යුග වකවානු විස්තර කළේ නැතත් කතන්දරය රස විඳින්න ඒක බාධාවක් කියල මම හිතන්නෙ නැහැ. මේ කතාව නාට්‍යය වලට බැඳිච්ච කතාවක්. මම ප්‍රථම පුරුෂයෙන් ලිව්වම මේ හැම එකක් ම මට වෙච්ච දේවල්ම කියල හිතනව නම් ඒක වැරදියි. මොන විදිහට හිතා ගත්තත් ලස්සන කතාවක් කියවන්න ලැබෙනව නම් ඒකනෙ වැදගත්....කමක් නැහැ, ඕන බතල වත්තකින් ගියා දෙන්. අපි දැන් කතාවට බහිමු
මේ දවස් වල මම නාට්‍ය පුහුණුවකට යනව....පරීක්ෂණ තියල...කටහඬ බලල දැන් අපි නිකම් මේ අර්ධ ගීත නාටකයක් වගෙ එකකට තමයි පුහුණු වෙන්නෙ. මම නාට්‍ය ලෝකෙට අලුත්ම අලුත්. අපි ඉස්සෙල්ල කළේ ගීත පුරුදු වෙන එක...ඊට පස්සෙ ගිත ගායනයන් හා හැකියාවන් අනුව චරිතවලට තෝර ගන්නවා කියල තමයි අධ්යක්ෂ වරය කිව්වෙ.
නාට්‍යයෙ ගීත නම් හරිම අපූරුයි...එක සැරයක් කිව්වම මට තාලෙ හොඳට මතක හිටිනව. හරිම ලස්සන ගේය පද...මට සින්දු පුරුදු වෙද්දිත් ඇඬෙනව වෙලාවකට...ඒ තරමටම සියුම්ව සංගීතය හා වචන එකට සංයෝජනය වෙලා. දවසක් මගෙ ඇස් වල කඳුළු දැකලා එක අයියා කෙනෙක්; තේ විවේකෙදි මගෙන් අහනව,
" නංගි හරිම සංවේදී හිතක් තියෙන කෙනෙක් වගෙ..මම දැක්ක ඔයාගෙ ඇස්වල කඳුළු පිරිල තියෙනව අර විරහ ගීයෙදි"
" හ්ම්..හරිම ලස්සන සින්දු නේද සචින් අයියෙ
" " ඉතින් අඬන්නෙ මොකටද ළමයො?"
"අනේ! මම හිතල අඬන්නෙ නැහැ..ඉබේටම ඇඬෙනව නෙ. මම සංවේදී වැඩිද මන්දා" ඉතින් සචින් අයියා ඔය වගෙ හැම දාම මගෙත් එක්ක කොහොමින් හරි මගෙත් එක්ක කතාවට වැටෙනව. එයාට ලස්සනට මද්දල ගහන්න පුලුවන්. මොකද්දෝ කන්තෝරුවක ලොකු නිලයක් දරන කෙනෙක්. මම ඕවා වැඩිය හාරා අවුස්සන්න ගියෙ නැහැ.
"නංගි කොහෙද් නැවතිඅලා ඉන්නෙ?" තවත් දවසක එයා කතාවට මුල පිරුවෙ එහෙමයි.
" මම ඉන්නෙ දෙල්කඳ....පාර අයිනෙමයි..ඕනි තරම් 138 තියෙනව නේ?"
" ඇත්තද, මම ඉන්නෙ මහරගම, මට ඔයාව බස්සගෙන යන්න පුළුවන්"
"නෑ..අයියෙ, බස් නැති දවස් තිබුනොත් බලමුකො"
138 බස් කොහොමත් හිග නැහැ නෙ...මම එහෙම හිතුව.
" මලිති, මම යමක් කියන්න ඔය වරදවා තේරුම් ගන්නෙ නැද්ද?"
