Wednesday, August 26, 2009

'නහී වේරෙන වේරානි'

Wednesday, August 26, 2009
කතන්දර කිය කියා හිටියට මම ඕගොල්ලන්ට වැඩිය මොකුත් කිව්වෙ නැහැ නේද මං ගැන..? මම ටිකක් මුරණ්ඩු ගති තියෙන කෙනෙක්...අකීකරුමත් නැහැ...හැබැයි හැමෝම කියන දේවල් අහන්නෙත් නැහැ. අනික් අය කියන දේවල් හොඳට අහ ගෙන ඉඳල මට ඕනි දේ කරනව.
වැරදුණත්, පැරදුණත් මම ගත්තු තීරණ නේ?
මම ගොඩක් රැඩිකල් + නිදහස් මතධාරී + රොමැන්ටික්+ 20% විතර සම්ප්‍රදායික ඒ වගේම වෙඬරු වගෙ හදවතක් තියෙන ගොඩක් සංවේදී පොරක්....පොරක්ද පොරියක්ද මම දන්නැහැ....පොත් කියවද්දිත් අඬනව. චිත්‍රපටි බලද්දිත් අඬනව..කොටින්ම කියනව නම් මට අපේ මල්ලි දාපු නම, 'ඇඬුමි'. ලස්සනයි නේද? මම එයාට කියන්නෙ 'නිල මැස්සා" කියල.  
ඉතින්..ඔන්න අදත් කියන්න ආපු දේ වලින් පීලි පැනලා මම වංක ගිරියෙ යනවා. අර 20% සම්ප්‍රදායික කතාවට සමහරු ඔච්ච්ම් කරනවා. ඒ වුණාට මගෙ හිතේ 20% නියෝජනය කරන ගැහැණියට ලොකූ සොෆ්ට් කෝනර් එකක් තියෙනවා.එයාට තමයි මම මගෙ ජීවිතය චැනල් මාරුකරන දුරස්ථ පාලකය දීල තියෙන්නෙ. 
'දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග' කියනවනෙ..ඉතින් මම නමැති දඩබ්බරී සීමා මායිම් පනින්න හදනකොට අර සම්ප්‍රදායිකා තමයි ටොක්කක් ඇනල මාව පියවි ලොවට ඇදල ගන්නෙ. එයා හිටියෙ නැත්නම් මම මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා, රූස්ස ගස් වෙලා. දඩබ්බරීටත් මම ආදරෙයි...එයා තමයි කොලු වැඩ කරන්නෙ. පිරිමි වැඩ කරන්නෙ. හැබැයි පිරිමි කරන සේරම දේවල් ගැහැණුන්ට කරන්න බැහැ කියලත් මම හොඳාකාරවම දන්නව. මොකද ගැහැණු, පිරිමි ජෛව විද්යාත්මකව වෙනස් නෙ? කාය ශක්තිය වෙනස්..ගැහැණුන්ගෙ ලලනා ලාලිත්‍යය විනශ කරගෙන පිරිමියෙක් වගෙ වෙන්න යන්න මම නං ඇත්තටම කැමති නැහැ. ගැහැණු කම , සුන්දරත්වය, ලාලිත්‍යය එහෙමත් රැක ගෙන පිරිමිත් එක්කම අත් වැල් බැඳ ගෙන ඉස්සරහට යන එක නෙ හරි..මන්දා..මගෙ මොට්ට මොළේට නං හිතෙන්නෙ එහෙමයි.. 
ඔන්න මට ටැපලිලා..මාක්ස් සහෝදරයාද ලෙනින් සහෝදරයාද කිව්වෙ අර ස්ත්‍රී පක්ෂයේ සංවර්ධනයක් නැතුව කෙරෙන සංවර්ධනය අසම්පූර්ණයි කියල..අනේ..ඔය සහෝදර සහෝදරියො මට සහයෝගය දෙන්න කෝ..චුට්ටක් මතක් කරලා.. හා..හා...බැරිනම් කමක් නැහැ. කවුරු කිව්වත් ඒක බොරු නෙවෙයි නේ..? ඒ කතාවලින් වැඩක් නැහැ, අපට. ඉතින් මගෙ ඔල මොට්ටල කතා වලට සමාවෙලා යන්න ආපු ගමන යමුකො. මා ගැන දැන් චුට්ටක් දන්නව නේ..ඉතිරිවා පස්සෙ කියන්නම්. මගෙ කතා කියවන කොට වැටහේවි ඕගොල්ලන්ට මගෙ හැටි.
