Tuesday, September 15, 2009

නැත ලොවේ අන් රසඳුනා...

Tuesday, September 15, 2009
හැමෝම කලබලයෙන් ඇඳුම් මාරු කරනවා. තරඟයක් වගෙ...කණ්නාඩියක් ඉදිරියෙ වාඩිවෙලා, මම මුහුණ පුරා තවරල තිබුණු පාට මකා දමන්න උත්සාහ කළා. ඇස් වල නිල් පාට, කලු පාට, රෝස පාට...දෙකම්මුලේ රතු පාට...මට ඒ පාට මකල දමන්නත් ලෝබයි වගෙ. මගෙ රූපෙට මගෙ හිතේම තණ්හාවක් ඇතිවෙලා. අර ලස්සන පාට ක්‍රීම් ගාල ඉවත් කරද්දි ටිෂූ එකට එන්නෙ තනිකරම කළු පාටක් වෙල. සුන්දර දෙවල් වල අවසානය කලුම කලු අඳුරක් විතරද?
'විකාර නොහිතා ඉක්මනට ඇඳ ගෙන ගියොත් හොඳ නැද්ද? කී දෙනෙක් අරෙහෙ බලාන ඉන්නවද'
අප්පෝ! මේ දඩබ්බරීගෙන් නම් බේරෙන්න හරිම අමාරුයි. 
මුහුණ සෝදගෙන මම ඉක්මණට ලා නිල් පාට ඔසරිය ඇඳ ගත්තා. මට ඔසරියක් අඳින්න හිතුනෙ තරිඳු එන නිසා. එයාගෙ ගම මාතලේ නෙ. එයා ඔසරි අඳිනවට කැමතියි කියල මට හිතුණා. මදෑ....එක්කෙනෙක් වෙනුවට අද දෙන්නෙක්ම ඉන්නවා හැඩ බලන්න. ඉන්ද්‍රයියත් තවම මම ඔසරි ඇඳල ඉන්නව දැකල නැහැ.
මෙලහටත් මොන මොන මාර්තෘකා සාකච්ඡා මණ්ඩපයට ප්‍රස්තුත කර ගත්තද දන්නෙ නැහැ. ඉන්ද්‍රයියට තරිඳු ගැන කියයිද කවුරු හරි? නැහැ...එහෙම වෙන එකක් නැහැ. හැමෝම මගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටියෙ.
" අම්මෝ, මලිති කුමාරිහාමිගෙ හැඩ දැන්නෙ පෙනෙන්නෙ අපූරුවට. කවුද දන්නෙ නැහැ මේ සුරන්ගනාවිව ගෙනියන්න අසු පිටින් එන කුමාරයා?"
සරලා කීවෙ මගේ දිහාවටම දෑස එල්ල කර ගෙන. මගෙ ඇස් මොන කුමාරයා ලඟට වත් යන්න නොදී මම අමාරුවෙන් වහන් කර ගෙන දඟකාර විදිහට අහසෙ තරු දිහාවට යොමු කළා.
" හහ්! දැන් අහස දිහා බලන්නෙ මිනිස් ලොකේ කුමාරයෙක් මදි වෙලා වෙන්නැති, මෙයාට"
ඒ අමිල.
" අනේ, ප්ලීස්..., මාව බයිට් එකට ගන්නෙ නැතුව මොනව හරි කන්න යමුකො"
මම පොදු ප්‍රශ්නයකට සිත් යොමු කළා. හරිම පුදුමයි. කතා බහ අතරෙ මම ඉන්ද්‍රයියගෙයි, තරිඳුගෙයි මැද්දට වැටිල.
" කෝ..දෙන්න ඔයාගෙ බෑග් එක මට" ඉන්ද්‍රයියා මගෙ ඇඳුම් බෑග් එක ගත්තා. මට දැනෙනව, දෙන්නම උගුරට හොරා බෙහෙත් කන්න උත්සාහ කරන බව. දෙන්නම හරිම පරිස්සමෙන් වචන පාවිච්චි කරන්නෙ. එක්කෙනෙකුට වත් අවශ්‍ය නැහැ, තමන්ගේ වගෙම මගෙත් ශ්‍රී නාමය කෙළෙසන්න. නෑදෑ වෙන අයියෙක් කිව්ව නිසා අමිල, රුවිනි, සරලා වුනත් කතා කරන්නෙ පරෙස්සමින්.
