Friday, September 4, 2009

වැට කඩුළු බිඳ

Friday, September 4, 2009
වළේ නාට්‍යය තුනක්ම බලන්න ලැබුණු එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ප්‍රේක්ෂකයන් ඉන්නෙ පහළ ඉඳලා උඩට විහිදුණු පරාසයක නිසා අනෙක් රඟහලකට වඩා වෙනස්. සාමාන්‍ය රඟහලක ප්‍රේකෂකයන් ඉන්නෙ ඇස් මට්ටමට පහළින්. ඒ රඟහල් වල කටහඬ අපේ මුහුණට සමාන්තරව මුදා හැරියත්, වළේ කටහඬ ප්‍රක්ෂේපණය විය යුත්තෙ පහළ ඉඳලා අහස දෙසට. නැත්නම් ඉහළ ඉන්න නරඹන්නන්ට මොකුත්ම ඇහෙන්නෙ නැහැ. රංගනයෙ යෙදෙන විටත් ඇස් බිමට නෙවේ, ඉහළට බෙල්ල සමගම මදක් ඉස්සෙන්න ඕනි කියලත් මට හිතුණා.
 නාට්‍ය හා රංග කලාව විතරක් නෙවෙයි තවත් කලාවක් ප්‍රායෝගිකව හදාරන්න අවස්ථාව ලැබීමත් පේරාදෙණියට ආව ගමනෙන් මා ලබාපු තවත් වාසියක්. සිංහලෙන් කියනවනම් ඇඩ්වාන්ටේජ් එකක්.
අපි ආපහු යනකොට කෝච්චියෙ යන්න හිතුවා, එදා අපට වැඩිය වැදගත් ලෙක්චර්ස් තිබුණෙත් නැහැ. දුම් රිය නැවතුමට අමිලයි, තරිඳුයි ආව එකත් හොඳයි කියල මට හිතුණා. දවස් තුනකට අපි කොයි තරමක් කිට්ටු වුණාද..? ඒත් ඒක ආදරයමද කියල නිර්වචනය කරන්න බැහැ. අපි මොන තරමක් කතා කළත් එහෙම දෙයක් සෘජුවම කතා කළේ නැහැ, කිසිම විටක. එහෙම වුණේ කොහොමද ඇත්තටම? ඒ කාරණාව ඔස්සෙ මොකට සිතුවිලි මෙහෙයවනවද?
සමුගැනීමේ ශෝකය දෑස් වල ආලේප කර ගෙන මම තරිඳු දිහා බැලුවා. වැඩිය නැතුව ගාණකට ඇස් වලට දොඩමළු වෙන්න ඉඩ හැරියා. තරිඳුගෙ ඇස් මට කියවන්න පුළුවන්. ඒත් ඒ දෑස් වල විරහවක, සමුගැනීමක වගක් වත් සටහන් වෙලා නැහැ. ඒ වෙනුවට කියා ගන්න බැරි දේවල් ගොඩක් දෑස් පතුලෙ ඉඳන් ටික ටික මතුවෙලා විදුලි රේඛා වගෙ මාව නිර්වින්දනය කරනවා. ඔහුගෙ දෑස් අතරෙ මගෙ ඇස් දෙක අතරමං වෙලා වල්මත් වෙන්න ඉස්සරින් මම සරලා දිහා බැලුවා. 
එයාගෙ ඇස් දෙකත් අඬන්න ඔන්න මෙන්න. ප්‍රේම විරහව උහුලන්න අමාරුයි ඇත්තටම ආදරය කරන කොට. යසට හිටිය මට මේ මොකද වෙන්න යන්නෙ? කෝ මගෙ හිතේ මුර සෙබළු? සීමා මායිම් වැට කඩුළු බිඳ ගෙන, තහංචි කඩා ගෙන යන්න නේද සූදානම් වෙන්නෙ?
දඩබ්බරීත් එක්ක සම්ප්‍රදායිකා කඹ ඇදිල්ලක. අනේ...! ඒ දෙන්න ඕනි කඹයක් ඇදපුදෙන්. මට අනිමිස ලෝචනයක යෙදෙන්න ඕනි වෙලා.
