Tuesday, August 25, 2009

රන්මුතු දූව

Tuesday, August 25, 2009
ගෙම්බො + සබන් කතාවට ගොඩක් අය කැමතියි කියල මට ප්‍රතිචාර ලැබුණ...ඔය සබන් කතාවෙ ලස්සනම කෑල්ල තමයි..හැම ඉස්කෝලෙකම පිරිමි ළමයි මට මලිති වෙනුවට සබන් කියල කියන්න පටන් ගත්තා..මාව දකින කොට 'ස් ස් ස් ස් 'කියල පටන් ගෙන 'සබාආආඅන්න්න්...'කියනවා..මම ගනන් ගන්නැතුව යනව..මගෙ යාලුවො තමයි කොල්ලො එක්ක වලි..මට මොකෝ..
හා..ඉතින් ඕගොල්ලන්ගෙ සිත් ගන්නා සුළු ප්‍රතිචාර හිරු කිරන වලට ඔන්න සිත් පඳුරේ පිපුනෙ නැතෑ පින්න මල් පොකුරක්ම. පිපිච්ච පින්න මල් සුවඳත් හිතේ පුරවගෙන මම යට ගිය දවස පුරවරයට පිවිසෙන්න කියලා සරුංගල් වාහනේටම නැගල ගමනාරම්භ කළා විතරයි.....මට ඇහෙන්න ගත්ත ලස්සන ගීතයක්....හැබැයි පැරැණි ගීතයක්..  
'මොකද්ද දන්නවද ඒ සින්දුව?' කියල ඕගොල්ලන්ගෙන් ඇහුවට ඕගොල්ලො ඉතින් කියන්න දන්න එකක්යැ..'පුංචි පහේ මං' සෙල්ලම කර කර ඉන්න බැහැ මෙතන...අපි හැමෝටම වැඩ තියෙන නිසා ප්‍රඩක්ටිව් වැඩක් කරමු..නේද?  
'ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්...ඔරුවට ගොඩවී මා එනවා..' අපේ ප්‍රේම පුරාණයෙ ඔය ගීතයට ලොකු තැනක් තියෙනවා. හේතු කාරණා කිහිපයකුත් තියෙනව.. මතකයිනෙ මම කිව්ව ඉන්ද්‍ර හිටියෙ අපෙ ලොකු අම්මිගෙ ගෙදර කියලා...මේ ලොකු අම්මිගෙ පුතා හිටියෙ එතකොට ඔස්ට්‍රේලියාවෙ..ඔන්න නිවාඩුවකට මේ අයිය ලංකාවට ඇවිල්ල. එයාට අපි කියන්නෙ ලොකයියා කියලා. ඉතින් ලොකයියා ගෙදර ආවම අපිව බලන්නත් එන එක එනවමයි.ඔන්න ලොකයියා අපේ ගෙදර ඇවිල්ල, අම්මටයි අත්තම්මටයි වැඳල එහෙ විස්තර කියනවා...ගම් පලාතක වගේ රෝහලක තමයි වැඩ කරන්නෙ...ගොවිජනතාව තමයි ඒ කවුන්ටියෙ ඉන්නෙ...  
අපෙ අත්තම්ම එතකොට ලොකයියගෙන් අහුව.." ඈ බං ලොකු පුතේ...සුද්දොත් අපේ ගොයියො වගෙ අමුඩ ගහ ගෙන මඩේ බහිනවයැ.."
ලොකය්යට හිනා... "එහෙ හදන්නෙ තිරිඟු, ඉරිඟු වගෙ දේවල් අත්තම්මෙ...වී ගොවිතැන් නෙවේ"  
එදා අපෙ අප්පච්චි ගෙදර නැහැ, කන්තෝරු ගිහින්.. අපිට නිවාඩු කාලෙ.. "සුදු පුන්චි, අපි රන්මුතු දූව බලන්න යනවා..ලොක්කිවත් එක්ක යන්නං?" ලොකයිය අම්මගෙන් ඇහුවා...මාර චාන්ස් එකක් නෙ ...මට හිතුන...
"වෙන කවුද යන්නෙ ලොකයියෙ"  
"අක්කිල දෙන්නයි, මමයි, ඉන්ද්‍ර මල්ලියි..." 
ලොකයියා තවම අපේ ගැන දන්නෙ නැහැ...ලොකු අම්මි සැක කරන්නෙත් නැහැ..ඔන්න ඉතින් මගෙ සිත් බැද්ද පුරා සුදු රෙද්ද වගෙ ඉද්ද සමන් මල් පිපෙන්න ගත්තා... 
"ලොක්කියො..ඔයා එහෙනං ඇඳගෙන ඉන්න මම අනික් කාන්ඩෙත් එක්කර ගෙන එන්නම්.."
මම වැඩිය සතුට පෙන්නුවෙ නැහැ..බයයි අම්ම එපාකියයිද කියලා. හවස තුනයි තිහේ ෂෝ එකට තමයි දැන් මේ අපි යන්න හදන්නෙ.. ලා නිල් පාට රැලි ගවුමක් ඇඳ ගෙන මම අම්ම ලඟට ගියා කොන්ඩෙ පීරගන්න...මගෙ කොණ්ඩෙ දණහිසටත් පහලට වැටෙන්න දිගයි ඒකාලෙ..  
"කටේ පණ්ඩිතකම තිබ්බට තාම තනියම කොණ්ඩෙ ගොතාගන්න බැහැ..එන්න..එන්න..මෙහාට"  
අම්මා මගෙ කොණ්ඩෙ ගැට කඩල කරල් දෙකක් වෙන්න ගොතල..ගවුමට මැච් වෙන්න නිල් පාට පීත්ත පටි දෙකකින් ගැට ගැහුව... 
'මේ...එතකොට මොකද්ද අර ස්වර්ණ විමානෙ සින්දුවට තියන සමබන්ධෙ...'  
මේ..කරුණාකරල හුදී පාඨක ජනතාව ඉවසීමෙන් ඉන්නවද? පනින්නැතුව ඉන්න අනේ....මගෙ කතන්දර වල මුල මැද අග සම්බන්ධයක් තියෙන එළ කතා...
ඔන්න කට්ටිය එනවා..ගල් පඩි පේලිය නැග ගෙන..මම ඉක්මනට අපෙ ගෙදර නැවතිල හිටිය නර්ස් අක්කලගෙ කාමරෙට ගිහින් වූඩු සුවඳ විලවුන් ටිකක් හොරෙන් ගා ගෙන ආවා. 
"අදත් අර ලමයගෙ සෙන්ට් ගෑව නෙ..මෙයාට නං..."
'අනේ අම්මෙ අද විතරයි...එහෙනම් අප්පච්චිට කියලා එකක් ගෙනත් දෙන්න කො'...
" ඔව්...දැන් උඹට එච්චර තමයි අඩු" අම්ම මට එහෙම කියල අනික් කට්ටියව ආදරෙන් පිළිගන්නවා.
"පුංචියො..පරක්කු වුණා..අපි එහෙ නම් යන්නම්.." අපි පයින්ම පිටත් වුණා, සිනමා ශාලාවට..හැමෝටම හොරෙන් දෙන්නෙක් නෙත් වලින් කතා කරනව..ටිකට් ගන්න අනන් මනන් අපිට නැහැ නෙ..ඔන්න ගිහින් ඉන්ද ගත්තා..ශාලාව කලුවර වුනා... 'ගලන ගඟකි ජීවිතේ' සින්දුව තිරයෙ පතිත වෙන කොට..මට හිතෙන්නෙ මම ජීවරානි..ඉන්ද්‍ර.... ගාමිනී ෆොන්සේකා කියලා...එයාටත් එහෙම හිතුනද කියලා නං මට අහන්න බැරිවුණ... 'ස්වර්ණ විමානෙට' සින්දුව චිත්‍රපටියෙ දැක්කට පස්සෙ මට පුදුම ආසාවක් ඇතිවුණා.. ඉන්ටර්වල් එකේදිත් අපි සින්දු ලස්සනයි කියලා කතා වුණා..දැන් වගේ එතකොට පොප් කෝන් නැහැ ...ඉන්ද්‍ර ගිහින් ඩෙල්ටා ටොෆියි, කඩලයි ගෙනාවා..ලොකයියා සල්ලි දුන්න..  


