල බව අදයි දැන ගත්තෙ, ඔයාගෙ බ්ලොග් එකට ගියාම. මම සුනේත්‍රගෙ චාරිකා සටහන් නම් කියවල නැහැ. මම ලංකාවෙ නැහැ නෙ දැන් අවුරුදු හත අටක්ම. මම මට හිතෙන හැටියට තහංචි, සීමා ගැන හිතන්නැතුව ලියනව...හැබැයි සංයමය කියන වචනෙත් හිතේ තියා ගෙන. ඔයාගෙ අදහස් වලට ස්තුතියි.

nidhahasa said...

ඒක ගැන නම් මොකට කියනවද? මම මයි ඒ නම තියා ගත්තෙ. හරිම ආසාවෙන් ඔබේ හැම කතාවම කියවනවා. දෙතුන් පාරක් කියෙව්වා සමහර කතන්දර. :)

Supun Sudaraka said...

@nidhahasa- මටත් හිතෙන්නේ අක්කණ්ඩි සු‍නේත්‍රාව ඇසුරු කරලා තියෙනවාද කොහෙද...

ඒ කොහොමවුනත්... අර කලින් ලිපි වලටත් කියලා තියෙනවා වගේ. මරු ලියවිල්ල! දිගටම ලියන්න.

chamila_dealwis said...

දහදෙනෙක් විතර ඇවිත් බිම දාලා පයින් ගහලා ගියා වගේ දැන් හිත. හිතෙන කිසිම දෙයක් පැහැදිලි නෑ.

Shami said...

MAnushiya sithuvili harima lassanata heli karala thiyenava... dakkina inna manussayata vada ... sithuvili valin minissu monatharam venasda... thamange ashavan avashyathavan kiyaganna baruva manasika kotuveemakneda me kathavalin kiyavenne... harima lassanai.thanvath liyanna ....

Post a Comment