ඔන්න ඉන්ද්‍රගෙයි මගෙයි ප්‍රේමෙට ඒ ගොල්ලන්ගෙ තාත්ත උදැල්ල දැම්ම..එයාව කොළඹ ඉස්කෝලෙකට දමල. ඉන්ද්‍ර මට කියනවා අපෙ අප්පච්චිටත් කියන්න ලු මාව කොළඹ ඉස්කෝලෙකට දමන්න කියල. මම අම්මගෙ මාර්ගයෙන් අප්පච්චිට මගෙ අදහස දන්නල යැව්වා...හැබයි ප්‍රතිඵලය බිංදුවයි. 
මම ඉන්ද්‍රට ලියුමක් ඇරියා මොනවා හරි කරන්න කියලා. එයා අපේ විද්‍යාව සර්ට මේ ගැන කියලා. ඉතින් දවසක් සෙනසුරාදාවක සර් ආව අප්පච්චිව මුණ ගැහෙන්න..තව සර්ල දෙන්නෙකුත් සර් එක්ක ආවා. මම දොර මුල්ලට වෙලා ඒ ගොල්ලන්ගෙ කතාව අහගෙන හිටියා. 
" අත්තනායක මහත්තයා...අපි ආවෙ මලිතිගෙ උසස් අධ්‍යාපනය ගැන කතා කරන්න..." 
" මොකෝ, අපෙ ළමය හොඳට වැඩ කරන්නෙ නැද්ද පංතියෙ..ටිකක් නැටුමට, ගැයුමට බරයි නේද?"
" නැහැ..නැහැ... ඒක නෙවේ...අපෙ ඉස්කෝලෙ දැන් ගුරුවරුත් මාරුවෙල ගිහින්...එච්චර හොඳ ප්‍රතිඵල බලපොරොත්තු වෙන්නත් බැහැ...මේ කොලඹ ඉස්කෝලෙකට වත් දම්මොත් හොඳයි නේද?"
" අපෝ..මතක් කරන්න එපා...මෙයා ගෑනු ළමයෙක් නෙ....මොන රස්සවලට යවන්න කියලද? තව ටිකක් කල් ගියහම කාට හරි බන්දල දෙනව මිසක, මොකට ඔච්චර වියදම් කරනවද? (ඔන්න අපිව තක්සේරු කරන හැටී) ඇත්තම හේතුව..මේ..මලිතිගෙ මල්ලි...නිහාල්..එයා ලබන අවුරුද්දේ ඕ ලෙවල් කරනවානෙ..එයාව කොහෙ හරි හොඳ ඉස්කෝලෙකට දමන්න තමයි මම හිතා ගෙන ඉන්නෙ. පුතාට ඉහලට උගන්වන්න ඕනි මහත්තයො..කෙල්ලන්ට මොකට ඔච්චර උගන්වනවද?" මට යටි ගිරියෙන් කෑ ගහල අඬන්න හිතුනා. මල්ලි කවදාවත් පලවෙනිය වෙන්නෙත් නැහැ...ඔන්න...ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මට හරස් වෙච්ච හැටි....
ඉතින් අම්මා තේ හදා ගෙන ආවා..සර්ල තේ බීලා යන්න ගියා..සර්ල කොච්චර කරුණු කිව්වත් අප්පච්චිගෙ වානේ හිත උණු කරවන්න කාටවත් බැරි වුණා. කාටද මේ අවනඩු කියන්නේ?
මල්ලි ඊලඟ අවුරුද්දේ විභාගේ ගත්ත. ප්‍රථිඵල එන දවසෙ අප්පච්චි හිටියෙ බොහොම බලාපොරොත්තුවෙන්, හරියට මගෙ දිහාවට උඹට දෙන්නම් බැටේ කියන්න වගෙ.  මල්ලි වැඩ හතරයි පාස්. මට පුංචි සන්තෝසෙකුත් ආව. නපුරු වින්දනයක්...ඒත් මම 'නහී වේරෙන වේරානි' කියල හිත හදාගෙන මල්ලිට කිව්ව, " ඔයා ලබන පාරත් ලියන්න මල්ලි. එතකොට ඔයට හොඳට පාස් වෙන්න පුළුවන්" කියල.
හැබැයි අප්පච්චිත් එක්ක නම් මගෙ හිතේ හට ගත්ත, නිකන් අප්‍රසන්න කම වගෙ ගතිය ටිකක් කල් තිබුණ. මම පශ්චාත් උපාධියත් සමත් වුණාම මම කිව්ව අප්පච්චිට,අප්පච්චිගෙ කීකරු පුත්‍රයාට වඩා දඩබ්බරී නම් වූ අකීකරු දියනිය ගොඩක් ඉගෙන ගත්තා කියල. ඔය සිද්දියත් මතක් කරල දුන්න. 
"වෙන්න තියෙන දේ කොහොමත් වළක්වන්න බැහැ පුතේ. ඔයා දිනනවා කියල මම දැනගෙන හිටියා" කියල කිව්ව. මට දුකත් හිතුන අප්පච්චි ගැන.


