Monday, August 31, 2009

' මිඩ් සමර් නයිට්ස් ඩ්‍රීම්'

Monday, August 31, 2009
ෂේක්ස්පියර් ගම්මානයෙ හැම තැනක්ම , මාවතක්ම හරිම දැකුම් කළුයි. සුන්දරයි. ගස් සෙවනකට වෙලා වාඩිවෙලා පරිසරය ආස්වාදනය කරන්න හිතුණත් සංචාරක සහායකය අපේ හිතු මතයට වැඩ කරන්න දෙන්නෙ නැහැ. ඒකත් හොඳයි එක අතකින්, නැත්නම් කට්ටියව 'පබ්' වලින් ගලව ගන්න බැරි වෙනව. අපිව දවල් කෑමට කැඳවගෙන ගියෙ අපේ මහා සාහිත්‍ය කරුව හවසට මද පමණට සුරා විතක් තොල ගාපු තැනට...ඒත් පිදුරු සෙවිල්ලපු ගොඩනැගිල්ලක්. හරිම සිත් ගන්නා සුළු පෙනුමක් බාහිරිනුත්, අභ්‍යන්තරයයෙනුත් දකින්න පුළුවන්. අපේ රටේ ඉංග්‍රීසි පාලන සමයෙදි හදල තියෙන ගොඩනැගිලි මට සිහි වුණා. ඒ වාස්තු විද්‍යා කලාව හරිම අපූරුවට සංරක්ෂණය කරල තියෙනව. පරණ 'පබ්' එක දැන් බොදුන් හලක් බවට පත් කරලා. ඇතුළත අලංකරණයන් හරිම සරල, ඒ වගෙම කෑම රුචිය වඩවන විදිහට තමයි ගැලපෙන වර්ණ සංයෝජන කරල නිර්මාණය කරලා තිබුණෙ. 
කෑම වුණත් තිබුණෙ ඒ කාලෙ කෑම....පරණ කෑම නෙවෙයි...අතීතයෙ තිබුණ ආකාරයට කෑම පිළියෙල කරල අනුස්මරණ සතිය නිසා.
පොඩි කරපු තම්බපු අල මතට දුඹුරු පාට සෝස් එක්ක ගෙදර හදපු සොසේජස් පිළිවෙලකට අතුරල...අළුත් එළවළු සලාදයක්....මුලින්ම අල පෙනෙන්නෙ නැහැ, ගෑරුප්පුව ගැහුවම තමයි දුඹුරු පාට හොද්ද යටින් සුදු පාටට අල මතු වෙන්නෙ. මම ගෑරුප්පුවයි පිහියයි එක්ක ලස්සන රටා මවන්න උත්සාහ කළා. කුමුදු කියනව මට," මේ, ඔතනත් කවි ලියන්නැතුව ඉක්මණට කෑවොත් හොඳයි" කියල. ඔය කොහේ හරි ගියාම කුමුදුට වෙන අකරතැබ්බ්යක් දන්නවද? කෑම වට්ටෝරුව බලලා ඇණවුම් කරන දේ ගෙනාවම කටේ තියන්න බැහැ...ඊට පස්සෙ මගෙයි , රුවිනිගෙයි පිඟන් වලට එබි එබී ඉන්නව. අපි දෙන්නම එයාට භාගෙ භාගෙ දෙනව. අපේ ගමන් සගයා නෙ. 
ඉතින් කෑමෙන් පස්සෙ රඟ හළට සංචාරක බස් රිය යොමු වුණා. ඒ වෙලාවෙ නාට්‍යයක් රඟ දැක්වෙන නිසා හෙමිහිට යන්න කියල අපට උපදෙස් ලැබුණ. අනික් සේරම නාට්‍ය ඇඳුම් තියෙන කෞතුකාගාරයට ගියත් මට හිතුණෙම නාට්‍යයෙ සුළු කොටසක් හරි බලා ගන්න. මම ඒ බව මගෙ ගමන් සගයො දෙන්නට කිව්ව. දෙන්නම කිසිම විරෝධයක් පෑවෙ නැහැ.
එදා පෙන්වපු නාට්‍යය ' මිඩ් සමර් නයිට්ස් ඩ්‍රීම්' අහල ඇතිනේ? ලංකාවෙත් ඒක නිෂ්පාදනය වුණා නේද..කලකට ඉහත? ශාලාවෙ පහල මාලයට ඇතුළුවෙන්නෙ නැතුව මම පිය ගැට පෙළ දිගේ උඩට දිව්වා, පිය ගැට පෙල දිගට බුමුතුරුණු අතුරල තිබුණ නිසා පියවර හඬින් බාධා වුණෙ නැහැ, කිසිම ප්‍රේක්ෂකයෙකුට.
ඔන්න නාට්‍ය නරඹන බැල්කනියට තමයි අපි ඇතුළු වුණෙ. බැල්කනියෙ කොටස් තුනක් තිබුණ, මැද කොටසෙ තමයි ප්‍රෙක්ෂකයො හිටියෙ. දෙපැත්තෙ බැල්කනි දෙක සරසල තියෙන ආකරයට මට හිතුණ එකත් එකටම මේ කොටස් නාට්‍යයෙ රංග භූමිය සඳහා භාවිතා කරනව ඇති කියල. අපි දැන් ඉන්නෙ වේදිකාවට ඉදිරියෙන් වම් පත්තෙ බැල්කනියෙ. මම දණ ගහ ගත්තා. කුමුදු හිටගෙනම හිටියා, එය ඒ මදිවට අපි හැලොවින් දවසෙ ගත්තු තොප්පියකුත් දමාගෙන. මම දෙන්නටම කිව්ව අපි මැද කොටසට යමු, මෙතනට දැන් නළු නිළියො ඒවි කියල. ඒ දෙන්න මට හිනාවුණා. "මේ නාට්‍ය තුන හතරක රඟ පෑවා කියල ඔයා සමස්ත නාට්‍ය කලාවම ප්‍රගුණ කරල තියනව කියලද අපිට කියන්නෙ?" කියන දේ අහන්නෙම නැහැ.
ඔන්න එතකොටම අපි හිටිය කොටසට ආලෝක දහරාවන් ටිකෙන් ටික එල්ල වෙන්න ගත්ත. මම දැනගත්ත දැන්නම් රංග ශිල්පියෙක් මෙතනට එයිම කියල. අර දෙන්න පන්ඩිත කමට ඉන්නව හිට ගෙනම. ලොකු කලබැගෑනියක් වේදිකාවෙ..එහි හිටි එක් නළුවෙක් අපි හිටපු කොටසට අත දිගු කරල දෙබසක් කිව්ව. එතකොටම නළුවෙක් පිය ගැට පෙල දිගේ දුවගෙන ඇවිත් අපි හිටපු තැනට ඇවිත් හිට ගත්ත. මම අර දෙන්නගෙ කකුල් දෙකින් ඇද්දා. හොඳටම් ලයිට් අප් වෙන කොටත් මගෙ යාලුවො දෙන්න සීන් එකෙ. අර නළුව එයාගෙ දෑතින්ම අපේ නළුවවයි නිළියවයි දෙපැත්තට තල්ලු කරල දෙබස් කියන්න ගත්තා. ඒක දැකපු ප්‍රේක්ෂකාගාරයෙ කට්ටිය සද්ද කරයි කියල මට හිතුනත් ඒ අයට එතරම් ඒක දැනිල නැහැ. 
සිද්ධිය තාත්ත්විකවම ගලා ගියා, නාට්‍යයට බධාවක් නොවීම. අපි තුන් දෙනාම එලියට ඇවිල්ල බඩවල් අල්ල ගෙන හිනා වුණා.
කුමුදුට මේක මදෑ, පුරාජේරු කියන්න.
"ඔන්න අපේ වැඩ..අපි ෂේක්ස්පියර් නාට්‍යයකත් රඟ පාලයි පස්ස බැලුවෙ....ඔයාගෙ රංගන ලංකාවට විතරයි..ගිය තැනක රටේ නම තියන්න ඕනි මලිති, මම වගේ" 
ඊට පස්සෙ ඒ පැත්ත පළාතෙ ඉන්නෙ නැතුව අපි තුන් දෙනත් එක්ක පොත් පත් තිබුණ පැත්තට පුළුවන් තරම් වේගයෙන් ගමන් කළා. පොත බලන අස්සෙත් අපිට හිනාව නම් නතර කර ගන්න පුළුවන් වුනේ නැහැ.
මට නම් තවමත් මතක් වෙන කොට හරියට හිනා යනව. කුමුදු දැන් කොයි ලෝකෙක ඉන්නවද මන්දා. මේ කතන්දරේ වැරදිලා හරි දැක්කොත් මට ඔයාගෙ අදහස් දක්වල එවන්න, කුමුදු.

1 ක් අදහස් දක්වලා.