" මම මොකටද වරදවා තේරුම ගන්නෙ ඔයා වැරදි දෙයක් කියන්නෙ නැත්නම්"
" ම්..ම්...ඔයාගෙ ඇස් දෙක හරිම ලස්සණයි. මම මද්දල ගහන ගමන් අනික් අයට හොරෙන් ඔයාගෙ ඇස් දිහාවෙ බලන් ඉන්නව"
මගෙ කන් වලින් පටන් ගත්තු හිරිවැටිල්ල මුහුණ පුරාම ඇසිල්ලකින් දිව ගියා රතු පාට සායමක් මුහුණෙ අපිචර්මයෙ දශමයක් ගානෙම තවර ගෙන. හප්පේ..! වැටිච්ච අමාරුවක මහත...මට මහා වස ලැජ්ජවක් දැනුණා. මාව මූණ ඉස්සරහ වර්ණනා කරන කොට මට නං හරිම ලැජ්ජයි..මගෙ දුර්වල කමක්ද දන්නෙ නැහැ ඒක. කොහොම හරි මට ටිකක් වෙලා, ගියා යථා තත්ත්වයට එන්න.
"මම කවි වගයක් ලිව්ව, දෙන්නද ඔයාට බලන්න"
එපා කියන්න පුලුවන්ද..? කවි නෙ..ප්‍රේම පත්‍රයක් නෙවෙයි නෙ. මම හිතුවා. සචින් අයියා දෙකට තුනට නවපු හාල්ෆ් ෂීට් කොළයක් මගෙ අතේ තිබ්බා.
" ගෙදර ගිහින් කියවන්න, දැන් කියවන්න ගත්තොත් අනික් අයත් බලයි"
මම ඒ කවි කොළය නාට්‍ය ස්ක්‍රිප්ට් එක ඇතුළෙ දා ගත්ත. තවමත් පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙනව. ඉතින් පුහුණුව ඉවරවෙල මම බස් හෝල්ට් එකට ගියා..ලයනල් වෙන්ඩ්ට් එක ලඟ 138 හෝල්ට් එකට..මෙන්න විනාඩි පහක් ගියෙ නැහැ, සචින් අයියත් එතන.
" මගෙ කාර් එකේ පොඩි අප්සෙට් එකක්, ගරාජ් කළා. ටික දවසක් බස් එකේ යන්න වෙයි" පපුවෙ ගිඩි ගිඩිය වැඩි වෙලා...මුළු සරුවාන්ගෙම දැවී දැවී යයි...බස් වල එච්චර සෙනගත් නැහැ...ඔන්න මම බස් එකකට නැග්ග.. සීට් එකකුත් ලැබුණ. සචින් අයියත් ඇවිත් වාඩි වුනෙ නැතැයි ඒ සීට් එකේම. කමක් නැහැ, ආරක්ෂාවටත් හොඳයි නෙ...ජැක් ගහන්න එන අයගෙන් පරෙස්සම් වෙලා යන්න පුළුවන් කියලත් මට හිතුණා. එයා මගෙ ඇඟේ ගෑවෙන්නෙ වත් නැතුව වාඩිවෙල ඉන්නෙ. හරිම හොඳ අයියා කෙනෙක් නේද කියල මට හිතුණා. එය යනකල්ම කතා කළේ එයා කියවන පොත් ගැන...නාට්‍ය පොත් කියවල තියෙනවද කියල මගෙන් ඇහුවා. මම කිව්ව මම කියවල තියෙන්නෙ 'හුණු වටයයි, කුවේණියි' විතරයි කියල. එතකොට එයා, "ඇත්තද?" කියල අහිංසක හිනාවක් දැම්ම.
මම ගෙදර ගිහින් බත් එහෙම කාලා කවිය බලන්න හිතුවා.
