Wednesday, September 2, 2009

නාට්‍ය සින්ඩ්‍රෝම්

Wednesday, September 2, 2009

නාට්‍ය ලෝකයට අවතීර්ණ වෙන්න තියෙන උනන්දුවත් එක්කම, මට නාට්‍යය බලන්නත් ලොකු උණක් හැදුණ. ඒක නිකන් මේ හෙම්බිරිස්සා උණක් වගෙ. ඩෙංගු හරි වෙන උණ වර්ග වගෙ හරි බරපතල එකකුත් නෙවෙයි. ඉතින් මගෙ ජීවිතේ මම හිතන පතන දේවල් තියෙනව නේද? ඒවා කොහොමින් හරි මට ලැබෙනවා...පුදුම ආශීර්වාදයක්! මට ඔය අතිවිශාල අපේක්ෂාවනුත් නැහැ නෙ. හරිම සරල, ඒ වගෙම බොහෝ විට සුන්දර දේවල් තමයි මට හිතෙන්නෙ. මේ දවස් වල මට නාට්‍ය සින්ඩ්‍රෝම් හැදිල ඉන්නෙ. ඉතින් පත්තර බල බලා හොයනවා කොහෙද නාට්‍ය තියෙන්නෙ කියලා.
මම කිව්ව නේද මම හිතන පතන දෙවල් මට ලබෙනව කියල..? (ඉන්ද්‍රයියා ඇරෙන්න සේරම දෙවල් ලැබුණ...)
මෙන්න එයට කදිම උදාහරණයක්! පේරාදෙනියෙ වළේ නාට්‍ය උළෙල සරසවිය පත්තරේ ලොකු අකුරින් දමලා. මගෙ හිත පස්වනක් ප්‍රීතියෙනුත් ඊටත් ටිකක් වැඩියෙනුත් පිනා ගියා. මම දුවගෙන ගියා කැන්ටිමට. කාව හරි එකතු කර ගන්න ඕනිනේ දැන් යන්නත්. සරලට පුංචි අදහසක් දම්මා. මොකද එයාගෙ ප්‍රේමය ඉන්නෙ එහෙ.
"රුවිනිටත් කියමු" සරලා යෝජනා කළා. රුවිනිගෙ අක්ක පේරාදෙනියෙ අවසන් වසරෙ.  
"කොහෙද නවතින්නෙ?" සරලගෙ ඊලඟ ප්‍රශ්නෙ.
" අපේ ලොකු අප්පච්චිල ඉන්නෙ උඩ පේරාදෙනියෙ. එහෙ ඕනි තරම් ඉඩ තියෙනව. මල්ලිල දෙන්නම කැනඩාවෙ..ලොකු අප්පච්චියි, ලොකු අම්මයි ඉන්නෙත් පාලුවෙ. ගොඩක් කැමති වෙයි." ප්‍රශ්නයට විස්ඳුම කොතරම් සරලද කියල මම සරලට පැහැදිලි කළා.
"එහෙනම් නියමයි නෙ'  
" සිකුරාදා හවස ලෙක්ර්ස් කට් කරල ප්‍රයිවට් බස් එකක යමු"
මේ දවස් වල මගේ හිතේ තිබුණ පාලුව, හිදැස පුරව ගන්නම තමයි ඇත්තටම මාව නාට්‍ය වලට නැඹුරු වුණේ කියල මට හිතෙනවා. දවසක් රුවිනි මට ලියුමක් ගෙනැත් දුන්න පිරිමි ළමයෙකුගෙ. මම ඒක බලන්නෙ වත් නැතුව ඉරල දැම්ම. ඉන්ද්‍රයියගෙන් හිස් වුණු සිත් කුටියෙ ඇතිවුණු හිදැස පුරවන්න මට හිතක් නැහැ, එයා කොහෙන් හරි මතු වෙයි කියල මයි මට හිතෙන්නෙ. හේමිකා එක්ක එකම කැම්පස් එකකද දන්නෙත් නැහැ...මට ඇත්තටම හිතා ගන්න බැහැ මොකද කරන්නෙ කියලා. ප්‍රේමයක් තියෙන්නම ඕනිද ජීවත් වෙන්න? එහෙම නැතුව අපිට හුස්ම ගන්න බැරිද? හරියට ගන්ධබ්බ කාලයක් වගෙ. හිත එහෙ මෙහෙ සරනව.කොතැනක වත් ඇලී ගැලී ඉන්න පිරියක් නැහැ. නිදහසේ අනන්ත වූ ආකාශයේ සැරි සරන වළකුළක් වගෙ.
රුවිනි හිනා වෙනව, " හැම තිස්සෙම ඉතින් නූල කැඩුණු සරුංගලේ වගෙ හිස හැරුණු අතේ යන්නෙ නැතුව මොකක් හරි සෙට් කර ගනිං" කියලා. නූල කැඩුණු සරුංගලේ ගිහින් ඔය කොහේ හරි ගහක පැටලෙන්නෙ නැතැයි කියල මට හිතුණා. ඒක මගෙ හිතටම කියාගෙන තොල් පටේ යාන්තම් හිනාවක් ඇඳල මකල දැම්මා. මොකද කට කනට යනකල් හිනා වෙන්න තරම් ආනන්දයක් මගේ හිතෙ ඇති වුනේම නැහැ, ඉන්ද්‍රයිය වෙන් වුණාට පස්සෙ.