ඒකත් ජය සිරි මංගලම්! මගෙ හිත කෙඳිරි ගානවා. දැන් පොඩ්ඩකට ඉස්සෙල්ල ඉන්ද්‍රයියට  ළං වෙන්න හිතපු හිත සන්සුන්වෙලා. තරිඳු ගැන මේ දවස් ටිකේම මවපු හීන කොහෙ විසිරිල ගිහින්ද කියල මටම නිනව්වක් නැහැ. පුදුම උපේක්ෂාවක්. හිතා ගන්න බැරි සන්සුන් කමක්.
" ඉන්ද්‍රයියා අද කොහෙද නවතින්නෙ?" මගේ පළවෙනි ප්‍රශ්නය.
" බැද්දගානෙ නන්දා පුංචිල ගෙ ගෙදර. මලිති නංගිවත් එක්කරගෙන එන්න කිව්වා පුංචි." දියට දමන්න හදන කොට ඇන්නෑවෙ කියන ඉබ්බෙක් නොවී අදි මදි මූණක් දමන්න හිතුණ, අනික් අය ඉදිරියෙ. ඒත් ඉන්ද්‍රයියගෙ ඇස් දෙකට මගෙ හිත තේරුම් ගන්න ඉඩ හැරියා.
" අපි බෝඩිමේ ඇන්ටිට කියන්නම්" රුවිනි මොකද මේ? තරිඳු ගෙ විරුද්ධත්වයක් ඇත්තෙම නැහැ.  
ගත්තු උලුඳු වඩේ, පැටිස්, කට්ලට්ස් කමින් අපි බස් නැවතුමට ආවා. බස් නැවතුමේ මාවයි, ඉන්ද්‍රයියවයි තනි කරල අනෙක් කට්ටිය සමු ගත්තා.
" ඔයාට හොඳ යාලුවො කට්ටියක් ඉන්නව නේද..?"
තරිඳු පස්සෙන් ඇදෙන ඇසුයි, හිතයි ඉන්ද්‍රයියා දොඹකරයකින් අදිනව. අකැමැත්තක් නැතුවම හිතත් ඇදිලා එනව.
අපි බස් එකේ ඉඳ ගත්තෙ එකළඟ, ගෑවි ගෑවි. ඉන්ද්‍රයියා මගෙ වම් කලව උඩ ගිමන් හරින අත අල්ල ගෙන ඊට උඩින් මගෙ බෑග් එක තිබ්බ කාටවත්ම නොපෙනෙන්න. මම අත ඉවතට ගන්න හිතුවෙ නැහැ. එයාගෙ ඇඟිලිත් එක්ක හුරතල් වෙන්න ඇරියා. මගෙ ප්‍රථම ප්‍රේමය ඉදිරියෙ මගෙ අකීකරු කමට නීති දමන්න මට බැහැ.
"ඇත්තටම ඉන්ද්‍රයියෙ, ඔයාට මොකද වුණෙ...මම හිතුවෙ ඔයා හේමි එක්ක ...."
"කට, කට...." ආදර තරවටුවක්.  
"ඔසරියට ඔයා හරිම හැඩයි මගෙ සුදු මැණිකෙ"
"හා...කවද්ද ඔයාට මාව ලියල දුන්නෙ?"
"ලියා ගන්නංකො පස්සෙ. ලිව්වත් නැතත් ඒක එහෙම තමයි"
"ඔයා හේමි ගැන කියන්නෙ නැත්තෙ අයි?"
" මොන හේමිකෙක්ද? එයා කොයි ලෝකෙක ඉන්නවද කියල මම දන්නෙ කොහොමද?" "මම හිතුවෙ ඔයා එයත් එක්ක.."
" මම එයත් එක්ක බින්න බැහැල කියලද? නෑ කෙල්ලෙ, අපෙ අපුච්චා අපේ සම්බන්ධයට පොඩ්ඩක් අකැමැතියි වගෙ. ඒත් පුංචියි, නැන්දයි ඔයාට හරිම අදරෙයි."
"පුංචියි, නැන්දයි විතරද මට ආදරේ"
"ඔව්, ඉතින් මේ කලු කෙල්ලට වෙන කවුද ආදරේ කරන්නෙ?"
ඔහු මගෙ අත මුව අග්ගිහට අරගෙන සිප ගත්තෙ අර විදුලි දහරාවන් මුළු සිරුර පුරහම සන්නයනය කරමින්. පරිපථය දිගටම අඛන්ඩව විද්‍යුතය සංසරනය වෙනව. සිතුවිලිත් ඝනීභවනය වෙලා. රුධිරය..ස්නා‍යු...සෛල...අස්ථි...ඇටමිදුළු...මස්තීෂ්කය, සුසුම්නාව...ඔක්කොම නිර්වින්දනය වෙමින් සීතල වෙනව. මගෙ ලේ ගමන අධික වෙලා නහරයක් පුපුරලා මැරේද කියල හිතෙනව. සතුටද...ආස්වාදයද...ආහ්ලාදයද...රාගයද...මට මොන විදිහකටවත් ඒ හැඟීම් නිර්වචනය කරගන්න බැහැ. බස් එකේ නෙවේ නම් මම එයාගෙ උරිස්සට, මගෙ හිසේ උහුලගන්න බැරි බර දරා ගන්න දෙනවා.