'ලඳකගේ ඇස් මිණි පහන් ලෙද
දිලෙන බව නෙක කවින් කී බස
නොඇදහූයෙමි තතු නොදත්තෙන්
ඔබ දුටු වේලේ සැබෑ වීය එය
වරින් වර ආලෝක වන හැටි
වරින් වර යලි නිවී යන හැටි
පසක් නොකළෙමි මෙතුවාක් කල්
ඔබ දුටු වේලේ සැබෑ වීය එය'
ඔන්න මගෙ පපුව ආයෙමත් ගැහෙනව...හර්ද ස්ඵන්දන වාර ගණන බැලුවොත් මිනිත්තුවකට දෙසියක් විතර ගැහෙනව වෙන්නැති. හරිම ලස්සණ කවිය...ඒක තමයි එයා කිව්වෙ මගෙ ඇස් දෙක ලස්සණ්යි කියල. මම කණ්ණාඩිය ලඟට ගියා. ඇස් දෙක දිහා බැලුව මොකද්ද මගෙ ඇස් වල තියෙන අරුමය කියලා..කලු බෝලෙ වටේට නිල් පාට රවුමක්. මම අදමයි දැක්කෙ. මට හීන් ආඩම්බර කමකුත් දැණුනා, කෙල්ලො අඳින්නෙ ඔන්න ඔහොමයි ලමයිනේ. මට අමරදේව මාස්ටර් ගෙ, 'ඔබේ දෑසයි, ඔබේ දෑසයි...නීල උත්පල කිඳුරු දෑසයි..නීල උත්පල දිගැටි දෑසයි ' ගීතය මතක් වුණා.
දාගත්තෙ නැතෑ තොප්පිය මම. පහුවදා නාට්‍ය පුහුණු නැහැ...මට නිකන් පාලුයි පාලුයි වගෙ..හිත ඇතුලෙ කියන්න බැරි මොනවදෝ සිතුවිලි සම්භාරයක් දිගට හරහට, උඩට පහළට, එහෙට මෙහෙට දඟලනව..බොලිවුඩ් චිත්‍රපටයක නම්, 'කුච් කුච් හෝතා හේ' කියාවි.
ඊළඟ නාට්‍ය පුහුණුව දවසෙ තව කවියක්. ඒක නම් ගෙදර එන්න ඉස්සෙල්ලම කියෙව්ව.
'හදවත් කතරේ මලක් පිපෙන්නට
දිය සීරාවක් සිසිලස දෙන්නට
වියැලුණු පොළවෙන් මතුවී එන්නට
සදා නොමැලවී පිපී තිබෙන්නට
මා නිසා නෙත් මිණි පහන් තුළ
දල්වනුය පෙම් දැල්ල නොනිවා
එකලු කරනුය මහද මදුරත
අරක් ගෙන ඇති අඳුර දුර ලා'
ඔය තියෙන්නෙ....අර අමුතු ගැස්ම විටින් විට මතු වෙලා නැති වෙලා යනවා. හරිම නැවුම් ගතියක් මට දැනෙනව..ඉන්ද්‍රයිය කවදාවත් මට මෙහෙම කවි ලිව්වෙ නැහැ... එයා දැක්කෙ නැහැ මගෙ ඇස් වල සොඳුරු බව. එයා දැන් ඉතිහාසෙට එකතු වෙච්ච චරිතයක් විතරයි, මගෙ හිත ඇතුලෙ දඩබ්බරී හිනා වෙනවා.
අනේ! මන්දා...මොකද්ද ඇත්තටම වෙන්න යන්නෙ..මගෙ හිතේ මෝදුවෙන්නෙ මේ කවි වලට මහා ලෙන්ගතු කමක්..සචින් අයියට වඩා කවි වලට.
නිකම් ඔහේ කවි ලිව්වට තවම මගෙන් මොකුත් ඇහුවෙ නැහැ නෙ. මම වැටට ඉස්සර පනින්න ගිය මුවාව අල්ලල බැඳල දැම්ම.