මම මට ගොඩාරියක් වැඩ නියම කරගන්නව. ලියන, කියන ඒ වගෙම පරිවර්තන වගෙ දෙවල් ගොඩ ගහ ගෙන කරන්න පටන් ගත්ත. රාජ්‍ය නොවන සංවිධානයක අර්ධ කාලීනව වැඩ කරන්නත් හොයා ගත්ත. ඒ ගොල්ලන්ට කරන පරිවර්තන වලට හොඳට ගෙවනව. ඒ සල්ලි වලින් තමයි මම පොත් මිළට ගන්නෙ.
ඉතින් කොටුවට ආව නුවර යන්න.
" නුවර, නුවර, නුවර ...අ...අ.." කියන කට්ටිය තරඟෙට අපිව බස් වල නග්ගගන්න පොර කනව. බස් එකේ නුවර යන එකත් හොඳයි. ඒත් පෙන්නන්නම බැරි වැඩේ තමයි අර ජරා සින්දු අපට බලෙන් අස්සවන එක. එතකොට ඔය ගොඩක් එෆ්.එම්.චැනල් තිබුනෙත් නැහැ නෙ. කැසට් ම තමයි වෑන් එකෙ ප්ලෙයර් එකෙ කටට ඔබන්නෙ. කණේ පුලුන් ගහ ගන්න හිතෙනව...
අපි ලොකු අප්පච්චිල ගෙදර ආවම ඒ දෙන්නට  සතුට ඉහ වහ ගිහින්...
" මලිති දුවේ, මූණ කට හෝදගෙන මුකුත් කාල ඉන්ට. මම කිරි කජු මාලුවකුත් හැදුව. ඔය ළමය ආසයි නේ."
බෝඩිමේ කෑම එපා වෙලා හිටිය අපට කටට රහට කන්නත් පුළුවන් මේ දවස් දෙක තුනේ. ලොකු අම්මට රසට උයන්න පුළුවන්. හැම වේලකටම පොල් සම්බෝලයක් මේසෙ වරදින්නෙ නැහැ. ලොකු අප්පච්චිට පොල් සම්බෝල නැතුවම බැහැ.
අපි ගෙදරින් පිටත් වුණ, හයට විතර. මම පේරදෙනියට ආපු මුල්ම වතාව. විශ්ව විද්‍යල පරිසරය නම් වර්ණනා කරන්න බැරි තරම අලංකාරයි. චමත්කාර ජනකයි. සරලගෙ ප්‍රේමය අපි බස් එකෙන් බහින කොටම එතන. දෙන්නගෙම මූණු වල කිරි මුහුද හලල වගෙ....හිනා උතුරනව...හිනා වෙන්න එක කටක් මදි වගෙ. එයා ඇවිත් හිටියෙ තවත් යහළුවෙක් එක්ක.
" අමිල, මේ මලිති, මේ රුවනි." සරල අපිව අඳුන්නල දෙනවා.
" නම් වලින් අහල තිබුණට අදනෙ දැක්කෙ. අඳුනගන්නට ලබුණට සතුටුයි. මේ මගෙ හොම යාලුව, තරිඳු..."
සරල මට වැළමිටෙන් ඇන්න, කාටවත්ම නොපෙනෙන්න. මට පුලුවං වුනත් ඒ ඉඟිය තේරුම ගන්න, මම මගෙ හිත වටට වැට බැඳල තියෙන්නෙ. අපි ගිහ්න් රුවිනිව, අක්ක හිටිය හිල්ඩා ඔබේසෙකර ශාලවට ඇරලුව, හතට වළ ළඟට එන්න පොරොන්දු කර ගෙන.
" අපි ලවර්ස් ලේන් එක දිගේ උඩට ඇවිද ගෙන යමු.. නාට්‍ය පටන් ගන්න කිට්ටු වෙන කොට එමු"
මම ඔලුව වැනුව, දැන් ඉතින් ඕනම කට්ටක් කන්න එපැයි...නාට්‍ය බලන්න ආව එකෙ. අපි හතර දෙනා පේලියට ගියෙ.
තරීඳු මගෙ ලඟට ඇවිත් මට කතාව.
" මලිති, ඩ්‍රාමා කරනවලු නේද"
" ඔව්. මේ පටන් ගත්ත විතරයි."
" ඔයාට ඕනි කමටමලු මේ ගමන ආවෙත් නේද?"
" ඔව්, මට ආස හිතුණා වලේ නාට්‍ය කරන එක බලන්න. අනික් වේදිකා වලට වඩා වෙනස් නේ. ඒ වෙනස අඳුනගන්න මට හිතුණා."
" ම්..ම්...පර්යේෂණ චාරිකාවක්?"
