Monday, August 31, 2009

' මිඩ් සමර් නයිට්ස් ඩ්‍රීම්'

Monday, August 31, 2009
ෂේක්ස්පියර් ගම්මානයෙ හැම තැනක්ම , මාවතක්ම හරිම දැකුම් කළුයි. සුන්දරයි. ගස් සෙවනකට වෙලා වාඩිවෙලා පරිසරය ආස්වාදනය කරන්න හිතුණත් සංචාරක සහායකය අපේ හිතු මතයට වැඩ කරන්න දෙන්නෙ නැහැ. ඒකත් හොඳයි එක අතකින්, නැත්නම් කට්ටියව 'පබ්' වලින් ගලව ගන්න බැරි වෙනව. අපිව දවල් කෑමට කැඳවගෙන ගියෙ අපේ මහා සාහිත්‍ය කරුව හවසට මද පමණට සුරා විතක් තොල ගාපු තැනට...ඒත් පිදුරු සෙවිල්ලපු ගොඩනැගිල්ලක්. හරිම සිත් ගන්නා සුළු පෙනුමක් බාහිරිනුත්, අභ්‍යන්තරයයෙනුත් දකින්න පුළුවන්. අපේ රටේ ඉංග්‍රීසි පාලන සමයෙදි හදල තියෙන ගොඩනැගිලි මට සිහි වුණා. ඒ වාස්තු විද්‍යා කලාව හරිම අපූරුවට සංරක්ෂණය කරල තියෙනව. පරණ 'පබ්' එක දැන් බොදුන් හලක් බවට පත් කරලා. ඇතුළත අලංකරණයන් හරිම සරල, ඒ වගෙම කෑම රුචිය වඩවන විදිහට තමයි ගැලපෙන වර්ණ සංයෝජන කරල නිර්මාණය කරලා තිබුණෙ. 
කෑම වුණත් තිබුණෙ ඒ කාලෙ කෑම....පරණ කෑම නෙවෙයි...අතීතයෙ තිබුණ ආකාරයට කෑම පිළියෙල කරල අනුස්මරණ සතිය නිසා.
පොඩි කරපු තම්බපු අල මතට දුඹුරු පාට සෝස් එක්ක ගෙදර හදපු සොසේජස් පිළිවෙලකට අතුරල...අළුත් එළවළු සලාදයක්....මුලින්ම අල පෙනෙන්නෙ නැහැ, ගෑරුප්පුව ගැහුවම තමයි දුඹුරු පාට හොද්ද යටින් සුදු පාටට අල මතු වෙන්නෙ. මම ගෑරුප්පුවයි පිහියයි එක්ක ලස්සන රටා මවන්න උත්සාහ කළා. කුමුදු කියනව මට," මේ, ඔතනත් කවි ලියන්නැතුව ඉක්මණට කෑවොත් හොඳයි" කියල. ඔය කොහේ හරි ගියාම කුමුදුට වෙන අකරතැබ්බ්යක් දන්නවද? කෑම වට්ටෝරුව බලලා ඇණවුම් කරන දේ ගෙනාවම කටේ තියන්න බැහැ...ඊට පස්සෙ මගෙයි , රුවිනිගෙයි පිඟන් වලට එබි එබී ඉන්නව. අපි දෙන්නම එයාට භාගෙ භාගෙ දෙනව. අපේ ගමන් සගයා නෙ. 
ඉතින් කෑමෙන් පස්සෙ රඟ හළට සංචාරක බස් රිය යොමු වුණා. ඒ වෙලාවෙ නාට්‍යයක් රඟ දැක්වෙන නිසා හෙමිහිට යන්න කියල අපට උපදෙස් ලැබුණ. අනික් සේරම නාට්‍ය ඇඳුම් තියෙන කෞතුකාගාරයට ගියත් මට හිතුණෙම නාට්‍යයෙ සුළු කොටසක් හරි බලා ගන්න. මම ඒ බව මගෙ ගමන් සගයො දෙන්නට කිව්ව. දෙන්නම කිසිම විරෝධයක් පෑවෙ නැහැ.
එදා පෙන්වපු නාට්‍යය ' මිඩ් සමර් නයිට්ස් ඩ්‍රීම්' අහල ඇතිනේ? ලංකාවෙත් ඒක නිෂ්පාදනය වුණා නේද..කලකට ඉහත? ශාලාවෙ පහල මාලයට ඇතුළුවෙන්නෙ නැතුව මම පිය ගැට පෙළ දිගේ උඩට දිව්වා, පිය ගැට පෙල දිගට බුමුතුරුණු අතුරල තිබුණ නිසා පියවර හඬින් බාධා වුණෙ නැහැ, කිසිම ප්‍රේක්ෂකයෙකුට.