ලන්ඩන් සැරිසර 1

පෙම් කතන්දර වලින් මදකට බැහැර වෙලා සවාරි ගහපු කතන්දරයකට යොමු වෙන්න මට අද හිතුණා. කියවන, ලියන එක වගෙම ඇවිදින එකෙනුත් ජීවිතයට දැනුම, විනෝදය විතරක් නෙවේ, විවිධාකර පුද්ගල සම්බන්ධකම් පවා ගොඩ නගා දෙනව.
මේ සවාරිය ලන්ඩන් නුවර ගහපු සවාරි වලින් මගෙ හිතට තදින්ම කා වැදුණු ඒ වගෙම හාස්‍ය ජනක සිද්ධිත් ඇතුලත් පරිච්ඡේදයක්. සවාරි කියන කොට මට මතක් වෙන්නෙ මේ වචනෙ කොහොමද හැදුනෙ කියල. හින්දි, උර්දු වගෙම දාරි සහ පර්සියන් යන භාෂා වලින් සෆාරි හෝ සෆර් කියන්නෙ ගමන කියන එකයි. මම දැන් ඉන්න රටේ 'සුබ ගමන්!' කියල ප්‍රාර්ථනා කරන්නෙ 'සෆර් එ කුෂ්' කියල. ඒ දාරි භාෂාවෙන්. සෆාරි හෝ සෆර් උච්චාරණ පහසුව සදහා සවාරි විදිහට අපේ ජන වහරට එකතු වුණාද කියලත් මට හිතෙනව. ජෙ.බී. දිසානායක මහාචාර්ය තුම වත් ලඟක හිටියනම් වැඩි විස්තරයක් අහගන්න තිබුණ.
එදා අප්‍රේල් විසි හතරවෙනිද කියල මට හොඳට මතකයි. මේ දශකයෙ මුල් භාගයෙ තමයි කාල වකවානුව. හෝටලේ ඉදිරියෙන් නවත්වල තිබුණු තට්ටු දෙකේ බස් එකේ වහලක් නැති උඩ තට්ටුවට අපි නැගගත්තෙ පුලුවන් තරම් පින්තූර, කැමරා කාච වලට හසු කර ගන්න වගෙම වඩාත් වටින,පියකරු දේවල් දැකගන්න තන්හාව පිරුණු සිත් වලින්...අපේ නඩයෙ ගොඩක් කට්ටිය හිටියත් ලංකාවෙන් හිටියෙ මාත් එක්ක රුවිනියි, කුමුදුයි විතරයි. කුමුදු ගැහැණු ළමයෙක් නම් නෙවෙයි. එයා තමයි අපේ ළඟම නෑදෑයා වගෙම මිත්‍රයා. හිටපු ගමන් අපේ අප්පච්චි වගෙත් එයා හැසිරෙනව, ඒත් අපි ගණන් ගන්නෙ නැහැ. එයාටත් ටිකක් ලොකු කම පෙන්වන්න ඉඩ දෙන්න ඔනි නේ.
දේශගුණය හරිම යහපත්, මද හිරු එළියක් තිබුණ, ලන්ඩන් නුවර වැඩිපුර තියෙන චිරි, චිරි වැස්ස වෙනුවට. වසන්තය නිසා හැම තැනම ලස්සන කොල පාට තැවරිල ටියුලිප් මල් පාටින් පාටට හිනා වෙනව හැම තැනකම. කවියක් ලියන්න හිතෙනව මට. අද අපි යන්නෙ ශේක්ස්පියර් ගම්මානෙට. කලින් දවසෙ මම හීනෙනුත් 'වැනීසියෙ වෙළෙන්දා' නාට්‍යයෙ පෝර්ෂියාට රඟ පෑවා, හිතේ තිබුණු ආසාව කොයි තරම්ද කියනව නම්.
ශේක්ස්පියර් ගම්මානෙට ඇතුලු වෙන මායිමේ ධජ පතාක පිරිල..ඔව්..පාට පාට කොඩි වැල් එහාට මෙහාට ඇදල අමුතුම කල එලියක්. මට එතකොටම මතක් වුන මේ මහා කලා කරුවාණන් උපන්නෙ අප්‍රේල් මාසෙ විසි ගණන් වල නේද කියල. එකත් එකටම ජන්ම දින සැමරුම් උත්සව පවත්වනව ඇති. මම මේ කතාව යාළුවො දෙන්නට කිව්වම ඒ දෙන්න මට හිනා වුණා. මෙයා 'ඈන් හතාවේ' වගෙ ශේක්ස්පියර් තුමාගෙ අලගිය තැන් මුලගිය තැන් සේරම දන්නව වගෙ කතාව කියලා.
ඔන්න බස් එක නැවත්තුවා....දවල්ට කෑම වලට විශේෂ තැනකට ගෙනියනව, නමුත් ඒක 'සප්‍රයිස්' එකක් කියලත් කිව්ව නිසා අපි අපට ලැබුණු කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අරමුණත් සිතේ පෙරදැරි කරගෙන ගමන පටන් ගත්ත.
මුලින්ම ගියෙ එතුමා ඉපදුනු ගෙදරට. තවමත් මේ ගෙවල් වල පිදුරු වහලවල් පෞරාණික විදිහට සංරක්ෂණය කරල තියෙනව දැක්කම මට හරිම සතුටක් දැනුණ. මට මතක් වුණෙ කොග්ගල අපේ ලංකාවෙ ශේක්ස්පියර් තුමාගෙ උපන් නිවහන සහිත කෞතුකාගාරය. විස්තර කියල දෙන්න ඉන්නෙ බොහෝ ඇසූ පිරූ තැන් ඇති විශ්‍රාම ගිය ගුරුවරියන්. ශේක්ස්පියර් පදනමෙන් අර ගත්තු ඉතාම අපූරු තීරණයක් කියල මට හිතුණ. ඔවුන් හරිම කාරුණිකයි. ඉවසිලිවන්තයි. ආචාර ශීලියි..තැන්පත්..රිදී පාට කෙසින් පිරුණු හිස් ඇතුළෙ රත්තරන් පිරිල කියල මට හිතුණ ඔවුන් කතා කරන, විස්තර කරල දෙන විලාශයට.
ඉතාම සරල ලී බඩු කිහිපයක් විතරයි ඒ ගෙදර තියෙන්නෙ. ලියන මේසෙ, පුටුව, තව අමුත්තන් සඳහා වාඩිවෙන්න බංකුවක්. මගෙ සිත් ගත්තු තවත් දෙයක් තමයි කෑම දමන මැස්ස.ඒක උදුන අසලින්ම උඩින් එල්ලලා තිබුණ. අපේ පරණ මහගෙවල් වල දුම්මැස්ස මට මතක් වුණ. මේ දුම්මැස්සෙත් ලස්සණ කතන්දරයක් තියෙනව. 
කෑමට ගන්නා මස් වේලලා හෝ අමුවෙන් වගෙම අනෙකුත් කෑම තියන්නෙ මේ මැස්ස උඩ. මේ මැස්ස කෑමෙන් පිරිල තියෙනවා කියන්නෙ, පැමිණෙන අමුත්තන්ට කෑම සඳහා කෙරෙන වක්‍ර ආරාධනයක්ලු.
ඒත් ශේක්ස්පියර් තුමාලගෙ ගෙදර සිරිතක් තිබුණලු, කවුද එන අමුත්තො කියලා බල්ලො බුරන කොටම ජනේලෙන් බලන්න. කරදරකාරි අමුත්තො එනව ජනේලෙන් දැක්කොත් මේ ගොල්ලො කෑම හංගනවලු, ගෙදර ඉන්න කට්ටියට විතරක් සෑහෙන කෑම ප්‍රමාණයක් මැස්සෙ තියල. ඒ සලකුණින් අර අමුත්තො කැමට තමන්ට ආරාධනා ලැබෙන්නෙ නැති බව දනගෙන වැඩි වෙලා නොඉඳ යනවලු.
ඒ උදුන දර දමන උදුනක්....ලංකාවෙත් අර නුවර එලියෙ, බන්ඩාරවෙල එහෙම පරණ ගෙවල්,හෝටල් වල තියෙන්නෙ. මේ උදුන් වල චිමිනියක් තියෙනව.... මතක්කරගන්න පුලුවන් නේද? සීත කාලෙට, ඒ කියන්නෙ හේමන්තයට දර පාවිච්චිය වැඩියි නෙ...ඉතින් දැලි බැඳෙනවත් වැඩියි. මේ චිමිනිය සුද්ද කරේ නැත්නම් ගේ ඇතුලට දුම එනවා. හිතන්න පුළුවන්ද මේ චිමිනි ඒ කාලෙ සුද්ද කළේ කොහොමද කියලා?
හරිම අපූරුයි ඒ ක්‍රමය. ටිකක් තරබාරු කුකුලෙක්ව අත් දෙකෙන්ම අල්ලල පුළුවන් තරම් වේගෙන් යට ඉඳන් චිමිනිය දිගේ උඩට වීසි කරනවලු. බයවෙච්ච කුකුළා අත්තටු ගහගෙන බිමට පහත් වෙන කොට බැඳිච්ච දැලි,දුම් රොටු ඉවත් වෙනවා. මේ වගෙ කිහිප සැරයක්ම කුකුල් ක්ලීනරේ උඩට පහළට ගියහම චිමිනිය පිරිසිදු වෙල. කොහොමද පුරාණ තාක්ෂණය?
ඔය එතුමාගෙ ගෙදරදි අහපු දැකපු දේවල්..එතුමාගෙ රඟහලට ගිය කතාව කියන්න පස්සෙ වෙලාවක එන්නම්.

4 ක් අදහස් දක්වලා.

ඇස් මිණි පහන්

යුග වකවානු විස්තර කළේ නැතත් කතන්දරය රස විඳින්න ඒක බාධාවක් කියල මම හිතන්නෙ නැහැ. මේ කතාව නාට්‍යය වලට බැඳිච්ච කතාවක්. මම ප්‍රථම පුරුෂයෙන් ලිව්වම මේ හැම එකක් ම මට වෙච්ච දේවල්ම කියල හිතනව නම් ඒක වැරදියි. මොන විදිහට හිතා ගත්තත් ලස්සන කතාවක් කියවන්න ලැබෙනව නම් ඒකනෙ වැදගත්....කමක් නැහැ, ඕන බතල වත්තකින් ගියා දෙන්. අපි දැන් කතාවට බහිමු
මේ දවස් වල මම නාට්‍ය පුහුණුවකට යනව....පරීක්ෂණ තියල...කටහඬ බලල දැන් අපි නිකම් මේ අර්ධ ගීත නාටකයක් වගෙ එකකට තමයි පුහුණු වෙන්නෙ. මම නාට්‍ය ලෝකෙට අලුත්ම අලුත්. අපි ඉස්සෙල්ල කළේ ගීත පුරුදු වෙන එක...ඊට පස්සෙ ගිත ගායනයන් හා හැකියාවන් අනුව චරිතවලට තෝර ගන්නවා කියල තමයි අධ්‍යක්ෂ වරය කිව්වෙ.  
නාට්‍යයෙ ගීත නම් හරිම අපූරුයි...එක සැරයක් කිව්වම මට තාලෙ හොඳට මතක හිටිනව. හරිම ලස්සන ගේය පද...මට සින්දු පුරුදු වෙද්දිත් ඇඬෙනව වෙලාවකට...ඒ තරමටම සියුම්ව සංගීතය හා වචන එකට සංයෝජනය වෙලා. දවසක් මගෙ ඇස් වල කඳුළු දැකලා එක අයියා කෙනෙක්; තේ විවේකෙදි මගෙන් අහනව,
" නංගි හරිම සංවේදී හිතක් තියෙන කෙනෙක් වගෙ..මම දැක්ක ඔයාගෙ ඇස්වල කඳුළු පිරිල තියෙනව අර විරහ ගීයෙදි"
" හ්ම්..හරිම ලස්සන සින්දු නේද සචින් අයියෙ
" " ඉතින් අඬන්නෙ මොකටද ළමයො?" 
"අනේ! මම හිතල අඬන්නෙ නැහැ..ඉබේටම ඇඬෙනව නෙ. මම සංවේදී වැඩිද මන්දා" ඉතින් සචින් අයියා ඔය වගෙ හැම දාම මගෙත් එක්ක කොහොමින් හරි මගෙත් එක්ක කතාවට වැටෙනව. එයාට ලස්සනට මද්දල ගහන්න පුලුවන්. මොකද්දෝ කන්තෝරුවක ලොකු නිලයක් දරන කෙනෙක්. මම ඕවා වැඩිය හාරා අවුස්සන්න ගියෙ නැහැ.
"නංගි කොහෙද් නැවතිඅලා ඉන්නෙ?" තවත් දවසක එයා කතාවට මුල පිරුවෙ එහෙමයි.
" මම ඉන්නෙ දෙල්කඳ....පාර අයිනෙමයි..ඕනි තරම් 138 තියෙනව නේ?"
" ඇත්තද, මම ඉන්නෙ මහරගම, මට ඔයාව බස්සගෙන යන්න පුළුවන්"
"නෑ..අයියෙ, බස් නැති දවස් තිබුනොත් බලමුකො"
138 බස් කොහොමත් හිග නැහැ නෙ...මම එහෙම හිතුව.
" මලිති, මම යමක් කියන්න ඔය වරදවා තේරුම් ගන්නෙ නැද්ද?" 
" මම මොකටද වරදවා තේරුම ගන්නෙ ඔයා වැරදි දෙයක් කියන්නෙ නැත්නම්"  
" ම්..ම්...ඔයාගෙ ඇස් දෙක හරිම ලස්සණයි. මම මද්දල ගහන ගමන් අනික් අයට හොරෙන් ඔයාගෙ ඇස් දිහාවෙ බලන් ඉන්නව"
මගෙ කන් වලින් පටන් ගත්තු හිරිවැටිල්ල මුහුණ පුරාම ඇසිල්ලකින් දිව ගියා රතු පාට සායමක් මුහුණෙ අපිචර්මයෙ දශමයක් ගානෙම තවර ගෙන. හප්පේ..! වැටිච්ච අමාරුවක මහත...මට මහා වස ලැජ්ජවක් දැනුණා. මාව මූණ ඉස්සරහ වර්ණනා කරන කොට මට නං හරිම ලැජ්ජයි..මගෙ දුර්වල කමක්ද දන්නෙ නැහැ ඒක. කොහොම හරි මට ටිකක් වෙලා, ගියා යථා තත්ත්වයට එන්න.
"මම කවි වගයක් ලිව්ව, දෙන්නද ඔයාට බලන්න"  
එපා කියන්න පුලුවන්ද..? කවි නෙ..ප්‍රේම පත්‍රයක් නෙවෙයි නෙ. මම හිතුවා. සචින් අයියා දෙකට තුනට නවපු හාල්ෆ් ෂීට් කොළයක් මගෙ අතේ තිබ්බා.
" ගෙදර ගිහින් කියවන්න, දැන් කියවන්න ගත්තොත් අනික් අයත් බලයි"
මම ඒ කවි කොළය නාට්‍ය ස්ක්‍රිප්ට් එක ඇතුළෙ දා ගත්ත. තවමත් පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙනව. ඉතින් පුහුණුව ඉවරවෙල මම බස් හෝල්ට් එකට ගියා..ලයනල් වෙන්ඩ්ට් එක ලඟ 138 හෝල්ට් එකට..මෙන්න විනාඩි පහක් ගියෙ නැහැ, සචින් අයියත් එතන.
" මගෙ කාර් එකේ පොඩි අප්සෙට් එකක්, ගරාජ් කළා. ටික දවසක් බස් එකේ යන්න වෙයි" පපුවෙ ගිඩි ගිඩිය වැඩි වෙලා...මුළු සරුවාන්ගෙම දැවී දැවී යයි...බස් වල එච්චර සෙනගත් නැහැ...ඔන්න මම බස් එකකට නැග්ග.. සීට් එකකුත් ලැබුණ. සචින් අයියත් ඇවිත් වාඩි වුනෙ නැතැයි ඒ සීට් එකේම. කමක් නැහැ, ආරක්ෂාවටත් හොඳයි නෙ...ජැක් ගහන්න එන අයගෙන් පරෙස්සම් වෙලා යන්න පුළුවන් කියලත් මට හිතුණා. එයා මගෙ ඇඟේ ගෑවෙන්නෙ වත් නැතුව වාඩිවෙල ඉන්නෙ. හරිම හොඳ අයියා කෙනෙක් නේද කියල මට හිතුණා. එය යනකල්ම කතා කළේ එයා කියවන පොත් ගැන...නාට්‍ය පොත් කියවල තියෙනවද කියල මගෙන් ඇහුවා. මම කිව්ව මම කියවල තියෙන්නෙ 'හුණු වටයයි, කුවේණියි' විතරයි කියල. එතකොට එයා, "ඇත්තද?" කියල අහිංසක හිනාවක් දැම්ම. 
මම ගෙදර ගිහින් බත් එහෙම කාලා කවිය බලන්න හිතුවා.


