Thursday, August 20, 2009

සාහිත්‍යය දිනය සහ වේවැල් කසාය

Thursday, August 20, 2009
ඔයගොල්ලො මගෙ කතන්දර ගැන කියන්නෙ මොනවද කියල අහන්නෙත් නැතුව මම දිගටම ලියනව..කියවන කවුරු හරි නැතැයි නේද?
අපි උසස් පෙල කරන කාලෙ වෙච්ච සිද්ධියක් මීලඟ කතාව.
සැප්තැම්බර් මාසෙ සාහිත්‍යය සතියට විද්‍යාල අතර සාහිත්‍යය තරඟ තිබුණා. කෙටි කතා, කවි, කථික, චිත්‍ර තරඟ....ඉන්ද්‍රට ලස්සණට චිත්‍ර අඳින්න පුලුවන්. ඒ අවුරුද්දෙ තරඟ වලට එයා චිත්‍ර ඉදිරිපත් කරලා පලවෙනි තැන දිනා ගෙන තිබුණා. අපේ විද්‍යාලෙත් එදා සාහිත්‍ය තරඟ...අපේ රසායන විද්‍යාව සර් එදා උදේ වරුවෙ හිටියෙ නැහැ....එදා ප්‍රායෝගික පීරියඩ් තුනක්ම තියෙන දවසෙ සර් ඇවිත් නැති නිසා මට නම් දුක හිතුනා, ඒ මම ආසම විෂය රසායන විද්‍යාව නිසා.
ඉන්ද්‍ර මගෙ ලඟට ඇවිත් ඇහුව චිත්‍ර ප්‍රදර්ශනය බලන්න යමුද කියල අපේ කට්ටියම එක්ක....
මමත් කිව්ව සර්ත් ඇවිල්ල නැති නිසා යමු කියල. ඉබ්බා දියට දාන්න අහනකොට ඇන්නෑවේ කියනවලු. ඉතින් අපේ පංතියෙ අපේ කණ්ඩායමෙ 8 දෙනාම ඔන්න අනික් විද්‍යලයට ගියා, සාහිත්‍යය ප්‍රදර්ශනය බලන්න.

ඉන්ද්‍ර මගෙ ළඟින්ම හිටිය, එයාගෙ චිත්‍ර ගැන මට හිතෙන දේවල් මම කිව්වා...මම හොඳම විතරක් කියන කොට එයා කිව්වා, අඩු පාඩු කියන්න කියල...මම හිතුවෙ මම දැකපු අඩුපාඩු කිව්වොත් එයාට හිත රිදේවි කියලා..මම මට හිතෙන හැටියට 'මෙතැන මෙහෙම වුණා නම් තවත් ලස්සණයි නේද' කියල මගෙ අදහස් කිව්ව...එයා ඒ අදහස් වලට හුඟක්ම කැමති වුණ. ජීවා අපි දෙන්න අතරට කඩා ගෙන පැන්නෙ එතකොට.
" උඹලට නං ඉතින් අද යන්න හිතෙන එකක් නැහැ. අන්න ලැබ් බෝයි ඇවිල්ල, අපිව හොයනවලු...මොකක් හරි බාල්දියක්ද දන්නෙ නැහැ.."
" මලිති..අපි එහෙනං යමු බලන්න. හරි..මචං ..මේ අපි එනව.."
ඉන්ද්‍ර ඉස්සර වුණා. මම අනික් ගැහැණු ලමයිනුත් එක්ක ආපහු අපේ ඉස්කෝලෙට යන්න එලියට ආවා.