මෙන්න බොලේ ඊළඟ දවසෙ තවත් කවියක්. මගෙ ඇස් දෙක කවි උල්පතක් වෙලා. මට දීපිකාගෙ සින්දුවකුත් මතක් වෙනවා.
'ප්‍රේමයට නිම් හිම් නැතී
උල්පත වුණා යයි ඔබම කී...
කවියාණනේ.....
මා ඔබෙයි..
ඔබගේ සදාදර...පෙම්වතී'
සචින් අයියගෙ කවිය කියන්න බැරිවුණානෙ, දීපිකාගෙ සින්දුව රස වැටිල.
'භක්ති ප්‍රේමය ගෞරවය හෝ
කුමක් කීවද ඒ එකක් වත්
නොවේ සෙනෙහස
ඈත සිට පිරිනමන භක්තිය
ගෙනත් පාමුල තබන බුහුමන
ඒ එකක් වත්
නොවේ සෙනෙහස
දිවා රෑ දෙක හද සමීපේ
දෑස නොපියා බලා ඉන්නා
දෙයකි සෙනෙහස
නොලැබ පරිභව මුත් කිසිත් අන්
මොළොක් තෙපුලක් ලබා ගැන්මට
ජීවිතය තිබෙනා තුරා
මුහුණ මත ඇස් රඳා ඉන්නා
දෙයකි සෙනෙහස'
මට හිතුණෙ ව්‍යංගයෙන් කරන ආදර ප්‍රකාශයක් කියල මේ කවි. ඒත් මට එතකොට ඔය පිළිතුරු කවි ලියන්න හිතුනෙම නැහැ. මොකටද මම පැනල දෙන්නෙ..?. තව ටිකක් නොතේරෙන විදිහටම රඟ පාන්න මම හිතුව..
මම ලෙක්චර්ස් ඉවර වෙල එදා හිතුව මහජන පුස්තකාලෙට යන්න. නාට්‍ය කරන නිසා නාට්‍ය පොත් ටිකක් කියෙව්වොත් හොඳයි කියලා. නාට්‍ය කොටසෙ පොත් රාක්ක අතරෙ මම පොඩ්ඩක් අතරමං වුණා. දැන් අපි ගීත නාටකයක් කරන නිසා ඒ වගෙ පොත් ටිකක් අර ගෙන කියවන්න හිතුණා.
ම්..ම්....ම්...මේ තියෙන්නෙ, මට හරිම සතුටුයි..මනමෙ, සිංහබාහු , පේමතෝ ජායතී සෝකෝ...අදට මේ පොත් ටික ඇති, හිත කිව්ව. මම පොත් ටිකත් අර ගෙන වාඩි වුණා. මනමෙ, සිංහබාහු ගීත කණට, හිතට හුරු වුණත් පේමතො සින්දු මම අහලම තිබුණෙ නැහැ. ඒ හින්දා මම මුලින්ම පේමතෝ පොතේ පිටු පෙරලුව. ඔක්කොම කවි..ගී..උද්දාල බමුණා ස්වර්ණතිලකට කියපු කවි.
මම මේවා කොහෙදි හරි දැකල තියෙනව වගෙ මට මතක් වුණා....කොහෙද හැබෑටම? මම පොත් බෑගයෙ තිබුණු කවි කොළ ටික මතක් වුණා...සචින් අයියා ලිව්ව කවි. මේ ඒ කවිම නේන්නම්...මහාචාර්ය සරච්චන්ද්‍රගෙ නිර්මාන නෙ මේ...අනේ දෙයියනේ..මෙහෙමත් කුකවියො..මට එක පැත්තකින් තරහයි...තවත් අතකින් හිනහව නවත්ත ගන්න බැහැ..මේක මම එයාට කිව්වම එයාට පොළව පලා ගෙන යන්න හිතෙයි.
