Sunday, September 20, 2009

මගෙ තීරණ ගන්න ඕනි, මම

Sunday, September 20, 2009
ඕගොල්ලො කම්මැලි නැතුව එනවද, මාත් එක්ක අර ඔරලෝසු කටුවට නැගල පොඩි රවුමක් යන්න? අද නිවාඩු නේද?
අර බලන්නකො...බැද්දගානේ නැන්දලාගෙ ගෙදර මිදුලෙ පුංචි පොකුණ ලඟ නංගිල දෙන්නත් එක්ක ඉන්ද්‍රයියා මාළුවන්ට කෑම දමනවා. නැන්දා කිව්ව, එයාට තේ ගිහින් දෙන්න කියලා. නංගිලාටත් එන්න කියන්න කියලත් කිව්වා, පංති යන්න ලැහැස්ති වෙන්න. මට ප්‍රශ්න වලින් පැනල යන්න බැරි බව මම තේරුම් අර ගෙන හිටියා වුණත් ඉන්ද්‍රයියගෙ මෙ ගහෙන් ගෙඩි එන තීරණ ගැනීම් ගැන නම් මගෙ කිසිම පැහැදීමක් නැහැ. මම හුදෙකලා ජීවිතයක් ගත කරන කෙනෙක් නොවෙන බව එයා තේරුම් ගන්න ඕනි.
මගෙ ජීවිතෙත් එක්ක අම්ම, අප්පච්චි, මල්ලි, නංගි සේරෝම බද්ධ වෙලා ඉන්නෙ. පෙකනි වැල කපපු නැති නිවුන් දරුවො වගෙ. අවුරුදු ගණනක් කොහෙදෝ ඉඳලා හාංකවිසියක් වත් දන්නෙ නැතුව, වෙන ග්‍රහලෝකෙක ඉඳලා ඇවිත් වගෙ මගෙන් ජර්මනියට යමු කියල අහන එකේ තියෙන සාධාරණත්වය මොකද්ද කියල මට නම් තේරුම් ගන්න බැහැ. අවංකවම මෙයා මට ආදරේද...?
එහෙමත් නැත්නම් මේ සියල්ල යට සැඟවුණු වෙනත් න්‍යාය පත්‍රයක් තියෙනවද? ඉන්ද්‍රයියයට හිත පතුළෙ ගොඩ ගැහිල තියෙන නිමක් නැති ආදරය එයා හොඳාකාරවම දන්න නිසා එයා කියන ඕනිම දෙකට මම 'සුටුස්' ගාලා කැමති වෙයි කියල හිතනව නම් ඒක ලොකු වැරදීමක්. ඕනිම දේකට, විශේෂයෙන් ජීවිතයෙ කඩඉම් වල, සිංහලෙන් කියනව නම් 'බෙන්ච් මාර්ක්ස්' වැටෙන තැන්වල අපි තීන්දු ගන්න ඕනි..දෙවරක් හිතල බලලා කියලයි මට නම් හිතෙන්නෙ. මට එදා හිතුණු දේ අදටත් වලංගුයි. 
ඉස්කෝලෙ යන කාලෙ ඉන්ද්‍රයියා ළඟම දැවටි දැවටි හිටිය බොළඳ කෙල්ල දැන් ඊට වඩා ගැඹුරු විදිහට හිතන්න අරගෙන වග එයාට හිතිලා නැතුව ඇති. වයසින් මෝරන කොට නුවණ මෝරන්නෙ නැත්නම් ඉතින් මගෙ මොළ ගෙඩියෙන් තියෙන වැඩේ මොකද්ද? අල ගෙඩියකයි, මගෙ මොල ගෙඩියෙයි වෙනසක් නැහැ නෙ, එතකොට.
ඒ වුණාට මට බය හිතෙන දෙයකුත් තියෙනවා. මගෙ තියෙන ලොකුම දුර්වල කමක් තමයි, කාගෙවත් හිත රිද්දන්න බැරි කමට අහක යන කුණු ඇඟේ දාගෙන දුක් විඳින එක. එහෙම ඇබැද්දියක් වෙන්න නොදී සිහි නුවණින් වැඩ කරන්න මට 'සම්ප්‍රදායිකා' එක්ක 'දඩබ්බරී' උදව් කරන්නෙ නැතැයි.
" ඉන්ද්‍රයියෙ, මෙන්න තේ..." 
එයාගෙ මූණේ පොකුණෙ වගෙම මල් පිපිලා. සතුට දෝරෙ ගලනවා. එයාගෙ දිහාවට ආකර්ශනය වෙන්න යන මගෙ හිත් පළුවක් මම මගෙ දිහාවට ඇදල ගන්නවා. දඩබ්බරී ඔය අතරෙ හිත ඇතුලෙන් එලියට පනින්න දඟලනවා.
"මාළුවන්ට කෑම විතරද දාන්නේ...ඇම දැම්මට උන් ගිලින එකක් නැහැ" මම දඩබ්බරීට ටොක්කක් ඇනලා හිත ඇතුළටම රිංගවන්න වෑයම් කළා.