'ලඳකගේ ඇස් මිණි පහන් ලෙද  
දිලෙන බව නෙක කවින් කී බස  
නොඇදහූයෙමි තතු නොදත්තෙන්
ඔබ දුටු වේලේ සැබෑ වීය එය 

වරින් වර ආලෝක වන හැටි
වරින් වර යලි නිවී යන හැටි
පසක් නොකළෙමි මෙතුවාක් කල්
ඔබ දුටු වේලේ සැබෑ වීය එය'

ඔන්න මගෙ පපුව ආයෙමත් ගැහෙනව...හර්ද ස්ඵන්දන වාර ගණන බැලුවොත් මිනිත්තුවකට දෙසියක් විතර ගැහෙනව වෙන්නැති. හරිම ලස්සණ කවිය...ඒක තමයි එයා කිව්වෙ මගෙ ඇස් දෙක ලස්සණ්යි කියල. මම කණ්ණාඩිය ලඟට ගියා. ඇස් දෙක දිහා බැලුව මොකද්ද මගෙ ඇස් වල තියෙන අරුමය කියලා..කලු බෝලෙ වටේට නිල් පාට රවුමක්. මම අදමයි දැක්කෙ. මට හීන් ආඩම්බර කමකුත් දැණුනා, කෙල්ලො අඳින්නෙ ඔන්න ඔහොමයි ලමයිනේ. මට අමරදේව මාස්ටර් ගෙ, 'ඔබේ දෑසයි, ඔබේ දෑසයි...නීල උත්පල කිඳුරු දෑසයි..නීල උත්පල දිගැටි දෑසයි ' ගීතය මතක් වුණා. 
දාගත්තෙ නැතෑ තොප්පිය මම. පහුවදා නාට්‍ය පුහුණු නැහැ...මට නිකන් පාලුයි පාලුයි වගෙ..හිත ඇතුලෙ කියන්න බැරි මොනවදෝ සිතුවිලි සම්භාරයක් දිගට හරහට, උඩට පහළට, එහෙට මෙහෙට දඟලනව..බොලිවුඩ් චිත්‍රපටයක නම්, 'කුච් කුච් හෝතා හේ' කියාවි.
ඊළඟ නාට්‍ය පුහුණුව දවසෙ තව කවියක්. ඒක නම් ගෙදර එන්න ඉස්සෙල්ලම කියෙව්ව. 
'හදවත් කතරේ මලක් පිපෙන්නට
දිය සීරාවක් සිසිලස දෙන්නට
වියැලුණු පොළවෙන් මතුවී එන්නට
සදා නොමැලවී පිපී තිබෙන්නට
මා නිසා නෙත් මිණි පහන් තුළ 
දල්වනුය පෙම් දැල්ල නොනිවා
එකලු කරනුය මහද මදුරත 
අරක් ගෙන ඇති අඳුර දුර ලා'

ඔය තියෙන්නෙ....අර අමුතු ගැස්ම විටින් විට මතු වෙලා නැති වෙලා යනවා. හරිම නැවුම් ගතියක් මට දැනෙනව..ඉන්ද්‍රයිය කවදාවත් මට මෙහෙම කවි ලිව්වෙ නැහැ... එයා දැක්කෙ නැහැ මගෙ ඇස් වල සොඳුරු බව. එයා දැන් ඉතිහාසෙට එකතු වෙච්ච චරිතයක් විතරයි, මගෙ හිත ඇතුලෙ දඩබ්බරී හිනා වෙනවා.
අනේ! මන්දා...මොකද්ද ඇත්තටම වෙන්න යන්නෙ..මගෙ  හිතේ මෝදුවෙන්නෙ මේ කවි වලට මහා ලෙන්ගතු කමක්..සචින් අයියට වඩා කවි වලට. 
නිකම් ඔහේ කවි ලිව්වට තවම මගෙන් මොකුත් ඇහුවෙ නැහැ නෙ. මම වැටට ඉස්සර පනින්න ගිය මුවාව අල්ලල බැඳල දැම්ම. 
මෙන්න බොලේ ඊළඟ දවසෙ තවත් කවියක්. මගෙ ඇස් දෙක කවි උල්පතක් වෙලා. මට දීපිකාගෙ සින්දුවකුත් මතක් වෙනවා.

'ප්‍රේමයට නිම් හිම් නැතී
උල්පත වුණා යයි ඔබම කී...
කවියාණනේ.....
මා ඔබෙයි..
ඔබගේ සදාදර...පෙම්වතී' 
සචින් අයියගෙ කවිය කියන්න බැරිවුණානෙ, දීපිකාගෙ සින්දුව රස වැටිල.

'භක්ති ප්‍රේමය ගෞරවය හෝ
කුමක් කීවද ඒ එකක් වත් 
නොවේ සෙනෙහස

ඈත සිට පිරිනමන භක්තිය
ගෙනත් පාමුල තබන බුහුමන
ඒ එකක් වත් 
නොවේ සෙනෙහස

දිවා රෑ දෙක හද සමීපේ
දෑස නොපියා බලා ඉන්නා
දෙයකි සෙනෙහස 


නොලැබ පරිභව මුත් කිසිත් අන්
මොළොක් තෙපුලක් ලබා ගැන්මට
ජීවිතය තිබෙනා තුරා
මුහුණ මත ඇස් රඳා ඉන්නා
දෙයකි සෙනෙහස'


මට හිතුණෙ ව්‍යංගයෙන් කරන ආදර ප්‍රකාශයක් කියල මේ කවි. ඒත් මට එතකොට ඔය පිළිතුරු කවි ලියන්න හිතුනෙම නැහැ. මොකටද මම පැනල දෙන්නෙ..?. තව ටිකක් නොතේරෙන විදිහටම රඟ පාන්න මම හිතුව..
මම ලෙක්චර්ස් ඉවර වෙල එදා හිතුව මහජන පුස්තකාලෙට යන්න. නාට්‍ය කරන නිසා නාට්‍ය පොත් ටිකක් කියෙව්වොත් හොඳයි කියලා. නාට්‍ය කොටසෙ පොත් රාක්ක අතරෙ මම පොඩ්ඩක් අතරමං වුණා. දැන් අපි ගීත නාටකයක් කරන නිසා ඒ වගෙ පොත් ටිකක් අර ගෙන කියවන්න හිතුණා.
ම්..ම්....ම්...මේ තියෙන්නෙ, මට හරිම සතුටුයි..මනමෙ, සිංහබාහු , පේමතෝ ජායතී සෝකෝ...අදට මේ පොත් ටික ඇති, හිත කිව්ව. මම පොත් ටිකත් අර ගෙන වාඩි වුණා. මනමෙ, සිංහබාහු ගීත කණට, හිතට හුරු වුණත් පේමතො සින්දු මම අහලම තිබුණෙ නැහැ. ඒ හින්දා මම මුලින්ම පේමතෝ පොතේ පිටු පෙරලුව. ඔක්කොම කවි..ගී..උද්දාල බමුණා ස්වර්ණතිලකට කියපු කවි.
මම මේවා කොහෙදි හරි දැකල තියෙනව වගෙ මට මතක් වුණා....කොහෙද හැබෑටම? මම පොත් බෑගයෙ තිබුණු කවි කොළ ටික මතක් වුණා...සචින් අයියා ලිව්ව කවි. මේ ඒ කවිම නේන්නම්...මහාචාර්ය සරච්චන්ද්‍රගෙ නිර්මාන නෙ මේ...අනේ දෙයියනේ..මෙහෙමත් කුකවියො..මට එක පැත්තකින් තරහයි...තවත් අතකින් හිනහව නවත්ත ගන්න බැහැ..මේක මම එයාට කිව්වම එයාට පොළව පලා ගෙන යන්න හිතෙයි.
අර හිතේ තිබුණ 'කුච් කුච්' ගතිය තාපාංකයෙ ඉඳලා හිමාංකයටම බැස්ස. තව පොඩ්ඩෙන් තවත් පෙම් කතදරයක් ආරම්භ වෙන්නයි ගියෙ... මම මගෙ ඉටු දෙවියන්ට පින් දුන්,නා තවත් ප්‍රේම පුරාණයක් පටන් ගන්න ඉස්සරම අවසන් හුස්ම හෙලපු එක ගැන.

9 ක් අදහස් දක්වලා.

Sunday, August 30, 2009

මුල්ම බූට් එක

Sunday, August 30, 2009
ඉන්ද්‍රයියා කොළඹ ඉස්කෝලෙකට ගියාට පස්සෙ අපේ පෙම් කතන්දරේ එක හැල්මට ගලාගෙන යන එක නතර වුණා. ඊට පස්සෙ මගෙ හිත කීතු කීතු වෙල ගියා එක සිද්ධියකින්. හෙමිකාත් කොහොම හරි කොළඹ ගිහින්..මට හිත වාවන්නැතුව ගියා...මම සරච්චන්ද්‍ර සර්ගෙ පොත් කියවලා හිත හදා ගන්න උත්සාහ කළා.


'ඉක්මනින්ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්න ඇහැකි
මළ ගිය ඇත්තන් කැටුවම'


කවි ලියන්න ගත්ත...ඉන්ද්‍ර එවන ලියුමුත් අඩුවුණා. ඒගොල්ලන්ගෙ අක්කගෙන් මම 
ඇහුවම කිව්ව, " අනේ නෑ නංගො, අපිටවත් ලියුමක් එවන්නැහැ. පාඩම් කරනව ඇති" කියලා.