" ඔව්, එහෙමත් කියන්න පුළුවන්" ඔහු හොඳ කෙනෙක් කියලා මුල් කතා බහෙන් හැඟුනත් මම චරිත සහතික ලියන්න ඉක්මන් වුනේ නැහැ.
" ඔයාගෙ ගම කොහෙද"?
" පස්සර, ඔයා?"
" මම මාතලේ, ටවුන් එකේ මයි.දන්නවද ඒ පැත්ත?"
" අනේ, නැහැ.."
සරලයි, අමිලයි දැන් අපෙන් පියවර කිහිපයක් ඉස්සරහින් යන්නෙ. අපෙ ගමේ කවුරු හරි දැක්කොත් කියල මට හිතුණා. කැම්පස් සංස්කෘතියෙ මේව එච්චර ගණන් ගන්න දේවලුත් නෙවෙයි කියල හිත හදා ගත්ත.
අපි සිංදු ගැන, පොත් ගැන තව මොන මොනවදෝ කතා කළා..හරිම නිවිච්ච කෙනෙක්. කලබලයක් නැහැ. අනවශ්‍ය ප්‍රශ්න ඇහුවෙත් නැහැ. ආදරවන්තයන්ගෙ වීදියෙ ඇවිද ගෙන යන ආදර වන්තයන් නොවන එකම යුවල අපිද කියල මට හිතුණා. අනික් අය අත් වැල් බැඳගෙන, මූණුවල ප්‍රෙමාලේපන තවර ගෙන, දෙතොල් වල සිනහ මී පැණි පුරව ගෙන පාවෙනවා. අපි විතරයි පියවි සිහියෙන් ඇවිදගෙන යන්නෙ.
කවියකට හොඳ නිමිත්තක් කියලත් මට හිතුණ. අපි ඔහොම ටික දුරක් ඇවිදගෙන යනකොට සරලයි, අමිලයි ආපහු හැරිල අපි දිහාවට එනව. අපි ඒ දෙන්න එනකල් නැවතුණ. සරලා මා ගැන හොඳට දන්න නිස අපිට අන්වශ්‍ය විහිලු කළෙත් නැහැ.
වළ පහළට බහින තැනදි රුවුනිවයි, අක්කවයි මුණ ගැහුණා. අපි සේරම එක පේලියට වාඩි වුණා. තරීඳු වාඩි වුණෙ මගෙ ලඟ. එදා පෙන්නුවෙ 'සිංහබාහු', මම සිංහබාහු වලට හරිම කැමතියි.
' මෙන් කමලේ දෙන රැව් මිහි ලොල්
මුදු තෙපලින් දොඩනා හැම කල්.... '
මට නොදැනිම ගී පද මිමිනෙනවා. මම ඒකෙ චරිතයක් වෙලා, වේදිකාවට පිවිසෙනව හිතෙන්. කවුරුත් හූ කියන්නතුව බලන එක ලොකු දෙයක්. සුප්ප දේවිගෙ ගයන විලාශය අපූරු කළ එලියක් දෙනව නාට්‍යයට.
'පිතු සෙනේ පිතු හද තුළම මිස ....' ගීතය ඇහෙද්දි මට කඳුලු නවත්ත ගන්න බැරි වුණ. ඔන්න මගෙ සංවේදී සිත වාවගන්න බැරුව කඳුළු වරුසාවක්..තරීඳු මගෙ වම් අත අල්ලල ඒ මත එයාගෙ ලේන්සුව තිබ්බ. මම ස්තුතියි කියල එයගෙ ලේන්සුවෙන් කඳුළු පිහිද ගත්ත. ඔහු හිමින් මගෙ අතට තට්ටු කළ.
"මලිති, මේ නාට්‍යයක්...හිත දැඩි කරගන්න...ඔයා හරිම සියුමැලියි." මට හෙමිහිට කිව්ව.
" ඒ මගෙ හැටි. සොරි. "
" සොරි, කියන්න එපා. මේ ලෝකෙ ඔයා හිතන තරම් සොඳුරු නැහැ. රළුයි...වංකයි." 'හ්ම්.." 
ඇත්තටම තරිඳු ගැන මට පැහැදීමක් ඇති වුණා. එයාට පුළුවන් මට හොඳ යාළුවෙක් වෙන්න.
" හෙටත් එනවද නාට්‍ය බලන්න?" 
"ඔව්, සඳුදා උදේ තමයි අපි යන්නෙ"
" හෙට උදේට මොනවද කරන්නෙ?"
"මාළිගාවට යන්න කියල හිතුව, ඔයත් එන්න ... අමිලත් එක්ක"
මම කොණ්ඩ කරල කරකවමින් කිව්ව. මම ඇස් වලට දඟලන්න දුන්නෙ නැහැ. ආයෙත් හෙට හමුවෙන බලාපොරොත්තුවෙන් අපි වෙන් වුණා.
" ගුඩ් නයිට්! බුදු සරණයි.!