බස් එකෙන් බැහැලා අපි පුංචිලාගෙ ගෙදරට (එයාගෙ පුංචි වුණාට මගෙ නැන්දා) ඇවිදගෙන ගියෙ පැටලුණු දෑත් වලින්. ගමේ වගෙ රොයිටර්ලා මෙහෙ නැති එක කොච්චර හොඳද? ගෙදර සීනුව නාද කළෙත් අත්දෙකම එකට තියලා. දොර අරින සද්දෙට අපි ටිකක් දුරස් වෙල අත් මුදා හැරියා.
" අප්පෝ, ඉන්ද්‍රම එන්න ඕනි මෙයාට අපේ ගෙදර එන්න..නේද පුතේ?" 
නැන්දම්මගෙ නෝක්කඩු, ආදරේට. වස විස නැහැ, ඒවයෙ. ලෙංගතු කම විතරමයි. මාමණ්ඩිට දණගහල වැන්දම සතුට බිම පෙරලෙනවා.
" කොළඹ ආවට සුදු මැණිකෙ වෙනස් වෙලා නැහැ. එහෙම තමා දියුණු වෙන ළමයි"
" මූණ කට සෝද ගෙන කන්න ළමයිනෙ...මෙයත් බලාන හිටියෙ ඔය දෙන්න එන කල්. නංගිල දෙන්න නං ඔන්න කාල බුදුන් වඳින්න ගියා උඩට."
ගේ පිටු පස්සෙ ලිඳට මම යන කොට ඉන්ද්‍රයියත් මගෙ පස්සෙන්. 
" කලු මැණිකෙට ලිඳෙන් වතුර ඇදල පුරුදු නැහැ නෙ. පුංචි කිව්ව ඔයාට වතුර ඇදල දෙන්න කියල".
අපිට හැම දාම මෙහෙම හුරතල් වෙවී ඉන්න පුළුවන් නම් කොයි තරම් හොඳද? අපි දෙන්නගෙ කිට්ටුවන්ත කම කට්ටිය සේරෝම දන්නව. ඉන්ද්‍රයියගෙ අපුච්චට ඇරෙන්න වෙන කාගෙවත් ඇහැකට කුනක් වුණේ නැහැ, අපි දෙන්න.
හඳ නොපිරුණත්, ආඩම්බරේට තරු පිරි වරාගෙන. මැද සාලෙ මල් කවුළුවෙන් රිංගන්න හදනව ගෙට. අපිට එකතු වෙන්න හිතිලද කොහෙද? පුර අටවක වෙන්නැති.  
" බත් බෙදා ගෙන මිදුලට යමුද, මාමණ්ඩී?"
" මොකෝ නොයා? යමු..යමු..අපේ කලා කාරිට හඳ එලිය නාන්න හිතිලද කොහෙද?" "කලා රිට"  
 ඉන්ද්‍රයිය මාව පහු කරල යන ගමන් මගෙ කණට කොඳුර ගෙන යනව. මම එකට එක කියන්න ගියෙ නැහැ. ආදරේට කියන ඒවට කලබල වෙන්නෙ මොකටද?
හඳ වතුර, මිදුලෙ පොකුණු පොඩිත්තෙ වතුරට එකතු වෙලා රිදී පාට ජල තරන්ග මවන රටාව හරිම අපූරුයි. මානෙල් මල් වල දම් පාට හිත පුරා ඇතිල්ලෙනවා. මාමණ්ඩි ළඟින් ඉන්ද්‍රයියා ඉඳ ගත්තා. නැන්දම්මා මගෙ ළඟට ඇවිත් හරි බරි ගැහුණා.
"සුදු මැණිකෙ දන්නවද? ඉන්ද්‍ර පුතාට හිෂ්‍යත්වයක් ලැබිල ජර්මනියට යන්න?"
අලුත් පුවත් කෙටියෙන් විකාශනය වෙනව. 
" ඔය කියන කල් දන්නෙ නැහැ, නැන්දම්මෙ...අයියා මට කිව්වෙ නැහැ."
" ඇත්තද පුතේ..මොකද නංගිට කිව්වෙ නැත්තෙ පුතා රට යන කතාව?"
" තව සති තුනක් තියෙනව නෙ, පුංචි. පොඩ්ඩක් තිබුණොත් දුන්හිඳ ඇල්ල ඇස් දෙකේ නෙ මෙයාගෙ. පස්සෙ වෙලාවක් බලල කියන්න හිතුවෙ."