රනසිංහ අන්කල් කිව්වෙ සර්ට හොඳටම තරහ ගිහින් කියලයි..සර්ටත් ප්‍රැක්ටිකල්ස් මග හරින්න බැරි නිසා අසනීප තියෙද්දිත් ඉන්ටර්වල් එකෙන් පස්සෙ ඉස්කෝලෙට ඇවිත්..අපි ඒව දන්නවායැ....?
ඉතින් අපි ඉක්මනට ඉක්මනට ඔන්න අපේ විද්‍යලෙට ආව. පංතියට ගිහින් පොත් අර ගෙන ලැබ් එකට ගියා. සර්ගෙ මූණ යකෙක්ගෙ වගෙ.
" කවුද තමුසෙලට ප්‍රදර්ශනය බලන්න යන්න කිව්වෙ"
" ප්‍රින්සිපල් කිව්වෙ සර්" මම පණ්ඩිත කමට කිව්ව..
" හා....මෙයයි එහෙනං නායකය...තමුසෙ ප්‍රිෆෙක්ට් කෙනෙක් නේද?"
" ඔව්..සර්...ඉතින් මම වැරැද්දක් කළාද?"
" කට....කට..."
" රනසිංහ...අර වේ වැල ගේන්න්න...."
" සේරමල එනව පේලියට..."
" මලිති....ඔක්කොටම වඩා යන්න ඕනි කම තිබුණෙ තමුසෙට නේද..?"
මම මොකුත්ම කීවෙ නැහැ...ආදරය වෙනුවෙන් කරන පළමු කැපවීම....පරිත්‍යාගය..සර් අහක බලා ගන්න කල් ඉඳල මම ඉන්ද්‍ර දිහා බැලුව. එයාගෙ මුහුණ පරවෙල බිමට නැමිලා. මම හිත තද කර ගත්තා. මං ඇස් දෙක වහ ගෙන දකුණු අත දික් කළා.
' චටාස්....චටාස්....චටාස්..."
සර් පුලුවන් තරම් හයියෙන් මගෙ අත්ලට වේවැල් පාර තුනක් එල්ල කල. සර් ගෙ මුහුන ගිනි ඇවිලෙනව...මට ගහන ගමන් සර් ඉන්ද්‍ර දිහාවෙත් බැලුව කියල මට ජීවා කිව්ව...අපි අට දෙනාටම එදා වෙවැල් කසාය.....මම ජීවිතේටම ඉස්කොලෙකදි දඬුවමක් වින්දෙ එදා.

මට පුදුම මගෙ ඇස්වලට කඳුලු ආවෙ නැති එකට . වෙනදට පුංචි දෙයටත් අඬන මගෙ කඳුලු එදා වේලිල...මාව අඬවන්න බැරිවුණු නිසාත් සර්ට තරහ ගියාලු...මම හිතන්නෙ ඉන්ද්‍රටත් සර් ගොඩක් සැරට ගැහුව කියල.
ඔයාල දන්නවද පස්සෙ අපි රණසිංහගෙන් දැන ගත්ත දෙවල්. සර් මා ගැන හිතේ තියා ගෙන හිටියලු...එදාලු දැන ගත්තෙ මමයි, ඉන්ද්‍රයි යාලුයි කියල. ඒකට තමයි එයාට හොඳටම කේන්ති ගියෙ. අනික් ගැහැණු ළමයි ඇඬුව, මම හැරෙන්න. මමයි ඉන්ද්‍රයි තව තවත් ළංවුණ...සර් ව අපිට එපා වුනා...හැබැයි අපට රසායන විද්‍යාව නම් එපා වුනේ නැහැ.

3 ක් අදහස් දක්වලා.:

Chrishi said...

සර් ව අපිට එපා වුනා...හැබැයි අපට රසායන විද්‍යාව නම් එපා වුනේ නැහැ.
එහෙනම් ලොකු දෙයක් !

akkandi said...

ඊලඟ කතන්දරේ කියවන්නකෝ..රසායන විද්‍යාවයි..සර්... එයා.... මම.... අපි ඔක්කොම ආයෙත් යාළු වෙලා ඉන්න හැටි බලන්න...
අදහස් වලට පිං.!

දුකා said...

වේවැල් පාරවල් වලින් ප්‍රේමයේ සැර බාල කරන්න පුලුවන්ද . . ඒවා කොහේද නේ. ?

Post a Comment