දුම් රිය පිටත් වෙන්න නලාව පිම්බා. කොළ කොඩියත් වැණුවා. මගෙ පපුව ඇතුළෙ තම්මැට්ටම්, දික්බෙර, දවුල් බෙර විතරක් නෙවෙයි... උඩැක්කිත් වාදනය වෙනව. මොකද්දෝ ගුලියක් වගෙ දෙයක් උගුරෙ හිරවෙන්න අරගෙන ගල නාලයයි, ස්වාස නාලයයි අතරෙන් පහළට ගිහින් උර කුහරයයි, උදර කුහරයයි අතර ඊයම් බරුවක් වගෙ බරට තැන්පත් වුණා.
මම දුම් රිය කවුළුවෙ එල්ලිලා බලාන ඉන්නව. දැන්නම් මගෙ ඇස් එක එල්ලේම පිළිසඳරක. කෝච්චිය හෙමිහිට හෙමිහිට ඉදිරියට ඇදෙනව. අර දෙන්නා කෝච්චිය පස්සෙන් ඇදෙනවා. හරියට චිත්‍රපටයක වගෙ. ඔක්කොටම ගොළු මන්තර දමලා.
කෝච්චිය වේගය වැඩි කරන්න හදන කොටම මෙන්න දෙන්නම දඩි බිඩි ගාල නැග ගත්තා කෝච්චියට. 
අපිට කිසිම දෙයක් අදහ ගන්න බැරුව ටිකක් වෙලා අන්දුන් කුන්දුන් වෙලා හිටියා... අනේ..! ඇත්තටම කොලුකමක තරම. බලන්න එක පාරටම රූප රාමුව වෙනස් කරපු හැටි. හරිම අතාත්ත්විකයි නේද? ඒ වුණාට මම නං කැමතියි ඒ කොලු ගතියට. එහෙම අමුතු දෙයක් වත් කරන්න ප්ලෑන් කර ගන්න බැරි නං ඔය මළ ඉලව් යෞවනය පොල් ගාන්නද?
ඔය මගෙ හිත ඇතුළෙ ඉන්න දඩබ්බරීගෙ කතා, ඕගොල්ලො ගණන් ගන්න එපා....එයා සමහර වෙලාවට කට කම සිරියාවක් නැතුව දොඩවනවා. ඉතින් හරියට කතා කර ගත්තා වගෙ තරිඳු ඇවිත් මගෙ ළඟින් වාඩි වුණා. සරලා ළඟ හිටිය රුවිනිව තල්ලු කරල අමිල වාඩිවුණා. තවමත් අපි හිනා වෙනව...හිනාවට තිරිංග දමන්න කාටවත්ම බැහැ. ආයෙමත් සිංහලෙන් කියන්නද.? බ්‍රේක් නැතුව ගියා අපේ කාගෙත් හිනා වලට.
රුවිනි සරලලාට නිදහස දීල අනික් අසුනට ගිහින් පොතක් පෙරල ගත්තා, හිනා වෙවීම. " මලිති, ඔයා පොත් ගෙනාවෙ නැද්ද, කියවන්න?"  
මට හිතුණා කියන්න, මම අලුත් පොතක් හොයා ගත්ත කියවන්න කියලත්. ඒත් ඒ සිතුවිල්ල හඬක් බවට පරිවර්තනය වෙන්නෙ දුන්නෙ නැහැ.
" මට වාහන වල යන කොට කියවන්න බැහැ, තරිඳු. මට හිතෙන්නෙ මට ඉක්මණටම කණ්නාඩි ගන්න වෙයි කියල"
" කණ්ණාඩි දැම්මම ඔයාගෙ ඇස් වල ලස්සණ වැහිල යාවි"
ඉතින් වෙන් වෙන්නම ගිහින් ආයෙමත් ළං වෙල ඉන්න පුළුවන් වුණු එක ගැන වක්කඩ කැඩිල ගලාගෙන යන සතුට අර ඊයම් බරුව අරගෙන දුම් රිය කවුළුවෙන් ඉවතට වීසි කළා. ලොකු සැහැල්ලුවක් හිතට රිංගලා කිරි දරුවෙක් වගෙ එහෙ මෙහෙ දණ ගානවා. දුම් රිය මැදිරි වල එතරම්ම සෙනගක් නැහැ.