අපි කඩල කකා හිනා වෙවී ඉන්න කොට මෙන්න බොලේ පොඩි මාමත් එක්ක අපෙ අම්ම එක පාරටම කඩන් වැටුණා. " මොකද පුන්චම්මෙ, කරදරයක්ද? චන්ද්‍රක්කා බය වෙලා.." "නෑ..දන්නැද්ද දුව, බාප්පොච්චිට තරහ ගිහින් ..ලොක්කි එක්කන් ආවට...මම එයාව ගෙදර එක්ක යන්න ආවෙ"
'අනේ...අපරාදේ.." හැමෝටම කිය වුණා...  
මම ගෙදර ආවෙ මගෙ හිත ඉන්ද්‍ර ලඟ නතර කරලා..එයාගෙ හිත මම අරගෙන ආවා.. අප්පච්චි ඉන්නෙ ඔය පුපුර පුපුරා...අම්මෝ..ඇස් දෙක ගින්දර වගෙ..මෝඩ කමට මට එවෙලාවෙත් මතක් වෙන්නෙ කවි ..........
'සුරත් තඹුරු පෙති දෙනෙතින් 
නටත් අයෙක් සුරා මතින්'  
අප්පච්චිත් ෂොට් එකක් දාලද දන්නෙ නැහැ...ඔව්.. ඉඳ හිටල පොඩි ෂොට් එකක් දාගෙන එනව ගෙදර.
" හා...ලොකු බේබි...බයස්කෝප් බලන්න ගියා...?මම මේ එන ටිකට කී දෙනෙක් කිව්වද කොල්ලො දෙන්නෙක් එක්ක ලොකු බේබි ගියා කියල..මට පාරෙ බැහැල යන්න ඉඩ තියන්න එපා උඹ.." 
අම්මේ...!!!!!!!ෂොට් එකක් නෙවේ..ටක්කෙටම ෂොට් කීපයක්ම දාලා... 