 මම  සිග්මන් ෆ්‍රොයිඩ් කියෙව්වා. ඩේල් කානගී කියෙව්ව..පස්සේ සැබෑ මිනිහෙකුගෙ කතාවත් කියෙව්වා හිත හදා ගන්න...දිගට හරහට පොත් කියවලා ඒ පොත් අතර අපේ චරිත තියෙනවද කියලා හෙව්ව...පරිවර්තන ගොඩක් කියෙව්වා. මම හරිම ආස පොතක් තිබුණ....රුසියානු පරිවර්තනයක්..මළ මිනිස්සු එකතු කරන කතාවක්...ඒකෙ නම මළ මිනිස්සුද? මට මතක නැහැ. ඒ පොත කියවද්දි මට හැම දේම චිත්‍ර පටියක් වගෙ මැවිල පෙනෙනව.
මගෙ කවි පත්තර වලටත් දැම්ම, ඒව දැකල වත් ඉන්ද්‍ර මට ලියාවිද කියල. මොකුත්ම ආරන්චියක් නැහැ..පාඩම් කරන්නත් බැහැ..ඒත් විභාගෙ ඇන ගන්නත් බැහැ... 
පුංචිත් එක්ක පංසල් ගිහින් බෝ මළුවට වෙලා ගොඩාක් වෙල මම ඉන්නව... කවි, කතන්දර ලස්සණට වියමන් වෙනවා. හැම තැනකම මට පෙනෙන්නෙ ඉන්ද්‍රව..පොත් ගුලේ...බෝ මලුවේ..සීමා මාලකයෙ...හිත නිවන්න ගියත් හිත අවුල ගත්ත වගෙ මට දැනුණා... ගෙදර ඇවිත් හිතට එබිලා, ඇතුල් වෙලා ලියන්න බලන කොට මුළු හිතම හිස් වෙල සුදු කර දාසියක් වගෙ...ඉතින් ඉන්ද්‍රයියගෙන් මම මුල්ම බූට් එක කෑවෙ එහෙමයි...තවමත් දුකයි, හිතට...මට එහෙම වුණෙ ඇයි කියලා. 
 හිත හීලෑ නැතුව ඉබාගාතේ දුවනවා...අම්මට අප්පච්චිට නොපෙන්නා හිතේ දුක වසන් කර ගන්න මම හැම වෙලාවකම උත්සාහ කරනව.
ඇස්වල කඳුළු පිරෙන වෙලාවට ගෙට උඩින් තියෙන වත්තට ගිහින් ගලක් උඩට වෙලා ඇති වෙන කල් අඬනව..පොතකුත් අරගෙනයි මම වත්තට යන්නෙ...කතික තරඟ තියෙන කොට මම කතා පුරුදු වෙන්න එන්නෙත් මේ වත්තට...කෙසෙල් ගස්, අඹ ගස් තමයි මගෙ ප්‍රේක්ෂකයො... මගෙ ප්‍රේකෂ්කයො හිතනව ඇති මොකද මේ අද පරාජිත චරිතයක් රඟ පාන්නෙ කියලා. මම ඉන්ද්‍රට කවියක් ලියන්න හිතුණා..
' එන්න කල් නොදමාම
වසන්තය,යලිත් මා වෙත
ගිම්හානයට හිතක් පපුවක්
ඇත්තෙම නැහැ

මල් වගෙ හිත් තලන්නෙ ඇයි
පව් සිද්ධ වෙයි බෝම
මට කියන්න ඉන්ද්‍රයියෙ
මම ඉවසන්නෙ කෝම'  
 
කවිය හිතේ ලියාගෙන මම වත්තෙ පිපිලා තිබුණ දාස්පෙතිය මල් කඩා ගත්ත බුදුන් වඳින්න හිතා ගෙන......මට ධම්ම පදයෙ ඉගෙන ගත්තු ගාථාවක් මතක් වුණා.


"පේමතෝ ජායතී සෝකෝ
පේමතෝ ජායතී භයං"


ඒත් මට ප්‍රේමයෙන් මිදෙන්න තරම් හිතට උවමනාවක් තිබුණෙ නැහැ. විරහ වේදනාවත් හොඳ නිමිත්තක් වුණා, නිර්මාණ වලට පෙළඹෙන්න.

8 ක් අදහස් දක්වලා.