අමිල රුවිනිට විහිළු කළා.
" ඔය පොත විසි කරල මෙහාට එන්න ළමයො. අපි ටිකක් ජොලියෙන් යමු"
" අන්න වැඩේ, අපි ගීතයෙන් ගීතය කරමු" සරලා කීවා.
ඒත් මට ඕනි වුනේ තරිඳුගෙ සුවඳ දැවටිල ඇවිත් මගෙ මුහුණෙ වදින සුළඟ අතරෙ ඇස් දෙක පියාන දැහැන් ගත වෙන්න.
'සුවඳ දැනී දනී දැනෙනවා....ජීවිතේ සුන්දරද මෙතරම්..' මම මුළු සින්දුවටම රූප රචනා කරනවා හිතෙන්. 
ඊයේ නුදුටුව ලස්සන ලෝකය හෙමිහිට ඇවිදින් මට තුරුළු වෙනවා...!  
සරලගෙ එක අතක අමිලගෙ ඇඟිලි හිර වෙලා. ටික වෙලාවකින් තරිඳු මගෙ වම් අත උඩින් එයාගෙ අත තිබ්බා. ඇඟිලි දිගේ සම්ප්‍රේෂණය වුණු විද්‍යුතයද, ස්ථිතික ද මම දන්නෙ නැහැ මුළු සර්වාංගය පුරාම ක්ෂණයකින් විහිදිලා ගියා. කම්මුල් දෙකත් එක්කම මගෙ කන් දෙකත් රත් වුණා. මොහොතකට හුස්ම ගන්න අමතක වුණ වගෙ. ජීවිතය නතර වුණා ඇබින්දකට. මේක නම් පුදුම හෝමෝන ක්‍රියා කාරිත්වයක්. 
පිරිමි ළමයෙකුගෙ අතේ උණුසුම මේ තරමටම හිත සසල කරවන්නෙ කොහොමද? මම මගෙ අත එහෙමම තියෙන්න ඇරලා තරිඳු දිහාව බැලුව. වචනයෙන් ප්‍රකාශ නොකළ ආදරය හරි අපූරුවට ඇස්වල ලියැවිල...
මගෙ දඟ කරන ඇස් වලට මම කිසිම තරවටුවක් කළෙ නැහැ. තරිඳුගෙ ඇස් එක්ක හුරතල් වෙන්න ඉඩ හැරියා. 
දුම් රිය කවුළුවට එහායින් පෙනෙන හැම දෙයක්ම වේගයෙන් ආපස්සට දුවනවා. කිසිම දෙයක් පැහැදිලිව දකින්න බැහැ. ඒත් කවුළුවෙන් මෙහා අපි ඉන්න ලෝකය හරිම පැහැදිලියි. සරලයි. ඒ වගෙම සුන්දරයි. මේ සිත් වලට කවදාවත්ම දුක, වේදනාව කූඩු වෙන්නෙ නැතුව සරල රේඛාවක් වගෙ ඉදිරියටම යන්න පුළුවන් නම් ලෝකය මොන තරම් යහපත් තැනක් වේවිද කියල මට හිතෙනවා.
අනේ..! ඉන්ද්‍රයියෙ, මට සමාවෙන්න...මගෙ හිත මට ඉස්සරවෙලා. වෙන විකල්පයක් නැහැ, ඉන්ද්‍රයියෙ. සීතාවක් හෝ ජුලියට් කෙනෙක් හෝ ප්‍රමිලාවක් වෙන්නේ කොහොමද මම? ඒවා බොහෝ දෙනෙකුගෙ මනසේ මැවිල සාහිත්‍යය ඉතිහාසයට එකතු වුණ චරිත විතරයි. මම පණ තියෙන මනුස්ස දුවක්. මම කරන්නෙ වරදක් ද කියල විශ්ලේෂණයක යෙදෙන්න මගෙ හිතට දැන් විවේකයක් නැහැ.
නූල කැඩුණු සරුංගලයක් හැම දාම එහෙ මෙහෙ පාවෙවී තියේවිද?