ඔන්න නාට්‍ය නරඹන බැල්කනියට තමයි අපි ඇතුළු වුණෙ. බැල්කනියෙ කොටස් තුනක් තිබුණ, මැද කොටසෙ තමයි ප්‍රෙක්ෂකයො හිටියෙ. දෙපැත්තෙ බැල්කනි දෙක සරසල තියෙන ආකරයට මට හිතුණ එකත් එකටම මේ කොටස් නාට්‍යයෙ රංග භූමිය සඳහා භාවිතා කරනව ඇති කියල. අපි දැන් ඉන්නෙ වේදිකාවට ඉදිරියෙන් වම් පත්තෙ බැල්කනියෙ. මම දණ ගහ ගත්තා. කුමුදු හිටගෙනම හිටියා, එය ඒ මදිවට අපි හැලොවින් දවසෙ ගත්තු තොප්පියකුත් දමාගෙන. මම දෙන්නටම කිව්ව අපි මැද කොටසට යමු, මෙතනට දැන් නළු නිළියො ඒවි කියල. ඒ දෙන්න මට හිනාවුණා. "මේ නාට්‍ය තුන හතරක රඟ පෑවා කියල ඔයා සමස්ත නාට්‍ය කලාවම ප්‍රගුණ කරල තියනව කියලද අපිට කියන්නෙ?" කියන දේ අහන්නෙම නැහැ.
ඔන්න එතකොටම අපි හිටිය කොටසට ආලෝක දහරාවන් ටිකෙන් ටික එල්ල වෙන්න ගත්ත. මම දැනගත්ත දැන්නම් රංග ශිල්පියෙක් මෙතනට එයිම කියල. අර දෙන්න පන්ඩිත කමට ඉන්නව හිට ගෙනම. ලොකු කලබැගෑනියක් වේදිකාවෙ..එහි හිටි එක් නළුවෙක් අපි හිටපු කොටසට අත දිගු කරල දෙබසක් කිව්ව. එතකොටම නළුවෙක් පිය ගැට පෙල දිගේ දුවගෙන ඇවිත් අපි හිටපු තැනට ඇවිත් හිට ගත්ත. මම අර දෙන්නගෙ කකුල් දෙකින් ඇද්දා. හොඳටම් ලයිට් අප් වෙන කොටත් මගෙ යාලුවො දෙන්න සීන් එකෙ. අර නළුව එයාගෙ දෑතින්ම අපේ නළුවවයි නිළියවයි දෙපැත්තට තල්ලු කරල දෙබස් කියන්න ගත්තා. ඒක දැකපු ප්‍රේක්ෂකාගාරයෙ කට්ටිය සද්ද කරයි කියල මට හිතුනත් ඒ අයට එතරම් ඒක දැනිල නැහැ. 
සිද්ධිය තාත්ත්විකවම ගලා ගියා, නාට්‍යයට බධාවක් නොවීම. අපි තුන් දෙනාම එලියට ඇවිල්ල බඩවල් අල්ල ගෙන හිනා වුණා.
කුමුදුට මේක මදෑ, පුරාජේරු කියන්න.
"ඔන්න අපේ වැඩ..අපි ෂේක්ස්පියර් නාට්‍යයකත් රඟ පාලයි පස්ස බැලුවෙ....ඔයාගෙ රංගන ලංකාවට විතරයි..ගිය තැනක රටේ නම තියන්න ඕනි මලිති, මම වගේ" 
ඊට පස්සෙ ඒ පැත්ත පළාතෙ ඉන්නෙ නැතුව අපි තුන් දෙනත් එක්ක පොත් පත් තිබුණ පැත්තට පුළුවන් තරම් වේගයෙන් ගමන් කළා. පොත බලන අස්සෙත් අපිට හිනාව නම් නතර කර ගන්න පුළුවන් වුනේ නැහැ.
මට නම් තවමත් මතක් වෙන කොට හරියට හිනා යනව. කුමුදු දැන් කොයි ලෝකෙක ඉන්නවද මන්දා. මේ කතන්දරේ වැරදිලා හරි දැක්කොත් මට ඔයාගෙ අදහස් දක්වල එවන්න, කුමුදු.

1 ක් අදහස් දක්වලා.:

විකටය said...

ලෝකය යනු රඟ මඩලක්ය - ශේක්ස්පියර්
ලෝකය යනු බෝලයක්ය - පයිතගරස්
ලෝකය යනු ටොපියක්ය - my සොඳුරිය

Post a Comment