" එන්නකො, සුදු මැනිකෙ...මෙතනින් ඉඳගෙන අපි පොඩ්ඩක් කතා කරමුකො" ඒ ආරාධනයෙන් ගැලවෙන්න නම් බැහැ, කවුරු මොනවා කිව්වත්.
" මොකෝ මලිති නොකියා ඔයත් සුදු මැණිකෙ කියන්න ගත්තෙ?"
" ඉතින් පවුලෙ හැමෝම එහෙම කියන කොට මට පුළුවන්ද පිට කෙනෙක් වගෙ මලිති කියන්න?" 
මට සුදු මැණිකෙ කියන කොට එයා මගෙ ජීවිතයට ගොඩක් සමීපයි වගෙ හැඟීමක් ඇතිවෙනව. ඒ හැඟීමට මට බයකුත් හිතෙනවා. ඉන්ද්‍රයියා මගෙ ප්‍රථම ප්‍රේමයට නැවතීමෙ ලකුණක් තිබ්බය කියල මම හිතුවට ඒක කොමාවක් වගෙ විරාම ලකුණක් විතරක්ද? එහෙම නම් ඇයි එයා ඒ බව මේ තරම් කල් මට නොකියා වහන් වෙලා හිටියෙ. ඒකට සමාව දෙන්න පුළුවන්ද? එයා ඒක වරදක් හැටියට දකින්නෙ නැත්තෙ ඇයි? 
ප්‍රශ්න ...ප්‍රශ්න...මොන විකාර ප්‍රශ්නද? මිනිස්සුන්ට මීට වඩා කොච්චර නම් බැරෑරුම් ප්‍රශ්න තියෙනවද?
සමහර මිනිස්සුන්ට ඉසට හෙවනක් නැහැ...කුසට අහරක් නැහැ...ගතට වස්ත්‍රයක් නැහැ...අඩුම තරමින් කී දෙනෙක් මූලික අවශ්‍යතා නැතුව ලෝකයේ ඉන්නවද? අපි මේ ප්‍රේම පලහිළව් මහ ලොකු ප්‍රශ්න කර ගෙන අහස පොළව ගැටලන්න හදනවා. එහෙම හිතන එකත් හරි නැහැ...අපේම ජීවිතෙන් අපිට පලා යන්න බැහැ, මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නෙ නැතුව. හිත ඔහොමමයි මගෙ. පිල් බෙදිලා වාද කරනවා. 
" මම කියපු දේ ගැන හිතුවද ඔයා, බබෝ?"  
පොකුණු ගැට්ටෙ හිටිය මාව වතුරට තල්ලු කරන්න වගෙ ගිහින් දෑතින්ම මගෙ උරහිස් දෙක අල්ලගෙන ඉන්ද්‍රයියා මගෙ ඇස් ඇතුළෙ ප්‍රශ්න වලට උත්තර හොයනව. මගෙ ඇස් වලින් එයාට මගෙ හිත කියව ගන්න පුළුවන් වේවිද?
" අනේ..සොරි...ඉන්ද්‍රයියෙ, මම අම්මගෙන් අහල කියන්නද? මට ඉක්මණටම මොකුත් කියන්න බැහැ. මම උපාධිය ඉවර කරන්නෙ නැතුව කොහොමද? මට ටිකක් කල් දෙනවද මේ ගැන හිතල තීරණයක් ගන්න?"
" ඔයා හිතනවද බබා, ඔයා ඩිග්‍රි ගැහුව කියල ඔයාව මම රස්සාවකට යවයි කියලා. මට ඔයාව බලා ගන්න පුළුවන්, ඔයා රස්සාවක් කරේ නැතුවට."
" එතකොට මම ඔයාගෙ සුවච, කීකරු බිරිය වෙලා...ලමයි වදන...ලමයි හදන...රෙදි සෝදන, උයන පිහින මැෂිමක් කරල ගෙදර තියා ගන්නද කල්පනාව? මගෙ දැනුමෙන් ප්‍රයෝජන ගන්න, ලෝකයට යහපතක් කරන්න මට ඉඩ කඩ අවසර දෙන්නෙ නැද්ද"?
මගෙ හිතේ නැගෙන මේ අදහස් වලට සම්ප්‍රදායිකා වැට කඩුළු බඳිනවා. දඩබ්බරී අත උස්සලා එකඟ තාවය පළ කරනවා. තරිඳුගෙ අදහස් මීට වඩා වෙනස්. පරස්පර විරෝධී අදහස් දරන පුද්ගලයො දෙන්නෙකුට මැදිවෙලා, සුදු මැණිකෙව. සුදු මැනිකෙටම මිසක මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න වෙන කාටවත් උදව්වට එන්න බැහැ.