අදට මගේ කතාව මෙතැනින් අවසානයි..අසා සිටි ඔබ සැමට ස්තූතියි.

16 ක් අදහස් දක්වලා.:

Prabath said...

මේක කතා පොතක්නේ... නියමයි තව ලියන්න

LazyOwl said...

"මගේ කතාව මෙතැනින් අවසානයි..අසා සිටි ඔබ සැමට ස්තූතියි". LOL.ඒක තමයි, නියම කෑල්ල.

මතක් වෙන්නෙ, කොන්ඩ කරල් දෙකට ගොතපු, පුංචි ගෑණු ලමයෙක්, පංතිය ඉස්සරහා කතාවක් පවත්වල අන්තිමට කියන එක. පුරුදු පරිදිම, නියම කතාව.අපි වෑඩිය ප්රීතිචාර නොදෑක්කුවට, මෙවා ඔක්කොම කියවනවා. දිගටම ලියන්න.

දෑන් පුලුන් වගේ සුදු රෑව්ල දිග, සීයලා කතා කියන්නෙ නෑහෑ. මී මෑස්සියො, කතන්දර දන්නවා කියල දෑනගෙන හිටියෙ නෑහෑ.

LazyOwl said...

අනේ, ඉතිං මමත් දන්න විදිහට දගලලා සිංහලෙන් කොටලා දාන්න හෑදුවා ප්‍රතිචාරයක්. දුන්නෙ නෑතෑ word verification එකක්! Grrrr......

I use Firefox, don't like Micro$oft.In Firefox some plug-ins are disable by default, like the one for word verification. Besides, I don't think anybody want to insult a poor little bee like you. So, consider another option for that "word verification", pls.

නෑත්නම් ඔයාට, එක දිගටම කිඹුහුන් යාවි. අපට දොස් කියන්න එපා.

TMG said...

so nice to hear that teachers are supporting to a school love affair which is so rare.usually they burn everything and disrupt:)

akkandi said...

I was just kidding,LazyOwl...I like all the comments and thanks every one.They are my energy drinks...meepani wage

Chrishi said...

"වෙන්න තියෙන දේ කොහොමත් වළක්වන්න බැහැ පුතේ. ඔයා දිනනවා කියල මම දැනගෙන හිටියා" කියල කිව්ව. මට දුකත් හිතුන අප්පච්චි ගැන.

thts the best part of the story !
Weldone akkandi keep it up !!

කතන්දර කාරයා said...

නහි වේරේන වේරානී - මේ වෛරය තාත්තා ගැන නේද? මල්ලි කරපු වරදක් නෑනේ. අසරණයා හිතලාම විභාගෙ ෆේල් උනේ කොළඹ එන්න වෙන හින්ද වෙන්න ඇති.

කතන්දර කාරයා

akkandi said...

කතන්දර කාරයෝ, අනේ අප්පච්චි ගැන අහිතක් ඇතිවුණා නං තමයි. ඒත් වෛරයක් ඇති වුණේ නැහැ. .මල්ලි එක්ක තමයි මල පැන්නෙ...එයානේ මූලික හේතුව..

අදහස් දක්වපු ඔක්කොමන්ලාට ස්තුතියි... මේ...කාරණාවක් කියන්නද...මට දවස් දෙකකට විතර යන්න වෙලා තියෙනවා පොඩි පහේ රාජකාරි වැඩකට....

ආපහු එන්නංකො මම කතන්දර පෙට්ටියට අලුත් කතන්දරත් තව පුරෝගෙන ගෙන..

අනේ..මට දුකයි ඔගොල්ලන්ව දාලා යන්න..බායි....!

malee_msg said...

දාන්න අක්කණ්ඩිය 5 ට 10ක් ම...!!!! 10 දාන්න කිව්වේ ඔයාගේ චින්තන ‍ක්‍රමේට...!!! බ්ලොග් අවකාශයේ අවම මට්ටමේ කාන්තා ‍නියෝජනයෙන් එක්කෙනෙක් වෙන මට ඔයා වගේ කෙනෙක් දැන ගන්න ලැබුනු එකත් මාරම ෆිට් එකක්..!!!