"ඒ කියන්නෙ ඔයා යනව කියන එකද අයියෙ?"
"ඔය මං කිව්වෙ...බොරුද බාප්පොච්ච මම කිව්වෙ?"
අර තුන් කාලෙ හඳ පලුව කළු වළාවකට මුවා වුණා. පොකුණෙ මල්, රිදී පාට දිය රැළි ...සේරම අඳුරු කුට්ටියක්. ඇස් අග්ගිහට තෙතමනයක්.
" ඔයාව අද මෙහෙ එක්කරන් ආවෙ ඔයාගෙ පාස් පෝට් හදන්න කියල" ටිකිරි නංගි දුවගෙන ඇවිත් අපේ කතාවට එකතු වෙනව. 
"ටිකිරි, ඔයාට පැහිච්ච්කං වැඩක් නැහැ ." 
නැන්දම්ම සැර වෙන්නෙත් තරහින් නෙවෙයි.
"දැන්ම නෙවේ. එයා ගිහින් ඔයාට ටිකට් එකක් එවාවි. එහෙම නේද පුතේ"
මාමණ්ඩි කරුණු පැහැදිලි කරන්න උත්සාහ කරනව.
" නැහැ, බාප්පුච්චෙ, ඔක්කොම ලිය කියවිලි සතියෙන් ලැහැස්ති කරල දෙන්නම් කියල යාලුවෙක් කිව්වා. එයාගෙ තාත්ත වැඩ කරන්නෙ විදේශ කටයුතු අමාත්‍යංශයෙ. මෙයාගෙ කැමැත්ත විතරයි ඕනි."
ගහෙන් ගෙඩි එන්න වගෙ ඉක්මණට ඉක්මණට මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද? මම අප්පච්චිට, අම්මට මොනවද කියන්නෙ? මම පවුලෙ වැඩිමලා. මට පුළුවන්ද හොරෙන් පිට රට යන්න අම්මගෙ, අප්පච්චිගෙ මූණෙ දැලි ගාලා.
කන්න ගත්තු බත් උගුරෙ හිරවෙනව. අපිජිහ්විකාව තදටම වැහිල. සතුටක් එන කොටම ඇයි ඒ පසු පස්සෙ දුකකුත් අත් වැල අල්ලන් එන්නෙ? අනවශ්‍ය කතාවක් අනවශ්‍ය මොහොතක ඇදල ගත්තු එකට නැන්දම්මට හිත තැලිලා.
"ඕවා ගැන පස්සෙ කතා කරමු...කොහොමද අද නාට්‍යය හොඳට කෙරුණද?"
මාමණ්ඩි කැසට් එක මිදුලට ගෙනැත් 'සිංහබාහු' කැසට් එකක් වාදනය කළා.
'ලෝ දහමින් වැදෙනා රළු පහරින් 
ගත සිත රිදෙනා කල නිතියෙන් 
නැත ලොවේ අන් රසඳුනා...ආ...ආ..
ආදරේ සේ සුව දෙනා'  
මාමණ්ඩි කාලෝචිත විදිහට මාර්තෘකාව වෙනස් කළා. නංගිලා දෙන්න නැන්දම්මත් එක්ක සින්දුවෙ අත් වැල ඇල්ලුවා. හඳ ආයෙමත් වළකුළෙන් මිදිලා තරු පොකුරක් එක්ක හුරතලයක. ඉන්ද්‍රයියා කැසට් යන්ත්‍රයෙ හඬ වැඩි කරනවා. මමත් ගීතයටම සම වැදුනා.
'නැත ලොවේ අන් රසඳුනා...
ආදරේ සේ සුව දෙනා..........'  
ආදරයම විතරක් පිරුණු ලෝකයකට හෙට ඉර පායපු දෙන්. විරහවක් කොතැනක වත් ලියවෙන්න එපා. අද රෑටත් ජර්මනිය, විශ්ව විද්‍යාලය, නාට්‍යය, සල් ගහ ගෙදර, ඉන්ද්‍රයියා..තරිඳු...හිතට නිමක් නැති පැවරුම් ගොඩාරියක් එකටම ලැබිලා.  
කොහොම අවසානයක් දකීවිද? එක ප්‍රශ්නයක්, ප්‍රශ්න පත්තරයක් වෙල. එතැනින් නවතින්නෙ නැතුව සම්පූර්ණ පරීක්ෂණයක් වෙලා. මුළු විභාග දෙපාර්තමේන්තුවේම වැඩ, වගකීම මගෙ හිතට පැවරිලා වගේ. 
ප්‍රශ්න කන්දරාවක්. උත්තර කොහෙන් හොයා ගන්නද මම?