" ළමයො, එහෙ ගියාම ඔයාටත් තව ඉගෙන ගන්න පුළුවන්."
" ඉගෙන ගන්න එක නෙවෙයි ප්‍රශ්නෙ, අයියේ..අම්මලට නොකියා මම කොහොමද එන්නෙ ඔයත් එක්ක...? ඒ ගොල්ලො කොහොමද ගමට රටට මුහුණ දෙන්නෙ? පැනල ගියා කියල කතාවක් හැදුණම මොන තරම් නින්දාවක්ද?"
"මෙයාට පිස්සු. ඉගෙන ගන්න පිට රටකට ශිෂ්‍යත්වයක් ලැබිලා ගියා කිව්වම ඉවරනෙ...ඔය තරම් ලොකුවට ඕවා හිතන්න එපා. මිනිස්සුන්ට සති හයක් යනකොට සේරම අමතක වෙනවා."
"මිනිස්සුන්ට අමතක වෙන්න පුළුවන්. ඒත් අම්මල අප්පච්චිලට දැනෙන හිත් වේදනාව ගැන ඔයාට හිතන්න බැරිද?"
" ඇයි, අම්මයි, අප්පච්චියි මිනිස්සු නෙවයිද? වෙන සත්ව කොට්ඨාසයක්ද?"  
"ඉන්ද්‍රයියෙ..."  
මට එතැනින් එහාට කිසිම දෙයක් කියන්න ඕනි වුණේ නැහැ... ඒ වගෙ අදහස් දරන හිතක් එක්ක මොකට වාද කරනවද? උසස් පෙල පංතියෙදිත් මට සමහර විට එයා ප්‍රකාශ කළ අදහස් මතක් වුණා. මම අනෙක් පිරිමි ළමයි එක්ක, සර්ලා එක්ක වැඩිය කතා කරනවට, විහිළු තහළු කරනවට එයා කැමති වුණෙ නැහැ.
එයා මට දවසක් වික්ටර් රත්නායකගෙ, 'සඟවා ගනු මැන සොඳුරියෙ ඔබ වත..අන් කිසිවෙකු ඔබෙ මුව මත ගැටෙතැයි මා සිත බිය වී සැලී සැලී යයි' ගීතය ලියල දුන්නෙ එයාගෙ අදහස් නිරාවරණය කරන්නද කියලා මට හිතුණා.
" පිට රටකට යන්න ලැබෙනව කියන එක හැමෝටම ලැබෙන වාසනාවක් නෙවෙයි, මලිති. අම්මලාව පස්සෙ ෂේප් කරගන්න පුළුවන්. ඔයා කැමති නං සේරම වැඩ මට සතියකින් කර ගන්න පුළුවන්."
" මට ටිකක් කල් ඕනි අයියෙ, ප්ලීස්. ඔයා යන්න ඉස්සරින්. පස්සෙ බලමුකො. මට එන්න වාසනාව තියෙනව නම් කාටවත්ම ඒක වළක්වන්න බැහැ නෙ?"
" ඔයා තරහ ඇති මම එක පාරටම කඩා වැටිල මෙහෙම කියනවට. මට වෙන ක්‍රමයක් තිබුණෙ නැහැ. අපෙත් අප්පුච්චා කැමති නැතුවයි මම මේ තීරණය ගන්නෙ. ඒ කියන්නෙ ඔයත් එක්ක එකතු වෙනවට.. එයාල කැමති නැහැ, ඔයා කතික තරඟ වලටයි, නාට්‍යය වලටයි ස්ටේජ් වල නැගල කරන දේ වලට. වේදිකා උඩ නගින එක උඩරට, හොඳ පවුල් වල ගැහැණු ළමයින්ට වටින්නෙ නැති දේවල් හැටියටයි අපේ අම්මිල, අපුච්චල දකින්නෙ"
එහෙම නම් ඉතින් මම කොහොමටත් ඔය පවුලට ගැලපෙන එකක් නැහැ කියල මට කියන්න හිතෙනව. ඒත් මොකටද එයාගෙ හිත රිදවන්නෙ? නැන්දා එතැනට ආවෙ ගැලවුම් කාරයෙක් වගෙ. 
"දෙන්නම උදේට කාලා ඉන්නකො. හැම ප්‍රශ්නෙකටම විසඳුමක් තියෙනවා."
මගෙ විසඳුම මම හිතල ඉවරයි. කියලත් ඉවරයි. ඉන්ද්‍රයියට ජය පතල සමු ගන්න ඕනි කියල කියන මගෙ හිත වැරදිද නිවැරදිද කියල මට නම් තේරුම් ගන්න බැහැ.
මේක මගෙ ජීවිතය. වැරදුණත් හරි වුණත් මගෙ තීරණ මමම ගන්න ඕනි, විඳවන්නෙ හෝ අඬන්නෙ හෝ හිනා වෙන්නෙ මම නේ.