පොදු පෙම්වතා

මේ කතන්දරේ නං එච්චර පරණ එකක් නෙවෙයි. මේ දශකය තුළ සිදුවෙච්ච අපූරු සිද්ධියක්.මට ඒක මතක් වුණේ කොහොමද කියලා කතන්දරේ ලියල ඉවර වුණාම කියන්නම්. ඔන්න මම එක දිගට අවුරුදු දෙකක් විතර ලංකාවට එන්න බැරිවෙල ඉඳලා දැන් ඔන්න සම්ප්‍රාප්ත වෙන්නයි යන්නෙ. යහලු යෙහෙළියන්ට ඊ මේල් එහෙම එවල දුර කතන පණිවිඩ දීලා...දෙවර්ෂ පූර්ණය සමරන්නයි මගෙ හිත.  
අහෝ!ඒත් දුක හිතෙන එක කාරණයක් තියෙනවා. මගෙ හොඳම අතීසාර මිත්‍රයකුගෙ ඊ මේල් එකවත් දුර කථන අංකයවත් මගෙ ළඟ නැහැ. මම මෙයාව දන් අවුරුදු පහකින් විතර දැකලත් නැහැ...මම හිතුව ලංකාවට ගිහින් මගෙ කලාකාර යෙහෙළියක් ඉන්නව, එයාගෙන් ඉල්ලගන්නං කියල. මම දන්නව මම ගෙදර ගියාට පස්සෙ මෙයා තමයි ඉස්සෙල්ලම මාව බලන්න අපෙ ගෙදරට එන්නෙ කියල..
ගුවන් තොටු පොළට බැස්ස ගමන්ම මගෙ යෙහෙළියට ඇමතුමක් දුන්න, ඔන්න මම මව්බිමට ගොඩ බැස්සා කියල. "සාදරයෙන් පිළිගන්නව ඔයාව, අපෙ ගැන්සිය වෙනුවෙන්. බබෝ..අද නම් පොඩි වැඩක්. යහළුවෙකුගෙ පොතක දොරට වැඩීමේ උත්සවයකට යන්න තියෙනව...හෙට උදේම එනවා" කියල යෙහෙළි කිව්ව. එයාට නමක් දමන්නත් ඕනි නේද දැන්...? ම්..ම්...ම්...සරා කියමු. 
ඒකත් හොඳයි...පවුල් සංස්ථාවෙ වැඩ ටික අද ඉවරයක් කර ගෙන හෙට නිවීහැනේම සෙට් වෙන්න පුළුවන් කියල මම හිතුව. චූටි අක්කට(මගෙ පුංචිගෙ දුව මම කියල තිබ්බෙ,"අනේ! මට ෆ්‍රයිඩ් රයිස් නම් එපා. රෝස කැකුළු බතුයි, කොස් මැල්ලුමකුයි, කිරි හොදියි, වේලිච්ච මිරිස් ලුණු දාල බැදල තියන්න" කියල.. ගෙදර ඇවිත් ඔන්න පෙරේත කමට ඉස්සෙල්ලම ගියෙ කෑම මේසෙට...අප්පෝ...! මගුල් ගෙදරකට වගෙ කෑම හදල..මම කිව්ව ඒවත් හදල තිබුණ.  
" මෙච්චර ගොඩක් මොකටද හැදුවෙ චූටිඅක්කෙ" 
"අවුරුදු ගාණකට පස්සෙ එනකොට එහෙම නැතුව පුළුවන්ද, නංගි"
ඔන්න ඉතින් පහුවදා උදෙන්ම සරා එයි කියල මම මග බලා ගෙන හිටිය. කෝල් එකකුත් නැහැ. අදත් මගුල එන්නෙ නැතුව ඉන්න වෙන්නැති කියල මට හිතුණ. මම වෙනත් යාළුවෙකුට ෆෝන් කරල කිව්වම මම ආව කියල. එයා එතකොට, "අනේ, මලිති එන්න කො අපේ ගෙදර අද රෑට නවතින්න...මම අද තනියෙම....රුවනිත් අද එනව කිව්ව..අපට ජොලියක් දමන්න පුළුවන්" කියල දිගටම කියා ගෙන ගියා. විනාඩි දෙකක් ගියෙ නැහැ, රුවනි කතා කරනව.
" හලෝ...කෙල්ලෙ ඔයා ආවද? මට දුලි දැන් කිව්ව...එහෙනං හවසට සෙට් වෙමු මචෝ" 
" හරි මචන්....අනිවාර්යයෙන්" පිරිමි කට්ටිය වගෙ අපිත් හොඳම යාළුවන්ට මචං, මචෝ කියල තමයි කතාව. අපිත් සෙට් වෙනවා ඔගොල්ලො වගෙම. මම සුරාවෙන් තොර වුණත් (අර මගේ ශරීර කූඩුව ඇතුළෙ ඉන්න සම්ප්‍රදායිකා තමයි මාව එහෙම කරල තියෙන්නෙ මම යාළුවන්ට වයින්, බියර් එහෙම අර ගෙනයි එන්නෙ එයා පෝට් එකෙන්ම. සරාට මොකෙක් හරි සෙට් වෙලාද මන්ද, මොකුත් ආරන්චියක් නැහැ. මම කෝකටත් කෝල් කළා. අර මම කිව්ව පිරිමි යාළුවගෙ දුර කතන අංකයත් ඇහුවා.
" මොකද ඔයාගෙ පරණ ලවක්ද එයා" 
" යකෝ...පිරිමි යාළුවො ඔක්කොම ලව් නෙවේනෙ." 
"ඔන්න මම එස් එම් එස් කරන්නම්...මම හවස් වෙල එන්නම්...හොඳේ..වැඩ ගොඩක් තියෙනව ඔෆිස් එකේ" 
එයාගෙ ස්වරය ටිකක් වෙනස්.මොකක් හරි ප්‍රශ්නයක් වගෙ...හවස් වෙල එනව කිව්වට එයිද කියල මට විශ්වාසෙකුත් නැහැ. එයාට හරියට තදවෙනව. කා එක්ක හරි වලියක් ඇදගෙනද වත්ද? මට නිකමට හිතුණ.
" මම හවසට දුලිතලගෙ ගෙදර යන්න ඉන්නෙ ඔයත් එනවද?"
" අපෝ අර බඩුවද? මම එයාට කැමති නැහැ..ඔයා යන්න."
" එහෙම හිතන්න එපා, සරා...ඔයා එයාව කිට්ටුවෙන් ආශ්‍රය කරල නැහැ නෙ..මම අඳුන්නල දෙන්නම්කො."  
" හැබැයි, මට හිතට ඇල්ලුවෙ නැත්නම් මම අබවුට් ටර්න් දාලා එනව...තරහ වෙන්න බෑ හොඳේ" 
කෙනෙකුව ආශ්‍රය නොකර පූර්ව නිගමන වලට ඇවිල්ල චරිත සහතිකත් නිකුත් කරන එකට මම නං කැමති නැහැ. 
ඔන්න යාලුවගෙ දුරකතන අංකයත් ලැබුණ. මම කෝල් කළා. " හෙලෝ..මේ කටහඬ අඳුනගන්න පුළුවන්ද?"
මම චුට්ටක් හුරතල් වුණා...එයාව පීලි පන්නන්න හිතා ගෙන. 
" අනේ..බෑනෙ රත්තරන්..." ඒ යකා හැමෝටම රත්තරන් කියන්නෙ. කෙල්ලො හිතන්නෙ මූ හැමෝටම ලව් කියල. 
"අනේ! යකෝ,උඹ තාම කෙල්ලන්ට ලණු දෙනව නේද?" 
" අන්න එහෙම එන්නකො, දැන් මං කියන්නං..අපේ මලිති කුමාරිහමි කවද්ද ගොඩ බැස්සෙ? ඔයා විතරයි මට යකෝ කියන්නෙ." 
"හා..ඇත්තද සුමිත් යකා..."
" මම පොඩි වැඩක් කෙල්ලෙ, හවස පහට විතර කෝල් කරනවද?" 
" ඔයාටත් පුළුවන්නෙ මට කෝල් කරන්න. මම දැන් ඉන්නෙ ලංකාවෙ" මමත් ටිකක් ගණන් ඉස්සුවා.
හවස පහට විතර මම යන්නම් කියලා වාහනේට ගොඩවෙන්න හදනකොටම ගේට්ටුව අරින්න ගිය රියැදුරා කියනව, " මැඩම්ගෙ යාලුවෙක් නේද අර එන්නෙ" කියල. ඔය එන්නෙ නටව නටව අර සුකිරි බටිල්ලි, සරා. ටිකක් පිළිවෙලකට අඳින්නෙ වත් නැහැ...සල්ලි නැතුවත් නෙවේ..කම්මැලි කම. මේකා ගෙදර මිදුල අතු ගාන්නෙත් නැහැ. ජනෙල් දොරවල් වලට රෙදි දාන්නෙත් නැහැ. අමුතුම පිස්සු චරිතයක්.
දන්නවනේ දැන් ඉතින් අවුරුදු ගානකට පස්සෙ හමුවුණාම, සිප වැළඳ ගැනීම් ගොඩයි.  
" නැගපං. නැගපං...යන ගමන් මල් කඩමු."  
" ඔයා ලස්සණ වෙල...සුදු වෙලා"  
"  ඔයා කොහොමත් සුදුයි, ලස්සනයිනෙ...අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ නෙ..මොකද්ද අනේ..! ටිකක් පිළිවෙලකට අඳින්නකො."
" ලස්සණට අඳින්නෙ නැහැ කියල මට අඩුවක් පාඩුවක් නැහැ."
"ඒ කියන්නෙ උඹට කොල්ලො වැටෙනව කියන එකනෙ, උඹ වගෙම කිළුටු පොරවල් වෙන්නැති"
ඔන්න එතකොටම මගෙ දුරකතනය නාදවෙනව.
" ආ.....ඔව්, බබෝ මම ගමනක් යනව.."
"අපි කවදද මුණ ගැහෙන්නෙ? ඔයාට කියන්න මට ගොඩාරියක් දේවල් තියෙනව" සුමිතයා ගෙ බර බරේ...
" ඔව්...ඔව්...මට ඊ මේල් එකක් වත් එවන්න එපා. දැනුයි පරණ දුක් ගන්නා රාළව මතක් වුණෙ ඔයාට, නේද"
" අනේ පැටියො එහෙම කියන්න එපා. හෙට ඩිනර් වලට යමුද?"
" මගෙ යාලුවෙක් ඉන්නව, එයාවත් එක්ක එන්නම්" 
" කවුද යාළුවා. ලස්සණ එක්කෙනෙක්ද"?  
මේ යකා ඔහොමමයි.  
"සරා, ඔයා දන්නවනෙ එයාව. අර කවි කාරි"
" අප්පෝ එපා...එතකොට මම කොහොමද ඔයාගෙ නළලවත් ඉඹල සමුගන්නෙ?"
( අපි අර ඊනියා ලව් නැතුවට කොහෙදි හරි මුණ ගැහිල වෙන්වෙන කොට සුමිත් මගෙ නළල ඉඹිනවා)
"ඒකට මොකද?"  
" එපා, එපා...ඔයා තනියෙම එන්න.  
"ඕකේ,බායි"  
"කවුද පරණ ලව් එකක්ද"  
"ලව් එකක් මත් නෙවෙයි, හෙට ඩිනර් වලට එන්නලු"  
" යනවද ඉතින්?"  
" තවම හිතුවෙ නැහැ."  
සරාගෙ මුහුණෙ එලිය චුට්ටක් විතර අඩු වෙල. දවසෙම වැඩ කරල නිසා තෙහෙට්ටුත් ඇති. දුලිතයි, රුවනියි අපි එනකල් මග බලා ගෙන ඉන්නව. මම සරාව ඒ ගොල්ලන්ට අඳුන්නල දුන්න. 
" මෙයාගෙ කවි පොත් අපි කියවල තියෙනව...ඔක්කොම වගෙ." දුලිත කිව්ව. රුවණිත් කිව්ව, "ඔයාගෙ අර පත්තරේ කොටස් වශයෙන් යන කතාව ලස්සනයි" කියල. දැන් සරාට ෆුල් ෆිට්. ඉතින් මම රෑට ඉන්න ලැහැස්ති වෙල ආවත් සරා ආවෙ ඔෆිස් ඉඳල නේ. එයාට අඳින්න ඇඳුම්?
" මේ අපි ඔක්කොම,මගෙ රෑට අඳින ගවුම් අඳිමු...ජොලියකුත් තියෙන්න එපාද..නේද මලිති" ඒ දුලී.
"අන්න වැඩේ..නියමයි" කට්ටිය ඇඟ පත කාරිය සෝද ගෙන, එකම විදියෙ ගවුම් ඇඳ ගත්ත...ඔන්න ඉතින් සාලෙ ඉඳගෙන මල් වත්තකම මල් කඩන්නයි යන්නෙ. ගෙදර උදව්වට ඉන්න කමලා වීදුරු, කට ගැස්ම එහෙම ගෙනැත් තියෙනව.. කට්ටියම සුදු වයින් බොන්නයි යන්නෙ. සංස්කෘතික අමාත්‍යංශෙ කවුරුත් එහෙම නැහැ නේද...ළඟ පාතක. නැත්නම් මේ බොන සීන් එකට කොටු දමයි... 
කට ගැස්මට පොල් රොටියි, කට්ට සම්බලුයි...අල පෙතිත් බැදල තිබුණ..තව එකේක රටවල චීස්...දුලිතගෙ ප්‍රියතම ආහාරය චීස්. ඒගොල්ලො වයින් එක්ක චියර්ස් කියද්දි මම ජින්ජර් බියර් එක්ක චියර්ස් කිව්ව. ඉතින් ඔහොම වැඩේ ගියා. අපි කතා කරපුව ලියන්න ගියොත් අතුරු කතා දහයක් විතර ලියන්න පුළුවන්..ඔන්න කොච්චර නියමෙට සෙට් වුණාද කිව්වොත් සරා දුලිතගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන චැට්. මම ඉතින් වෙරි නැති නිසා පින්තූර අරගෙන තියා ගත්ත පස්සෙ පෙන්වන්න කියල. අපි හතර දෙනා කැට් වෝක් දැම්ම...ෆැෂන් පෙරේඩ් එකක් කළා...සින්දු කිව්ව....නාට්‍ය රඟ පෑවා.
දුලී මනමෙ කුමාරයා..මම මනමෙ කුමරි..  
" ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ.... පූෂ්පයෙන් වන සුන්දර වේ..ලංකෘත වේ" අනිත් දෙන්න ගායක කණ්ඩායම. ෆුල් සොමි....අහල පහළ වැඩිය ගෙවල් නැති නිසා හොඳයි...නැත්නම් කැකිරි පැළුව තරමට ගලුත් එන්න තිබුණ වහලට. 
ඉතින් රෑ එකහමාර වෙනකල් පිස්සු නටලා, අපි දැන් නිදා ගන්නයි යන්නෙ. එතකොටයි මතක් වුනෙ දුර කතනෙ..තවමත් අත් බෑගයෙ. නිකමට බැලුව මිස්ඩ් කෝල්ස් තියෙනවද කියල..තියෙනව නේන්නම් දෙකක් ..මෙසේජුත් දෙකක්. සුමිත් ගෙන්. 
'ගුඩ් නයිට් මැණික....මිස් යූ. මොකද ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැත්තෙ' මේ පාර මූ මොකාටද අඳින්න හදන්නෙ...?මොකක් හරි ජංජාලයක් තමයි...
සරායි මමයි එක ඇඳක....රුවිනි දුලී ගෙ කාමරේ... 
රිදී පාට සඳ එළිය මල් කවුළු අස්සෙන් රටාවකට කාමරේට ඇවිල්ල අපි යන්නත් ඉස්සරින්. හුළඟට හෙලවෙන අතු පතර එක්ක ආලිංගන නැටුමක...හරිම හරි රොමැන්තික ගතියක්...මම සඳළු තලයට ගියා...සිංහල උළු වහළ මත පිපිච්ච කඩුපුල් මල් සුවඳයි..සේපාලිකා මල් වල සුවඳයි....කොහේදෝ අමුතු ලෝකෙකට මාව කැන්දන් යනව වගෙ. මම ඇස්දෙක පියාන මල් සුවඳ ආඝ්‍රාණය කළා. නාන කාමරේ ඉඳලා ආපු සරාත් මම ඉන්න තැනට ආවා..... "හරිම සුන්දරයි නේද" මම ඇහුවා එයාගෙන්....  
" අරයත් හිටියනං තවත් සුන්දරයි...මට මෙසෙජ් දෙකක්ම එවල"
" මොනවද කියල තියෙන්නෙ?"  
'ගුඩ් නයිට් මැණික....මිස් යූ. මොකද ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැත්තෙ'කියල. මට ලැබුණු මෙසේජ් එකමයි...මම ඉවසුවා. මුන් දෙන්න සෙට් වෙලාද? අහන්නත් බැහැ....දැන් රෑ වෙල, අපි නිදා ගනිමු මම කිව්වා. මට අහන්න හිතුනෙ නැහැ කවුද එයා කියලා.
දුලී ලගෙ ගෙදර තියෙන වියන් ඇඳන් වලට මම හරිම ආසයි, මට අපේ මහ ගෙදර මතක් වෙනව...අපේ මහගෙදර තිබුණ කළුවර වියන් ඇඳක්..ලස්සණට මිදි වැල් වලින් මල්කම් ලියකම් කරපු. මිදි පොකුරුත් හරිම අගේට ඇඳ විට්ටමේ කැටයම් කපලා.
මම පුරුද්දට තෙරුවන් වැඳල, කරණීය මෙත්ත සූත්‍රය කිව්ව ඇස් පියාගෙන. චුට්ටක් අද දවස ආවර්ජනය කරන්න ඕනි...ඔන්න එතකොටම මගෙ ළඟට කිට්ටු වුණු සරා මගෙ නළල ඉම්බා. මම ඇස් දෙක ඇරියා...  
"බය වුණාද....?"  
" ඔව්, ටිකක් විතර.....ඔයා 'ලෙස්' වෙලාද කියල හිතුණා". 
" අනේ නැහැ, ඔයා ඇස් දෙක වහගෙන එහෙම ඉන්න කොට හරියට ආදරේ හිතුණ....හරියට භාවනාවක් වගෙ."
මට ඇත්තටම ලැජ්ජ හිතුණා. ඉතින් අපි තව ටිකක් වෙල අනික් යාලු කෙල්ලන්ගෙ කොල්ලො ගැන එහෙම කතා කරල නින්දට වැටුණා. පහුවදා උදේ මම අවදිවුණේ සුමිතයාගෙ එස් එම් එස් එකකින්...
එතකොටම සරාගෙ ෆෝන් එකේ මෙසෙජ් ටෝන් එක. 
'එක්ස්කියුස් මි බොස්, දෙයාර්ස් අ මෙසෙජ් ෆො යු' මම පණිවිඩය කියෙව්ව. 
'ගුඩ් මෝනින්ග් රත්තරන්, ඩිඩ් යු ස්ලීප් වෙල්? ලව් යු මැණික" 
මූට නං මොකද්දෝ වෙලා.....
" කවුද ඔයාට මෙසෙජ් කරල තියෙන්නෙ..." සරා අහනවා.
" අර ඊයෙ කතා කරපු යාළුවා....අද ඩිනර් වලට එනවද අහනව...."
" මලිති, මගෙ අලුත් ලව නම් මට පණ ඇරල ලව්..මේ බලන්නකො මෙසෙජ් එක"
'ගුඩ් මෝනින්ග් රත්තරන්, ඩිඩ් යු ස්ලීප් වෙල්? ලව් යු මැණික" 
මට හිතා ගන්න පුළුවන් දැන්..එකම මෙසෙජ් එක ...සුමිත්ගෙ නම්බර් එක මම දැක්ක...ඒක තමයි මට කිව්වෙ ඩිනර් වලට එන කොට සරාව එක්ක එන්න එපා කියලා. මම හිතා ගත්තා ඩිනර් යන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ කියල. සුමිත් දන්නෙ නැහැ අපි දෙන්න අද මුණ ගැහෙන බව. මම කිව්වෙත් නැහැ. සරා කියලත් නැහැ.
ඔන්න දැන් අපි උදේට කන්න ගියා. ඔන්න ආයෙත් එස් එම් එස්..... 
"මිස් යු ඩාලිං, කෝල් මි සූන්" මම හිනාවෙල පාන් පෙත්තක බටර් ගාගත්තා. එතකොටම සරාගෙ ෆෝන් එකට එස් එම් එස්. රුවනියි, දුලියි හිනා වෙනව.. 
" මුන් දෙන්නට එක කොල්ලෙක්ද කොහෙද ලව්. එකම වෙලාවට කොහොමද එස් එම් එස් එන්නෙ?" ආදරෙයි කැස්සයි හන්ගන්න බරිලු නේ?
අනේ පව්....සරා කොච්චර සතුටුද කියල අහනව නම් එයාගෙ මෙසෙජ් වලට, මෝඩි වගෙ අපි තුන්දෙනාටම පෙන්නුව. ඒ තරමට ත්‍රිල්...මට ආපු මෙසෙජ් එක මයි. මට දුකයි, මම සුමිත්ට පස්සෙ බනින්නම් කියල හිතුවා. ඒත් මගෙ මූණෙ වෙනස් කමක් වුණාද මන්දා. සරා එක පාරටම මගෙ ෆෝන් එක අර ගෙන බැලුවා. මට තරු පෙනුණා.එයා දැක්ක සුමිත්ගෙ අංකය...මුකුත්ම කිව්වෙ නැහැ....දුලී ත්‍රී වීල් කට එන්න කිව්වා, සරාට ඔෆිස් යන්න...මට සරා ගැන දුකයි...මම එයාට යන්න ඇරියා. මම පස්සෙ යන්නම් කියල හිතුව. ඔන්න සරාගෙන් මෙසෙජ් එකක්..
"සොරි, මට ඔයාට කියන්න බැරි වුණා සුමිත් ගැන. ඔයා එයාට ආදරේද?"
" නැහැ, මගෙ හොඳම යාලුවෙක් විතරයි...ඔය දෙන්නට මම සුබ පතනව, මම ඩිනර් යන්නැහැ, එයත් එක්ක. මම එයාට දැන්ම කතා කරල මේ ගැන කියන්නම්"
මම සුමිත්ට කතා කළා. " අයියෝ....මලිතියෝ...ඔය ගෑණි දැන් මගෙ ඔලුව කයි...මොකක් හරි කරන්නෝ"
"මම යනවනෙ තව සති දෙකකින්...මම ඩිනර් එන්නෙත් නැහැ..ඔයා අද එයාව එක්ක යන්න කොහේ හරි...ෂේප් න්‍යාය දාපන්..උඹ දන්නව නේ?"
" අනේ, ප්ලීස්, ඔයා එන්න බබා...කොච්චර කාලෙකින් දැක්කෙ නැද්ද?"
"සොරි, සුමිත්, තව ගෑණියෙකුගෙ ඇස්වල කඳුලු දකින්න මම කැමති නැහැ...අපේ පරණ යාළුකම තියා ගෙන ඉමු" මම කිව්වා.
පස්සෙ සරා 'පොදු පෙම්වතා' කියල කවි පන්තියක් ලියලා මට ඊ මේල් කරල තිබුණා. එතැනින් පස්සෙ ඒ දෙන්න හොඳට හිටියා වෙන්නැති...සරා මට ලියන එක, කතා කරන එක, ඊ මේල් එවන එක නැවැත්තුවා...මම ගැන දෙන්න මොන මොන විදිහට අර්ථ කතනය කර ගත්තද කියල මම දන්නෙ නැහැ......සරාට එයාගෙ පෙම්වතා ලැබුණ..මට හිටිය හොඳම යාලුවො දෙන්නෙක් නැතිවුණා.
හා...! එකක් කියන්න අමතක වුණා...සුමිත් වෙනම ඊ මේල් අයි. ඩී. එකක් හදා ගත්ත, මට ලියන්න. මොකද ප්‍රේමෙ වැඩි කාලෙ පාස් වර්ඩ් එක සරාට කියල තිබුණ නිසා. මම ඒ වුණාට සුමිත්ට මේල් යවන එක නැවැත්තුව...  