10 ක් අදහස් දක්වලා.:

දුකා said...

උත්තරේත් ප්‍රශ්නේ ඇහුලෙම තියෙනවාද කියලා අපිට දැන ගන්න පුලුවන් වෙයිද අක්කන්ඩි මේකේ තව කොටසක් කියවපුවාම . . ??? ඊලඟ කොටස කියන්වකම් අපිව නිකන් ගල් කරල තියනව නේද ඔයා . . . එල කිරි . . .

rane said...

කවුද ත‍රිදු මට නිච්චියක් නෑ?

Supun Sudaraka said...

හපෝයි! (මේ දෙවෙනි පාරට)
මේ ඉන්ද්‍රයා නං.... :D

Akkandi said...

තරිඳු කව්ද කියල ආයෙම කියවන්නකො. ඉන්ද්‍රයියා මොනව වුණත් පළමු පෙම නෙ?

TG said...
This comment has been removed by the author.
TG said...

ජීවිතයේ තනිමංසල අතරමං වෙලා
හුදකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා........ ආරාධනා........

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයෙ වෙරලේ
ජීවිත්යී දිගුගමනේ
අනාථවූ දා
සෙනෙහයේ සත් පියුමන් යලිදු පිපේවා
ආරාධනා......ආරාධනා

-Maestro Amaradeva -

Anonymous said...

I love reading your blog :) :) .. I check it every morning hehe :)

Akkandi said...

අදහස් දැක්වීම් මට ඔක්සිජන් දෙනවා. හැමෝටම ගොඩක් පින්. බ්ලොග් ලියන එකත් ලය විරේක වගෙ තමයි, දැනෙන්නෙ වෙලාවකට. නිවාඩු ඉවරවෙලා වැඩට ගියහම නිදි මරල තමයි, මේව ලියන්න වෙන්නෙ. ඒත් මොකද නේද?

මිගාර said...

හ්ම් . . ඊළග කෑල්ලත් කියවලම ඉම්මුකො!

samadhi said...

අනෙ කරුනාකරලා ඉන්ද්‍ර එක්ක යාලු වෙන්න එප!

Post a Comment