12 ක් අදහස් දක්වලා.:

wayaba withthi said...

ඔකනෙ කියන්නෙ ආදරයයි කැස්සයි හන්ගන්න බැහ කියල "ඔහොම යන්" "ඔහොම යන්"

Supun Sudaraka said...

එළ එළ! මට ඉතින් මුකුත්ම කියන්න හිතෙන්නෑ... :)

ධනික | Dhanika said...

හරිම අපූරුයි... ලස්සන්ට ලියලා තියෙනවා... ඔය ඇස් කතාකරපු හැටි ගැන කියවද්දි මටත් මගේ අතීතෙ මතක් උනා.... :)

Prabath said...

අර උගුරෙ මොකක්ද හිරවෙන ගතිය මටත් තියෙනවා.. නියමයි.. අනිත් කොටස කවදද?

සචිනි ලියනගේ said...

මම මේ blog එකේ හැම ලිපියක්ම කියෙව්වා..හරිම ලස්සනයි.කියවනකොට ඇහැට කඳුලු එනවා.(මොකද මේ වගේම අත්දැකීමක් මටත් තියෙනවා.)ඒ වගේම හිනා යනවා.මටත් අහන්න තියෙන්නෙ ඊලඟට මොකද වුනේ කියල.දිගටම ලියන්න සුභ පැතුම්.

අක්කණ්ඩි said...

ඔබලාගේ අදහස් දැක්වීම විටින් විට පරවෙන්න හදන හිතට හීන් වැහි පොදක් වගෙ පතනය වෙලා මාව දිරිමත් කරනව. ආයෙමත් ලියන්න හිතෙනව එතකොට. ස්තුතියි හැම දෙනාටම. අපි හැම දාම සෙනෙහසින් ඉඳිමු.

TMG හෙවත් මනෝ said...

Every one is waiting for the next episode ,pls do write , keep up good work .

cheers
tmg

LazyOwl said...

ටික දොහකින්, ප්‍රතිචාර දක්වන්න බෑරි වුනාට කනගාටුයි. හෑබෑයි, කියවන එක අතෑරියේ නෑහෑ.

LazyOwl said...

මේ අපේ කොත්තුවට, මොන සන්තෑසියක් වෙලාද මන්දා? මෙහෙම ගියොත් අපට ඉඳිආප්ප කන්නයි වෙන්නෙ.

Chrishi said...

ඇත්තටම ඔය නාට්‍ය කරන්නේ ඇයි මෙච්චර හොඳ ලේඛන කලාවක් තියාගෙන ? අනේ මන්දා මට මගේ ඊයේ දවස මතක් උනා. මට දැනෙන විදිහට ඇස් වලින් කතා කරන එක මාර ප්‍රේමනීයයි !

chamila_dealwis said...

ඇස් වල කඳුළු හිර කර ගන්න පුලුවන් හැම දෙයක්ම කරනවා මම. හරිම ලස්සන අත්දැකීමක්. ඇත්තටම ලස්සනයි. ඔය දුම්රිය ගමන මමත් ඇවිත් තියෙනවා. හැබැයි අනිත් බාගේ පේරාදෙණියෙ දාලා :(

neon said...

ඇත්තටම ලස්සනයි.

Post a Comment