මොකටද නිකන් පව් පුරව ගන්නෙ කුරුළු කූඩු වලට ගල් ගහලා?

19 ක් අදහස් දක්වලා.

Friday, August 28, 2009

'දේව ගණ'

Friday, August 28, 2009
ඔන්න අද මම කියන්න යන්නෙ හොල්මන් කතාවක්...මොකද මල්ලිල හිනාවෙන්නෙ? මම හොල්මන් කතා කියන්න දන්නැහැ කියලද...හැබැයි එකක් කියන්නං. ඇත්තටම අර 'වැම්පයර් මූවි' වලට නං මම කැමති නැහැ...ඒව බැලුවම හීනෙන් බය වෙනව.  
හොල්මන් කතාව මෙහෙමයි....අපේ අත්තම්ම කිව්වා,"ලොක්කි, ඔයා දේව ගණ නෙ, ඔයාට හොල්මන් පෙනෙන්නෙ නැහැ" කියල. මටත් හෙන ත්‍රිල්. එකක් මට හොල්මන් පෙනෙන්නෙ නැහැ, කියපු එකට. අනික මම දේව ගණ කියපු එකට.මොකද දන්නවද ඒ? අපේ පංසලේ ලොකු හාමුදුරුවො දවසක් කිව්ව; දේව ගණ වෙල මනුස්ස ලෝකෙ උපදින්නෙ, ගිය ආත්මෙ දිව්‍යලෝකෙ හිටපු අය කියල.....ඒ කියන්නෙ........ මම් නමැති පින්වත් කුමාරිකාව දිව්‍ය ලෝකයේ සිට මනුස්ස ලෝකයට ප්‍රාදූර්භූත වූ වග නොවේද පින්වතුනි?  
ඔන්න එක කතරගම වන්දනා සමයක අපි කතරගම යන්න පිටත් වුණා. මම හිතන්නෙ මට අවුරුදු දෙකක් විතර ඇති....මට ඒ වුනාට හොඳට මතකයි සේරෝම. මේ..ඕගොල්ලො ඇස් ගහ ගහ ඔච්චං කරන්න එපා...එතකොට අපෙ අප්පච්චි වැඩ කළේ බුත්තල ආදායම් පාලක නිලධාරි කාර්යාලයෙ. වන්දනා සමයට අප්පච්චිට ඩියුටි තියනව එහෙ බලන්න...වන්දනා කාරයන්ට ජල පහසුකම්, වැසිකිළි පහසු කම්, නවාතැන් පහසුකම් තියෙනවද කියල හොයල බලන්න..  
ඔන්න බුත්තල ඉඳල ජීප් එකෙ ගිහින් මගදි කරත්තයකට කට්ටිය ගොඩ වුණ අ...මමයි,අම්මයි, අප්පච්චියි, මගෙ අර වාත මල්ලියි...තව කන්තොරුවෙ අප්පච්චිගෙ සහපිරිවර...ආහ්...!අපිත් එක්ක සෙලම් කරන බන්ඩා ....අම්මගෙ අත් උදව්වට ඉන්නෙ එයානෙ. අර පස්සෙ කාලයක නාට්‍යයක් බලන කොටත් මට බණ්ඩව මතක් වුණ... 
"කඩේට පලයන් චාන් චූන් අරක ගෙනෙන් චාන් චූන් මේක ගෙනෙන් චාන් චූන්" බණ්ඩගෙ රෝල් එක ඒක තමයි...ඔය මම කිව්වෙ...දැන් ඉතින් යනව බණ්ඩත් එක්කල නාට්‍ය පස්සෙ....ගියර් එක මාරු කරගෙන එන්න වදේ...අයියෝ...! හොල්මන් චැනල් එකට දාන්න....රයිට්..! 
කතරගම කැලේ ගස්වල කොළ හුලඟ උදුර ගෙන ගිහිල්ල වගෙ. කොහෙට ගෙනිච්ච්ද දන්නෙත් නැහැ..බිම වැටිලත් නැහැ. මම හිටියෙ අප්පච්චිගෙ කර උඩ...මල්ලි අම්මගෙ ඔඩොක්කුවෙ, අම්ම කරත්තෙ ඉඳගෙන..ඇත්තටම මට මතක නැහැ ජීප් එක කැඩුනද? ඇයි අපි ජීප් එකෙන් බැහැල කරත්තෙකට නැග්ගෙ..?
ඕගොල්ලො දන්නවද ඉස්සර අප්පච්චි මාව කරේ තියා ගත්තම මම කියන දේ... ඔට්ටුයි කියන්න බැහැ... "රජ්ජුරුවෝ උඩයි..උඩයි.. කළු කොල්ලෝ බිමයි බිමයි" අපේ මල්ලිට තදවෙනවා අම්බානට. ඔන්න ආයෙත් පැන්න නේද පීලි... ඉරත් නෝක්කඩුවට වගෙ හැංගෙන්නයි හදන්නෙ. අහසෙ එක පැත්තක් රත් කෙහෙල් ගෙඩියක් වගෙ රතුම රතුපාටට සළු පිළි ඇඳ ගෙන. තැනින් තැන වළකුළුත් අවුරුදු කුමාරි තරඟෙකට ඇවිල්ල වගෙ එහෙට මෙහෙට ගමන් ලතා. ඔන්න කලුවර තීරු තීරු හිමීට හිමීට ආකාසෙන් බැහැල එනව, අර රතු පාට..දම් පාට වලාකුළු අස්සෙන්... 
කරත්තෙ දක්කන මාමා ලන්තෑරුම පත්තු කළා. අප්පච්චි කෑලි පහේ විදුලි පන්දම දල්ව ගත්ත...මට මෙලෝ කෙහෙල්මලක් තේරෙන්නෙ නැහැ...නිකන් දෝලාවෙන් යන රාජ කුමාරි වගෙ අප්පච්චිගෙ කර පිට යනවා...
කාරත්ත මාමා හරකුන්ට කතා කරන සද්දෙ අරුනම අපිට ඇහෙන්නෙ රෑහියන්ගෙ පළඟැටියන්ගෙ රැප් සින්දු විතරයි...මොකද දන්නවද එහෙම කිව්වෙ ඒවත් අර රැප් සින්දු වගෙම අප්‍රමාන විදිහට කර්ණ රසායණ නිසා...ඔහොම ඉතින් අපි ඉදිරියට ඇදෙනවා... 
එක පාරටම කැලේ කොළ අතු බිඳෙන සද්දයක් ඇහුනා. ඔක්කොමල උඩට ගත්තු හුස්ම පහලට හෙළන්නෙ නැතුව පාෂාණිභූත වෙල... තනියෙක්ද දන්නෙත් නැහැ..තුන් පත් රැනක්ද දන්නෙත් නැහැ....මොකෙක් හරි වල් අලියෙක්ම තමා. අම්මගෙයි, අප්පච්චිගෙයි අනික් උදවියගෙ මුහුණු වල,ඇස් වල භීතිය, ත්‍රාසය, සන්ත්‍රාසය..සේරම කලවමට කාල වර්ණයේම එක එක ෂේඩ්ස් වලින් පින්තාරු වෙනව.
අප්පච්චි ඉතිපිසො ගාථාව කියනව ඇහිල එයාගෙ සපොර්ට් එකට මමත් ඉතිපිසො භගවා අරහං කියල කියන්න පටන් ගත්තා. කොල අතු බිඳින සද්දෙ ළඟින් ඇහිල දුරින් ඇහිල නෑසී ගියා. අප්පච්චි අම්ම ලඟට ඇවිත් මාව උකුලට අරගෙන අම්මගෙ ළඟින්ම කරත්තෙ වාඩි වුණා.
"හාමිනේ,බය වෙන්න එපා..අපට කතරගම දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි" කියල අම්මගෙ දාඩිය පිපුණු නළල අත ගෑවා..එතකොටම සුදු ධෝතියක් ඇඳගත්තු, සුදු සළුවක් පොරව ගත්තු ස්වාමි කෙනෙක් වගෙ කෙනෙක් කැළේ අස්සෙන් අපි දිහාවට ආවා. හැමෝම බයෙන් වෙව්ල වෙව්ල හිටිය නිස ඒ තැනැත්තා කොහෙන් ආවද කියල කාටවත් නිච්චියක් නැහැ.
" ආයෙ තනියා එන එකක් නැහැ...මහත්තයල මේ පැත්තෙන් යන්නකො....තව පොඩ්ඩ දුරයි, දෙවි පිහිටයි" කියල පහළට එල්ලා වැටුණු අත්තකින් කොළ අත්තකුත් කඩා ගෙන අර අලියා කොළ අතු කඩපු පැත්තටම යන්න ගියා. ඒ පැත්තෙ මම දැක්ක මොකද්දෝ සහන් එලියක් වගෙ අමුත් ආලෝකයකුත්...
මේ ඇත්තමයි, අප්පච්චි ඊට පස්සෙ එයාට බත් මුලක් දෙමු නේද කියල තව මාමා කෙනෙක් එක්ක ටික දුරක් ගියා...කිව්වට විශ්වාස කරන එකක් නැහැ ඕගොල්ලො...එයා අන්තරස්ධාන වෙලා.
අප්පච්චි ඇවිත් අපෙ අම්මට එත කොට කිව්ව," ඒ කතරගම දෙයියන්නාන්සෙ...අපිට සලකුණක් කරා අනතුරක් නැහැ කියල. දැන් ඉතින් බය නැතුව අපට යන්න පුලුවන්"කියල. අම්ම ඔසරි පොටෙන් කඳුළු පිහද ගත්හා... අම්මට අඬන්න තරම් දෙයක් අප්පච්චි කිව්වෙත් නැහැ..ඒත් එයා අඬනවා....
ඒ සුදු ඇඳ ගත්තු ස්වාමිගෙ රුව මට තවම මතකයි..එයාගෙ එක අතක පිත්තල පැණ් කෙන්ඩියක් තිබුණා. අනෙක් අතේ කෝටුවක් තිබුණ...