" අනේ..කෑ ගහන්න එපා...අක්කගෙ දුවල දෙන්නත් ගිය හින්දයි මම ලොක්කිව ඇරියෙ..කෑ නොගහ ඉන්න.."
" හාමිනේ තමයි මට මේ කෙල්ලව හදාගන්න දෙන්නැත්තෙ..මේකිට දෙන්න ඕනි හොඳවායින් දෙකක්" 

අප්පච්චි එහෙම කියාගෙන නැගිටින කොටත් මම පැනල ගිහින් අත්තම්මගෙ කාමරේ....
'රන් මුතු දූව' මට ඉවරවෙනකල් බලා ගන්න බැරිවුණා. ඒත් සින්දු ටික නම් හොඳටම පාඩම් වුණා. ඉස්කෝලෙ හැම සමිතියකටම ඒ දවස් වල මම කියන්නෙ ඒ සින්දුව..විද්‍යා සංගමෙත් අපි සින්දු කියනවා..  
මේ කතන්දරේ ප්‍රේම කරන්න වෙලාවක් හම්බ වුනේම නැහැ අපට...
ලොකයියයි, අක්කලයි ඉන්දෙද්දි මොන ලව්ද?
ඇස්වලින්, හිනා වලින් කතා කරපු එක විතරමයි..කිසි ගතියක් නැහැ..නේද ඒයි?

6 ක් අදහස් දක්වලා.:

Gayan Balasooriya said...

අය්යෝ අපරාදෙ. මම හෝල් එකට ගිහින් බලල තියෙන්නෙ 1 සිංහල චිත්‍රපටියයි. අවරගිර

EXPRESS[දිලංක මාධව] said...

නියම අත්දැකීම්නේ තියෙන්නේ.මම ඊයේ ඇවිත් ඉබ්බො කතාව කියෙව්ව.නියමයි වැඩ ටික.හැබැයි මට මේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකනම් ඇල්ලුවේ නෑ.පොඩි යෝජනාවක් කරනව ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න කියල.අනිත් එක තමයි නරකද තිරය පිටුපස ඉන්න කතා නායිකාවගේ ෆොටෝ එකක් එහෙම දාලා පොඩි විස්තරයක් දැම්මනම්?
බ්ලොග් එක හොඳට කරන්න.මගේ සුභපැතුම්!

TMG said...

අදවගේ SMS ,ඊමේල්, නැති කාලෙක දුරින් ඉන්දන් කරන ආදරේ හරි රොමැන්ටික්..පිරිවරක් මැද කාටවත්ම නොදැනෙන්න නෙත් කොනින් කතාකරන එකත් හරි මරු... ඒත් ආදරෙයි කැස්සයි හන්ගන්න බැහැනෙ.. ලස්සනට ලියලා තියෙනවා හිතේ තියෙන තිගැස්ම

Supun Budhajeewa said...

අපරාදෙ චාන්සෙක !
ඔය කොයි කාලෙ කතාද දැං මේ ලියන්නෙ ? එකදාස් නවසිය බර ගනං වල එව්වද ?

malee_msg said...

හික් හික් අනේ පව්..!!!! මොනා කරන්නද දුක තමා නේ... ඒ උනාට ඔය සිංදුව නම් හරිම ලස්සනයි.. දැන් කාලේ ඉතිං ඔහොම පවුලේ කට්ටි පිටින් ගිහිං ෆිල්ම් බලනවා අඩුයිනේ.. ! දිගටම ලියන්න අක්කන්ඩියේ..

akkandi said...

ප්‍රතිචාර වලට තැන්ක් යූ වේවා, ඔබ සැමට. මට ඔය පරිඝණක තාක්ෂණයට ටිකක් හොරයි...තවම අඳුරේ අතපත ගානවා. බ්ලොග් කරණය ගැන අත් හදා බලනවා. සමහර වෙලාවට බ්ලොග් එක ඇර ගන්නත් බැරිවුනා මුලදි.
දැන්නම් ටිකක් ගැජට් එහෙම දමන්න උත්සාහ කරනවා....ඒත් තවම බැරිවුනා ලස්සනට හිතේ හැටියට හදා ගන්න...

කවුරුහරි මට පැහැදිලිව ඉංග්‍රීසියෙන් හරි, සින්හලෙන් හරි කියල දෙනවද...ආ ඊය් මම අර වීඩියො උපදෙස් අහල මොකක් හරි කරන්නම් කියල හදන කොටම බොස් ඇවිත් වැඩ ගොඩක් දුන්න ඒ..බලමු..බලමු...හෙමිහිට යමුකො..වැරදි හදා ගන්නම්.

Post a Comment