8 ක් අදහස් දක්වලා.:

රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi) said...

ඉතිං ඊට පස්සෙ.. ?

Chrishi said...

මාලිගාවට ගිහින් මොනාද වුනේ ?? ඉක්මනට ලියන්න අපි බලාගෙන ඉන්නවා ලියනකං !

TMG හෙවත් මනෝ said...

Hmm ...new chapter of Malithy-Indra Series , pls be cautious abt what i told u soon after reading this .it is my genuine impressions .

ආගන්තුකයා said...

ඊට පස්සෙ මොකද අප්පා වුනේ මම මේ පැත්තෙ ආවමයි.දැන් ඉතින් දිගටම බලන්න වෙනවා හික්.. ජයවේවා...

ආගන්තුකයා said...

අක්කෙ මේ word verification එක පුළුවන් නම් අයින් කරලා දානවද..

ඩෝසන් said...

සේරම සිනමා පටයක් වගේ හිතේ මැවෙනවා...

Supun Sudaraka said...

සිරාවට. ඩෝසන් අයියා කියලා තියෙනවා වගේ මේ සේරම දේවල් හිතේ මැවීගෙන මැවීගෙන යනවා. පුදුම ලස්සනක් අම්මපා මේ ලියවිල්ලේ (සහ ‍අනිත් ලියවිලි වලත්) තියෙන්නේ..
මේ.. මගේ ඇහේ කඳුළු... මන්දා... රෙද්ද. ‍මේ කඳුළු වලටත් වෙලාවක් කලාවක් නෑ නෙව.

chamila_dealwis said...

පේරාදෙණිය කිව්වාම ඉතින් (පැණි හිනාව)

Post a Comment