Friday, August 21, 2009

ආදරය කරන්නෙ විඳින්නද? විඳ වන්නද

Friday, August 21, 2009
මම හරිම ආසයි හුඟක් වෙලාවට තනියෙන් ඉන්න. එතකොට සිතුවිලි සරුංගලයක නැගල කාටවත්ම නොපෙනෙන අනන්තයකට ඉගිලෙන්න පුලුවන්... මම හීන දකිනව කියල ඉන්ද්‍ර මට දොස් කිව්වා. ඒත් ඒ හීන කොච්චර ලස්සනද කියල එයාට හිතා ගන්න බැරි එකට මං මක් කරන්නද? දේදුනු, සමනල්ලු, දිය ඇලි, වැව් තාවුලු විතරක් නෙවේ ඇහෙන් දකින්න බැරි ඒත් හිතෙන් විතරක් විඳින්න පුලුවන්...රුක් මල් සුවඳ, හඳුන් කූරු,කපුරු සුවඳ මම එහෙම තනියෙන් හීන දකින කොට මට දැනෙනව.
ඒ විතරක් නෙවෙයි...කුඹුරෙ සී සානකොට දැනෙන රොං මඩ වල සුවඳ වගෙම කුරුණි පෙට්ටියක දාල අම්ම අරං එන ඇඹුලෙ සුවඳ..! දැනුත් මම ඒ ගමේ සුවඳ විඳින්න ආසයි.
ගමෙන් දුරස් වුනාම හරිම හුදකලාවක් දැනෙනවා...ඒක වෙන කාටවත් තේරුම් කරන්න අමාරුයි. දන්නෙම නැතුව හිතෙන් ගමට යනවා. අපේ ගමේ පංසලේ පොත් ගුල මගෙ ආසම තැනක්...ධර්මාචාර්ය විභාගෙට ලියන කාලෙ හවස පන්ති වලට ගියා අපි පංසලට. ඉන්ද්‍රයි මමයි...... මල්ලි හරි බන්ඩා හරි තනියට එවනව මගෙ....මම අම්මට කිව්ව, ඉන්ද්‍රයියා ඉන්න නිසා වෙන කවුරුත් එවන්නෙ මොකටද කියලා. අම්මා ඒ පණිවිඩය අප්පච්චිට සන්නිවේදනය කළා. අවසර ලැබුන කියලද හිතන්නෙ....? ඔව් නෙ...! අවසර ලැබුණා...
අවසර ලැබුණ කියල මොන ඉටි ගෙඩියක් වත් කරන්නෙ නැහැ අපි...පහළ මළුවෙ ඉඳල අපි දෙන්නම පොත් ගුලට යනවා පුංචි තරප්පු පෙල නැගලා. පොත් හොයන අතරෙ එකේක කතා...
විෂයයන්ට අමතර පොතුත් මම ගන්නව හාමුදුරුවන්ගෙ විශේෂ අවසරය පිට..ථෙරි ගාථා මම කියෙව්වෙ ඒ විදියට..හැබැයි මම විනය පිඨකය ඉල්ලන කොට නම් ලොකු හාමුදුරුවො අවසර දුන්නෙ නැහැ. " ඒක ඔය ළමයින්ට කියවන්න හොඳ නැහැ, ඒකෙ තියෙන්නෙ භික්ෂු සංඝයාට පනවපු නීති සම්බන්ධයෙන්.."

අපි ලොකු හාමුදුරුවො එක්ක වාද කරන්න ගියෙ නැහැ....බුත්සරණ, අමාවතුර, කව් සිළුමිණ, පූජාවලිය,බුදුගුණාලංකාරය වගෙ පොත් කියවනකොට මගෙ යාලුවො මට හිනා වුණා. " මෙයාට නම් පිස්සු...මහණ වෙන්නද දන්නෙ නැහැ මේ තරම් පරණ පොත් කියවන්නෙ කියලා. සංදේශ කවි පොතුත් ගොඩාරියක් හොයාගෙන කියෙව්වා. ඉන්ද්‍ර හිනාවුනෙත් නැහැ. මොකුත් කිව්වෙත් නැහැ...ඒකත් ලොකු දෙයක් නෙ...

ඔන්න ඔය අස්සෙ මතක් වෙනව සමරු පොත් කතාවක්. මතකයි නෙ ඔටොග්‍රාෆ්...පාට පාට පිටු.. මගෙ සමරු පොතේ තිබුණු කවි ගොඩයි..
" සඳෙන් සොමි බර පැහැය අර ගෙන වළාකුළකින් සුමුදු බව ගෙන ඔබේ රුව මැව් බඹා නම දිමි ඔහුගෙ පා යුග හිසට අර ගෙන" ඉන්ද්‍රට හොඳටම කේන්ති ගියා මේ කවියට...දෙයියනේ..! මම මක් කරන්නද?
ඒක දැක්කට පස්සෙ ඔක්කොම කිය වන්න ගත්තා. " හා...මේ තියෙන්නෙ මට හොරෙන් කරන වැඩ....ඉන්නෙ නං දහයට ගනින්න බැහැ වගෙ...කියන්නං ....මම හින්නි මාමට. ඔන්න තව එකෙක් ලියල..."
"නඳුන් උයනෙන් හිමව් අරණෙන් මන්ද මාරුත හමා ඒවා
සඳුන් කස්තුරි අගිල් සුවඳින් ඔබේ ජීවිතෙ සුවඳ වේවා"
"මේ තියෙන්නෙ..මේ තියෙන්නෙ.මොකටද කොල්ලන්ට ඔටොග්‍රාෆ් එක දුන්නෙ? මගෙන් අහන්න තිබුන නේද?" ඉන්ද්‍ර පරල වෙලා.
" මම ගර්ල්ස්ලට දුන්නෙ.ඒ ගොල්ලන්ගෙන් ඉල්ල ගෙන ලියන්න ඇති" මම නිදහසට කරුණු කියනව. අනේ!..ඇයි ප්‍රේමය නිසා මේ තරම් විඳවන්න වෙන්නෙ? ආදරය කරන්නෙ විඳින්නද? විඳ වන්නද? ඇස්වල පිරෙන කඳුලු කැට ලේන්සුවට උරා ගත්තා....මම පුස්තකාලෙට එහායින් තියෙන සික් රූම් එකට ගියා හිතේ හැටියට අඬන්න.

4 ක් අදහස් දක්වලා.:

nidhahasa said...

හරි අපූරුයි. බොහොම නිදහස් රටාවක්, අව්‍යාාජ බව රැඳිලා තියෙනවා. දිගටම ලියන්න සුබ පැතුම්

ධනික | Dhanika said...

ආදරේ නම් තියෙන්නෙ විඳින්න.. ඒත් ඔය ආදරේ ගොඩාක් වැඩි උනාම ඒක ආදරයකටත් වඩා ආත්මාර්ථකාමීත්වයක් වෙනවානෙ... අන්න එතකොට තමයි වීඳවන්න වෙන්නෙ...

අක්කණ්ඩි said...

අදහස් දැක්වීම ගැන මගේ කෘතඥතාවය!

chamila_dealwis said...

මාව කුරුසෙ තියලා ඇණ ගහයි. හැබැයි මම හිතන්නෙ ආත්මාර්ථකාමීත්වය නැතුව ආදරේ කරන්න බෑ කියලා.

Post a Comment