8 ක් අදහස් දක්වලා.:

ushan said...

මරු කතාව

wayaba withthi said...

නගෝ අපේ අයට සති හයෙන් අමතක වෙන කතාව නම් ඇත්ත සමහර විට එච්චර යන්නේත් නැහැ දවස් 30 අමතක වෙනවා

Supun Sudaraka said...

එළ!

මනෝ( TMG) said...

at a critical point of deciding what is best for her?

අමිල said...

හ්ම් ම‍ට තාම ආදර අත්දැකීම් නැති හින්දා මේවා තේරෙන්නෙ නෑ
අනේ මන්දා කට්ටිය ආදරේ හින්දා විඳිනවට වඩා විඳවනවා වගේ

"එදා ප්‍රේමෙන් නොබැඳුනා නම්
මෙදා වියොවක් නෑ"

neon said...

ඔන්න අක්කණ්ඩි කතා ටික සේරම කියෙව්වා ! කියවගෙන යනකොට නවත්තන්න හිතෙන් නැති තරමට කතා ටික ලස්සනයි ! ඊලග කොටස කියවන්න ආසාවෙන් බලන් ඉන්නවා !

Mark said...

අක්කන්ඩි, ඔයාගේ බ්ලොග් කියවද්දි හිතට පුදුමාකාර සන්තොසයක් දෑනෙනවා. විශේශයෙන් ඉන්ද්‍ර අය්යා ගෑන ලියපු කතා.. මම අද තමයි මුලින්ම ඔයාගේ බ්ලොග් සටහන් දෑක්කේ. උදෙ ඉදන් මේ වෙනකම් සේරම ටික කියෙව්වා ඔයා ලියපු, තවත් එවා ලියන්න. කියවල ඉවර වුනාම හිතුනෙ අනේ තවත් තිබුනා නම් කියලා.. All the best!
Mark

අක්කණ්ඩි said...

Thanks for all your comments.

Post a Comment