මටත් පස්සෙ හිතුණ, අත්තම්ම කිව්ව වගෙ, ' දේව ගණ අයට හොල්මන් පෙනෙන්නෙ නැහැ නෙ..දෙවියන් විතරයි පෙනෙන්නෙ' කියලා....

18 ක් අදහස් දක්වලා.

Wednesday, August 26, 2009

'නහී වේරෙන වේරානි'

Wednesday, August 26, 2009
කතන්දර කිය කියා හිටියට මම ඕගොල්ලන්ට වැඩිය මොකුත් කිව්වෙ නැහැ නේද මං ගැන..? මම ටිකක් මුරණ්ඩු ගති තියෙන කෙනෙක්...අකීකරුමත් නැහැ...හැබැයි හැමෝම කියන දේවල් අහන්නෙත් නැහැ. අනික් අය කියන දේවල් හොඳට අහ ගෙන ඉඳල මට ඕනි දේ කරනව.
වැරදුණත්, පැරදුණත් මම ගත්තු තීරණ නේ?
මම ගොඩක් රැඩිකල් + නිදහස් මතධාරී + රොමැන්ටික්+ 20% විතර සම්ප්‍රදායික ඒ වගේම වෙඬරු වගෙ හදවතක් තියෙන ගොඩක් සංවේදී පොරක්....පොරක්ද පොරියක්ද මම දන්නැහැ....පොත් කියවද්දිත් අඬනව. චිත්‍රපටි බලද්දිත් අඬනව..කොටින්ම කියනව නම් මට අපේ මල්ලි දාපු නම, 'ඇඬුමි'. ලස්සනයි නේද? මම එයාට කියන්නෙ 'නිල මැස්සා" කියල.  
ඉතින්..ඔන්න අදත් කියන්න ආපු දේ වලින් පීලි පැනලා මම වංක ගිරියෙ යනවා. අර 20% සම්ප්‍රදායික කතාවට සමහරු ඔච්ච්ම් කරනවා. ඒ වුණාට මගෙ හිතේ 20% නියෝජනය කරන ගැහැණියට ලොකූ සොෆ්ට් කෝනර් එකක් තියෙනවා.එයාට තමයි මම මගෙ ජීවිතය චැනල් මාරුකරන දුරස්ථ පාලකය දීල තියෙන්නෙ. 
'දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග' කියනවනෙ..ඉතින් මම නමැති දඩබ්බරී සීමා මායිම් පනින්න හදනකොට අර සම්ප්‍රදායිකා තමයි ටොක්කක් ඇනල මාව පියවි ලොවට ඇදල ගන්නෙ. එයා හිටියෙ නැත්නම් මම මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා, රූස්ස ගස් වෙලා. දඩබ්බරීටත් මම ආදරෙයි...එයා තමයි කොලු වැඩ කරන්නෙ. පිරිමි වැඩ කරන්නෙ. හැබැයි පිරිමි කරන සේරම දේවල් ගැහැණුන්ට කරන්න බැහැ කියලත් මම හොඳාකාරවම දන්නව. මොකද ගැහැණු, පිරිමි ජෛව විද්යාත්මකව වෙනස් නෙ? කාය ශක්තිය වෙනස්..ගැහැණුන්ගෙ ලලනා ලාලිත්‍යය විනශ කරගෙන පිරිමියෙක් වගෙ වෙන්න යන්න මම නං ඇත්තටම කැමති නැහැ. ගැහැණු කම , සුන්දරත්වය, ලාලිත්‍යය එහෙමත් රැක ගෙන පිරිමිත් එක්කම අත් වැල් බැඳ ගෙන ඉස්සරහට යන එක නෙ හරි..මන්දා..මගෙ මොට්ට මොළේට නං හිතෙන්නෙ එහෙමයි.. 
ඔන්න මට ටැපලිලා..මාක්ස් සහෝදරයාද ලෙනින් සහෝදරයාද කිව්වෙ අර ස්ත්‍රී පක්ෂයේ සංවර්ධනයක් නැතුව කෙරෙන සංවර්ධනය අසම්පූර්ණයි කියල..අනේ..ඔය සහෝදර සහෝදරියො මට සහයෝගය දෙන්න කෝ..චුට්ටක් මතක් කරලා.. හා..හා...බැරිනම් කමක් නැහැ. කවුරු කිව්වත් ඒක බොරු නෙවෙයි නේ..? ඒ කතාවලින් වැඩක් නැහැ, අපට. ඉතින් මගෙ ඔල මොට්ටල කතා වලට සමාවෙලා යන්න ආපු ගමන යමුකො. මා ගැන දැන් චුට්ටක් දන්නව නේ..ඉතිරිවා පස්සෙ කියන්නම්. මගෙ කතා කියවන කොට වැටහේවි ඕගොල්ලන්ට මගෙ හැටි.
ඔන්න ඉන්ද්‍රගෙයි මගෙයි ප්‍රේමෙට ඒ ගොල්ලන්ගෙ තාත්ත උදැල්ල දැම්ම..එයාව කොළඹ ඉස්කෝලෙකට දමල. ඉන්ද්‍ර මට කියනවා අපෙ අප්පච්චිටත් කියන්න ලු මාව කොළඹ ඉස්කෝලෙකට දමන්න කියල. මම අම්මගෙ මාර්ගයෙන් අප්පච්චිට මගෙ අදහස දන්නල යැව්වා...හැබයි ප්‍රතිඵලය බිංදුවයි. 
මම ඉන්ද්‍රට ලියුමක් ඇරියා මොනවා හරි කරන්න කියලා. එයා අපේ විද්‍යාව සර්ට මේ ගැන කියලා. ඉතින් දවසක් සෙනසුරාදාවක සර් ආව අප්පච්චිව මුණ ගැහෙන්න..තව සර්ල දෙන්නෙකුත් සර් එක්ක ආවා. මම දොර මුල්ලට වෙලා ඒ ගොල්ලන්ගෙ කතාව අහගෙන හිටියා. 
" අත්තනායක මහත්තයා...අපි ආවෙ මලිතිගෙ උසස් අධ්‍යාපනය ගැන කතා කරන්න..." 
" මොකෝ, අපෙ ළමය හොඳට වැඩ කරන්නෙ නැද්ද පංතියෙ..ටිකක් නැටුමට, ගැයුමට බරයි නේද?"
" නැහැ..නැහැ... ඒක නෙවේ...අපෙ ඉස්කෝලෙ දැන් ගුරුවරුත් මාරුවෙල ගිහින්...එච්චර හොඳ ප්‍රතිඵල බලපොරොත්තු වෙන්නත් බැහැ...මේ කොලඹ ඉස්කෝලෙකට වත් දම්මොත් හොඳයි නේද?"
" අපෝ..මතක් කරන්න එපා...මෙයා ගෑනු ළමයෙක් නෙ....මොන රස්සවලට යවන්න කියලද? තව ටිකක් කල් ගියහම කාට හරි බන්දල දෙනව මිසක, මොකට ඔච්චර වියදම් කරනවද? (ඔන්න අපිව තක්සේරු කරන හැටී) ඇත්තම හේතුව..මේ..මලිතිගෙ මල්ලි...නිහාල්..එයා ලබන අවුරුද්දේ ඕ ලෙවල් කරනවානෙ..එයාව කොහෙ හරි හොඳ ඉස්කෝලෙකට දමන්න තමයි මම හිතා ගෙන ඉන්නෙ. පුතාට ඉහලට උගන්වන්න ඕනි මහත්තයො..කෙල්ලන්ට මොකට ඔච්චර උගන්වනවද?" මට යටි ගිරියෙන් කෑ ගහල අඬන්න හිතුනා. මල්ලි කවදාවත් පලවෙනිය වෙන්නෙත් නැහැ...ඔන්න...ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මට හරස් වෙච්ච හැටි....
ඉතින් අම්මා තේ හදා ගෙන ආවා..සර්ල තේ බීලා යන්න ගියා..සර්ල කොච්චර කරුණු කිව්වත් අප්පච්චිගෙ වානේ හිත උණු කරවන්න කාටවත් බැරි වුණා. කාටද මේ අවනඩු කියන්නේ?
මල්ලි ඊලඟ අවුරුද්දේ විභාගේ ගත්ත. ප්‍රථිඵල එන දවසෙ අප්පච්චි හිටියෙ බොහොම බලාපොරොත්තුවෙන්, හරියට මගෙ දිහාවට උඹට දෙන්නම් බැටේ කියන්න වගෙ.  මල්ලි වැඩ හතරයි පාස්. මට පුංචි සන්තෝසෙකුත් ආව. නපුරු වින්දනයක්...ඒත් මම 'නහී වේරෙන වේරානි' කියල හිත හදාගෙන මල්ලිට කිව්ව, " ඔයා ලබන පාරත් ලියන්න මල්ලි. එතකොට ඔයට හොඳට පාස් වෙන්න පුළුවන්" කියල.
හැබැයි අප්පච්චිත් එක්ක නම් මගෙ හිතේ හට ගත්ත, නිකන් අප්‍රසන්න කම වගෙ ගතිය ටිකක් කල් තිබුණ. මම පශ්චාත් උපාධියත් සමත් වුණාම මම කිව්ව අප්පච්චිට,අප්පච්චිගෙ කීකරු පුත්‍රයාට වඩා දඩබ්බරී නම් වූ අකීකරු දියනිය ගොඩක් ඉගෙන ගත්තා කියල. ඔය සිද්දියත් මතක් කරල දුන්න. 
"වෙන්න තියෙන දේ කොහොමත් වළක්වන්න බැහැ පුතේ. ඔයා දිනනවා කියල මම දැනගෙන හිටියා" කියල කිව්ව. මට දුකත් හිතුන අප්පච්චි ගැන.