අර හිතේ තිබුණ 'කුච් කුච්' ගතිය තාපාංකයෙ ඉඳලා හිමාංකයටම බැස්ස. තව පොඩ්ඩෙන් තවත් පෙම් කතදරයක් ආරම්භ වෙන්නයි ගියෙ... මම මගෙ ඉටු දෙවියන්ට පින් දුන්,නා තවත් ප්‍රේම පුරාණයක් පටන් ගන්න ඉස්සරම අවසන් හුස්ම හෙලපු එක ගැන.
Monday, August 31, 2009
Subscribe to:
Post Comments (Atom)
9 ක් අදහස් දක්වලා.:
ප්‍රේම සිහින ලෝක සඳලුතලාවෙන් බිමට වැටිලා අතපය කඩාගන්නෙ නැතුව යම්තම් බේරුනා නේද අක්කණ්ඩි? :)))
ඒත් නාට්‍ය පොත් පැත්තට හිත ගිය එක නම් හොඳ දෙයක්
හිනා වුනා පණ යනකම්. මූකූත් හිතන්න එපා. මම නම් ඔයාට කියන්නෙ අන්තර්ජාලයෙ "සුනේත්‍රා" කියලා. දවසට කතන්දර දෙක ගානේ ලියන්න බැරිද?
අම්මෝ සමන් මලින් පවන් සැලේ සැලේ ....
සැලේ!
අනේ! මම කතාව edit කළෙත් නැහැ. රියදුරා ඇවිත් කතා කරනව යමු කියල. මට බඩගිනි නැතිවුණාට ඒ මනුස්සයට බඩගිණි ඇතිනෙ...publish post එක ඔබල දිවා ආහාරයට ආවා. ඇවිත් බලද්දි අර අමු නිර්මාණයටcomments 3 කුත් වැටිල. තරංගා අහනවා ලියලා නේද අර කතාව කියලා. මොකද දන්නවද ඒ? මට ඔය කවි මතක තුබුණෙ එහෙන් මෙහෙන්. එයාට ඊ මේල් එකක් යැව්ව, පේමතෝ කවි හොයලා එවන්න පුළුවන්ද කියලා. අනේ..අපරාදේ කියන්න බැහැ ...ගැහැණු දරුවා ගෙදර අයටත් වද දීලා, පොතේ පිටු පින්තූර අරගෙන මට එවලා තිබුණ...
කොච්චර නම් පිනක්ද..?
මේ දවස් වල එයා අම්මට සනීප නැතුව රෝහලේ අම්ම ලඟ. මෙච්චර හොඳ දුවෙක් බිහි කරපු ඒ අම්මට අපි ඉක්මන් සුවපතමු!
ශහ්...........
කතා වස්තුව
හරිම ඔපෙන් විදියට ලියල තියනව
I Like it
මාර කතාවක්නෙ! ඒකටම ආවේණික අමුතුම ලස්සනක් තියෙන කතාවක්.. කවි ටික නම් ලස්සනයි.. මටත් හිතුණ නාට්‍ය පොතක් දෙකක් හොයාගෙන ඒවයෙ තියෙන කවි කියවල බලන්න. :D
බමුණා විසින් තිලකා ට කියූ කවි, හ්ම්!
කාලගෝල යා දික්තලා ට කියපු කවි දෙන්නෙ නැතුව මොනව දුණ්නත් මොකද?
කතන්දර කාරයා
අඩේ, මං දන්නේ නැතිවම මේ කතා කියවලා (හෝ කියැවිලා) අක්කණ්ඩි එක්ක(මං හිතන්නේ අක්කණ්ඩියේ බ්ලොග් එකත් එක්ක වෙන්න ඕනේ)පෙමින් වෙලිලා වගේ... :)
හික්, බය වෙන්න එපා. මට නිකං කටට ආපු එකක් කියැවුනේ.
හප්පා. !!!
මොනවත් කිව්වේ නැතුවට තරහ වෙන්න එපා. මොනව කියන්න ද කියලා හිතා ගන්න බෑ.
Post a Comment