මට නම් ඉතිං පිරිමි වත් ගෑණුවත් සහොදර සහෝදරියෝ නැහැ නේ.. ඉතිං ඔය වගේ අවුල් නැහැ.

nidhahasa said...

හරිම අපූරුයි. ඔයා ගේ කතන්දර විලාසයට අත් වැලක් විදිහට පොඩ්ඩක් සුනේත්‍රාව (සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගෙ පොත්) ඇසුරු කරල බලන්නකො. මේක කියවගෙන යනකොට සුනේත්‍රාව මතක් වුනා. ඉක්මනට නැවත ලියන්න

සු෴ said...

මම නම් කියන්නෙ සුනේත්‍රාගෙන් පූර්වාදර්ශ ගන්න එපා කියලයි. ඒක වෙනස්. මෙික වෙනස්.. මෙිවා කියවද්දි 60-70 දශකවල ආදර කතා මතක් වෙනවා..කරුණාසේන ජයලතුන්ගේ හෙම වගේ..ඒ ආදර කතා හරිම වෙනස්.. අනික ඔයා පරිසර වර්ණනා ලියන හැටිනම් හරිම අලංකාරයි.. නිරායාසයි.. වෑයමෙන් ලියන ඒවාට වඩා අව්‍යාජයි.. ලියන කොට ඒවාත් ටික ටික එකතු කරන්න. ෆුල් රැඩිකල්ම වෙන්න ඕන නැ..ඒවා කියවනකොට ගිලිහිලා ගිය යමක් දැනෙනවා වගෙයි දැනෙන්නෙ...
ලස්සනයි. කියවන්න ආස හිතෙනවා. අද තමයි ඔක්කොම කියෙව්වෙ.
දිගටම ලියන්න අපි වගේ නැතුව :)

රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi) said...

කතන්දර ලස්සනයි... අක්කණ්ඩි කතන්දර කිව්වට මට හිතෙන්නෙ මීමැස්සියෙක් තමන් එකතු කරපු රස ම රස මී පැණි කාටත් ටිකෙන් ටික බෙදනව කියල යි. :D

LazyOwl said...

මෙන්න නියම පොතක්, මීමෑස්සිට බොලොග් කෙරුවාව ඉගෙන ගන්න. ආලවට්ටන් නෑතුව, කෙලින්ම දීල තියනවා.
අපිට කතන්දර කියනවට, කලගුණ සලකන්න එපෑයෑ.

Level - beginners/Intermediate
about - Blogger setup/ customization
basic HTML/CSS

Link: http://www.bloggerbuster.com/2008/08/blogger-template-book-free-ebook-to.html

Long live the Queen !
මේ වගට,
යටහත් පහත්ව සෑලකර සිටින්නේ,
ටිකක් ඈත කෑලේක,හිතවත් බකමූණෙක්

akkandi said...

'ගිය ගමනත් නොගිය ලෙසට ඕන්න මම ආවා' කිව්ව වගෙ අර ඉස්සර ජනකතාවක මමත් ඔන්න ඉක්මනටම ආවාය. ඕගොල්ලෝ නැතුව මට ලොකු කාන්සාවක් සමග සාන්කාවක් දැනුණාය.

ඉතින්...ඉතින්...අදහස් කියවල පපුව පැලෙන්න තරම් සන්තෝසයි...මූණිච්චාවට කියනව නං නෙවෙයි, සහතික ඇත්ත.
ඔක්කොමලාගෙ අදහස් හිස මුදුනින් පිළිගන්නා අතර කරකවලා අත ඇරිය මගෙ ඔලුව කේන්ද්‍ර ගත කර ගත යුතුය.
මම බ්ලොග්කරණයත් චුට්ටක් හදාරන්නම්. බකමූණු පැටියටත් ස්තූතියි. ඔක්කොමලට ස්තුතියි.

Supun Sudaraka said...

මේක මරු ලියවිල්ලක් අක්කණ්ඩි, නරකද නවකතාවක් දෙකක් ලියලා කරළියට ආවොත්? :)

chamila_dealwis said...

හිතට අල්ලලම ගිය කතාවද මන්ද.
මට දැනෙන දේ කිව්වොත් අනිත් අයගෙන කොපි කලා කියයි.

Post a Comment