අදට මගේ කතාව මෙතැනින් අවසානයි..අසා සිටි ඔබ සැමට ස්තූතියි.

16 ක් අදහස් දක්වලා.

Tuesday, August 25, 2009

රන්මුතු දූව

Tuesday, August 25, 2009
ගෙම්බො + සබන් කතාවට ගොඩක් අය කැමතියි කියල මට ප්‍රතිචාර ලැබුණ...ඔය සබන් කතාවෙ ලස්සනම කෑල්ල තමයි..හැම ඉස්කෝලෙකම පිරිමි ළමයි මට මලිති වෙනුවට සබන් කියල කියන්න පටන් ගත්තා..මාව දකින කොට 'ස් ස් ස් ස් 'කියල පටන් ගෙන 'සබාආආඅන්න්න්...'කියනවා..මම ගනන් ගන්නැතුව යනව..මගෙ යාලුවො තමයි කොල්ලො එක්ක වලි..මට මොකෝ..
හා..ඉතින් ඕගොල්ලන්ගෙ සිත් ගන්නා සුළු ප්‍රතිචාර හිරු කිරන වලට ඔන්න සිත් පඳුරේ පිපුනෙ නැතෑ පින්න මල් පොකුරක්ම. පිපිච්ච පින්න මල් සුවඳත් හිතේ පුරවගෙන මම යට ගිය දවස පුරවරයට පිවිසෙන්න කියලා සරුංගල් වාහනේටම නැගල ගමනාරම්භ කළා විතරයි.....මට ඇහෙන්න ගත්ත ලස්සන ගීතයක්....හැබැයි පැරැණි ගීතයක්..  
'මොකද්ද දන්නවද ඒ සින්දුව?' කියල ඕගොල්ලන්ගෙන් ඇහුවට ඕගොල්ලො ඉතින් කියන්න දන්න එකක්යැ..'පුංචි පහේ මං' සෙල්ලම කර කර ඉන්න බැහැ මෙතන...අපි හැමෝටම වැඩ තියෙන නිසා ප්‍රඩක්ටිව් වැඩක් කරමු..නේද?  
'ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්...ඔරුවට ගොඩවී මා එනවා..' අපේ ප්‍රේම පුරාණයෙ ඔය ගීතයට ලොකු තැනක් තියෙනවා. හේතු කාරණා කිහිපයකුත් තියෙනව.. මතකයිනෙ මම කිව්ව ඉන්ද්‍ර හිටියෙ අපෙ ලොකු අම්මිගෙ ගෙදර කියලා...මේ ලොකු අම්මිගෙ පුතා හිටියෙ එතකොට ඔස්ට්‍රේලියාවෙ..ඔන්න නිවාඩුවකට මේ අයිය ලංකාවට ඇවිල්ල. එයාට අපි කියන්නෙ ලොකයියා කියලා. ඉතින් ලොකයියා ගෙදර ආවම අපිව බලන්නත් එන එක එනවමයි.ඔන්න ලොකයියා අපේ ගෙදර ඇවිල්ල, අම්මටයි අත්තම්මටයි වැඳල එහෙ විස්තර කියනවා...ගම් පලාතක වගේ රෝහලක තමයි වැඩ කරන්නෙ...ගොවිජනතාව තමයි ඒ කවුන්ටියෙ ඉන්නෙ...  
අපෙ අත්තම්ම එතකොට ලොකයියගෙන් අහුව.." ඈ බං ලොකු පුතේ...සුද්දොත් අපේ ගොයියො වගෙ අමුඩ ගහ ගෙන මඩේ බහිනවයැ.."
ලොකය්යට හිනා... "එහෙ හදන්නෙ තිරිඟු, ඉරිඟු වගෙ දේවල් අත්තම්මෙ...වී ගොවිතැන් නෙවේ"  
එදා අපෙ අප්පච්චි ගෙදර නැහැ, කන්තෝරු ගිහින්.. අපිට නිවාඩු කාලෙ.. "සුදු පුන්චි, අපි රන්මුතු දූව බලන්න යනවා..ලොක්කිවත් එක්ක යන්නං?" ලොකයිය අම්මගෙන් ඇහුවා...මාර චාන්ස් එකක් නෙ ...මට හිතුන...
"වෙන කවුද යන්නෙ ලොකයියෙ"  
"අක්කිල දෙන්නයි, මමයි, ඉන්ද්‍ර මල්ලියි..." 
ලොකයියා තවම අපේ ගැන දන්නෙ නැහැ...ලොකු අම්මි සැක කරන්නෙත් නැහැ..ඔන්න ඉතින් මගෙ සිත් බැද්ද පුරා සුදු රෙද්ද වගෙ ඉද්ද සමන් මල් පිපෙන්න ගත්තා... 
"ලොක්කියො..ඔයා එහෙනං ඇඳගෙන ඉන්න මම අනික් කාන්ඩෙත් එක්කර ගෙන එන්නම්.."
මම වැඩිය සතුට පෙන්නුවෙ නැහැ..බයයි අම්ම එපාකියයිද කියලා. හවස තුනයි තිහේ ෂෝ එකට තමයි දැන් මේ අපි යන්න හදන්නෙ.. ලා නිල් පාට රැලි ගවුමක් ඇඳ ගෙන මම අම්ම ලඟට ගියා කොන්ඩෙ පීරගන්න...මගෙ කොණ්ඩෙ දණහිසටත් පහලට වැටෙන්න දිගයි ඒකාලෙ..  
"කටේ පණ්ඩිතකම තිබ්බට තාම තනියම කොණ්ඩෙ ගොතාගන්න බැහැ..එන්න..එන්න..මෙහාට"  
අම්මා මගෙ කොණ්ඩෙ ගැට කඩල කරල් දෙකක් වෙන්න ගොතල..ගවුමට මැච් වෙන්න නිල් පාට පීත්ත පටි දෙකකින් ගැට ගැහුව... 
'මේ...එතකොට මොකද්ද අර ස්වර්ණ විමානෙ සින්දුවට තියන සමබන්ධෙ...'  
මේ..කරුණාකරල හුදී පාඨක ජනතාව ඉවසීමෙන් ඉන්නවද? පනින්නැතුව ඉන්න අනේ....මගෙ කතන්දර වල මුල මැද අග සම්බන්ධයක් තියෙන එළ කතා...
ඔන්න කට්ටිය එනවා..ගල් පඩි පේලිය නැග ගෙන..මම ඉක්මනට අපෙ ගෙදර නැවතිල හිටිය නර්ස් අක්කලගෙ කාමරෙට ගිහින් වූඩු සුවඳ විලවුන් ටිකක් හොරෙන් ගා ගෙන ආවා. 
"අදත් අර ලමයගෙ සෙන්ට් ගෑව නෙ..මෙයාට නං..."
'අනේ අම්මෙ අද විතරයි...එහෙනම් අප්පච්චිට කියලා එකක් ගෙනත් දෙන්න කො'...
" ඔව්...දැන් උඹට එච්චර තමයි අඩු" අම්ම මට එහෙම කියල අනික් කට්ටියව ආදරෙන් පිළිගන්නවා.
"පුංචියො..පරක්කු වුණා..අපි එහෙ නම් යන්නම්.." අපි පයින්ම පිටත් වුණා, සිනමා ශාලාවට..හැමෝටම හොරෙන් දෙන්නෙක් නෙත් වලින් කතා කරනව..ටිකට් ගන්න අනන් මනන් අපිට නැහැ නෙ..ඔන්න ගිහින් ඉන්ද ගත්තා..ශාලාව කලුවර වුනා... 'ගලන ගඟකි ජීවිතේ' සින්දුව තිරයෙ පතිත වෙන කොට..මට හිතෙන්නෙ මම ජීවරානි..ඉන්ද්‍ර.... ගාමිනී ෆොන්සේකා කියලා...එයාටත් එහෙම හිතුනද කියලා නං මට අහන්න බැරිවුණ... 'ස්වර්ණ විමානෙට' සින්දුව චිත්‍රපටියෙ දැක්කට පස්සෙ මට පුදුම ආසාවක් ඇතිවුණා.. ඉන්ටර්වල් එකේදිත් අපි සින්දු ලස්සනයි කියලා කතා වුණා..දැන් වගේ එතකොට පොප් කෝන් නැහැ ...ඉන්ද්‍ර ගිහින් ඩෙල්ටා ටොෆියි, කඩලයි ගෙනාවා..ලොකයියා සල්ලි දුන්න..  


අපි කඩල කකා හිනා වෙවී ඉන්න කොට මෙන්න බොලේ පොඩි මාමත් එක්ක අපෙ අම්ම එක පාරටම කඩන් වැටුණා. " මොකද පුන්චම්මෙ, කරදරයක්ද? චන්ද්‍රක්කා බය වෙලා.." "නෑ..දන්නැද්ද දුව, බාප්පොච්චිට තරහ ගිහින් ..ලොක්කි එක්කන් ආවට...මම එයාව ගෙදර එක්ක යන්න ආවෙ"
'අනේ...අපරාදේ.." හැමෝටම කිය වුණා...  
මම ගෙදර ආවෙ මගෙ හිත ඉන්ද්‍ර ලඟ නතර කරලා..එයාගෙ හිත මම අරගෙන ආවා.. අප්පච්චි ඉන්නෙ ඔය පුපුර පුපුරා...අම්මෝ..ඇස් දෙක ගින්දර වගෙ..මෝඩ කමට මට එවෙලාවෙත් මතක් වෙන්නෙ කවි ..........
'සුරත් තඹුරු පෙති දෙනෙතින් 
නටත් අයෙක් සුරා මතින්'  
අප්පච්චිත් ෂොට් එකක් දාලද දන්නෙ නැහැ...ඔව්.. ඉඳ හිටල පොඩි ෂොට් එකක් දාගෙන එනව ගෙදර.
" හා...ලොකු බේබි...බයස්කෝප් බලන්න ගියා...?මම මේ එන ටිකට කී දෙනෙක් කිව්වද කොල්ලො දෙන්නෙක් එක්ක ලොකු බේබි ගියා කියල..මට පාරෙ බැහැල යන්න ඉඩ තියන්න එපා උඹ.." 
අම්මේ...!!!!!!!ෂොට් එකක් නෙවේ..ටක්කෙටම ෂොට් කීපයක්ම දාලා... 

" අනේ..කෑ ගහන්න එපා...අක්කගෙ දුවල දෙන්නත් ගිය හින්දයි මම ලොක්කිව ඇරියෙ..කෑ නොගහ ඉන්න.."
" හාමිනේ තමයි මට මේ කෙල්ලව හදාගන්න දෙන්නැත්තෙ..මේකිට දෙන්න ඕනි හොඳවායින් දෙකක්" 

අප්පච්චි එහෙම කියාගෙන නැගිටින කොටත් මම පැනල ගිහින් අත්තම්මගෙ කාමරේ....
'රන් මුතු දූව' මට ඉවරවෙනකල් බලා ගන්න බැරිවුණා. ඒත් සින්දු ටික නම් හොඳටම පාඩම් වුණා. ඉස්කෝලෙ හැම සමිතියකටම ඒ දවස් වල මම කියන්නෙ ඒ සින්දුව..විද්‍යා සංගමෙත් අපි සින්දු කියනවා..  
මේ කතන්දරේ ප්‍රේම කරන්න වෙලාවක් හම්බ වුනේම නැහැ අපට...
ලොකයියයි, අක්කලයි ඉන්දෙද්දි මොන ලව්ද?
ඇස්වලින්, හිනා වලින් කතා කරපු එක විතරමයි..කිසි ගතියක් නැහැ..නේද ඒයි?

6 ක් අදහස් දක්වලා.