අද තමයි නුවර ගිහිල්ලා ආවට පස්සෙ මුලින්ම නාට්‍ය පුහුණුවට යන දවස. අධ්‍යක්ෂක තුමා එයාගෙ අනික් නාට්‍යය දර්ශන වගයකට රට වටා ලොකු සංචාරයක යෙදුණු නිසා පුහුණු වීම්, ටික දවසකට අත් හිටෙව්වා. අර සරච්චන්ද්‍ර තුමාගෙ කවි මට ලියලා දුන්නු සචින් අය්යවත් අද මුණ ගැහේවි බොහෝ විට. මතකයි නෙ, 'ළඳකගේ ඇස් මිණි පහන් ලෙස' ගීතය..?
නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙ තමයි අපේ පුහුණු වීම් තියෙන්නෙ. මම එනකොටත් සචින් අයියගෙ මෙටලික් නිල් පාට රිය විදුහල් මිදුලෙ හැන්දෑ අව්ව තපිනවා.
මොන ගිනි විජ්ජුම්බරයක් අද වෙයිද මන්දා? හිත රිදෙන්න මොකවත් කියන්නත් මට හිත දෙන්නෙ නැහැ. ඒ වුණත් මම දන්න වග නම් පෙන්වන්න වෙනවා.
ඔක්කොම කට්ටිය තවම ඇවිල්ලත් නැති එකේ කතාවට වැටෙන එක නම් සියයට සියයක් විශ්වාසයි. මම යනකොටම සචින් අයියා මගෙ ළඟට ආවා.
" මලිති ගෙ මූණෙ අද අමුතු සිරියාවක් පිරිලා. මොකද ඒ?" එයාම මට කියන්න ඕනි දේ කියනවා. තරිඳු ගෙ රැස්කිරණ තමයි ඒ .... මගෙ හිත කියනව. එයා අද උදෙත් බෝඩිමට කතා කළා. මොකුත් නොකියම ඉන්න එක වඩාත් හොඳ ක්‍රමවේදයක් කියලා මත හිතුණා. මම ස්ක්‍රිප්ට් එක පෙරලමින් හිනා වුණා.
" ඔයා අර කවි කියෙව්වද"
ඔන්න ඉල්ලන් කන්නයි හදන්නෙ. මම මේ ප්‍රශ්නෙට ගැලපෙන උත්තරයක් හදා ගන්න බොහෝ විට උත්සාහ කළත් හිත පුරාම හැම මොහොතකම තරිඳුම තරිඳුම තරිඳුම විතරක්ම නිසා අවශේෂ දේවලට කාලය මිඩංගු කරන්න හිතට උවමනාවක් තිබුණෙ නැහැ. 'එන එන හැටියට ගහ උළු වස්සා' කියලා හිත ඇතුලෙ ඉන්න දස අවතාර කෑ ගහනවා.
" අයියා ඒ කවි පොතකින් බලාගෙනද ලිව්වෙ?"
" ඇයි එහෙම අහන්නෙ....ඔය ගොඩක් පොත් කියවනවද"
" ඔව්, ඒ කවි ඔයාගෙම වෙන්න බැහැ"
" කවුද කිව්වෙ ඒ කවි මගෙ කියල. මම කිව්වෙ නැහැ නෙ. කවි වලට යටින් මගෙ නම ලියලත් නැහැනෙ."
කොහොමද උපාය ශීලි බව...? හරිම අපූරුයි නේද?
" මම ඒ කවි වලට ආස නිසා ඔයාට දුන්නෙ...ඔයත් ආස ඇති නෙ කියවන්න කියල." එයා පන්දුව මටම එල්ල කළා. මම පන්දුව මග හැරලා එයාටම හයේ පහරක් ගන්න ඉඩ හැරියා.
" මම පුස්තකාලෙන් නාට්‍ය පොත් අර ගෙන කියෙව්වා. 'පේමතෝ' පොතේ කවි මම දැක්කා. හරිම ලස්සන කවි...අයියා ඒ වුණාට මුලින්ම ඒක කිව්වෙ නැත්තෙ ඇයි?
" මම කියන්නම තමයි හිටියෙ, එහෙමම අමතක වුණා. ඔයා සිංදු පාඩම් කළාද?"
මට අමුතුවෙන් සිංදු පාඩම් කරන්න ඕනි නැහැ කියල එයාට මොකටද මම කියන්නෙ. මට දෙසැරෙ කියන කොට සිංදු සේරම පාඩම්.
" අපි නුවර ගියා...පේරාදෙනියෙ නාට්‍ය උළෙල බලන්න. නාට්‍ය තුනක්ම බැලුවා. ආවට පස්සෙ ගත කරපු හොඳම වීක් එන්ඩ් එක"
එතකොටම සර් ආපු නිසා අපිට කතාව නතර කරන්න සිදු වුණා. අනික් කට්ටියට තැන් තැන් වල ඉඳලා වේදිකාව අසලට කිට්ටු වුණා. සචින් අයියා හිතන්න ඇති මම කවි වලට වශී වෙලා අද එයාගෙ කාර් එකේ යන්නත් ඒවි කියල. ඒකනෙ අද කාර් එකෙන් ඇවිත් තියෙන්නෙ.
තව දිගට කතාව ගෙනියලා තරිඳු ගැන කියන්න මට උවමනාව තිබුණත් ඒ අරමුණ ඉටු වුණේ නැහැ.
අද තනියෙන් සින්දු කියවල චරිත වලට දමනව කීව. එක චරිතෙට දෙන්නෙක්ව පුරුදු කරනවත් කීවා. පළපුරුදු නිළියක් වැඩිය පුහුණුවට ආවෙත් නැතුව එයාට ප්‍රධාන චරිතය දුන්නා. මට උප ප්‍රධාන චරිතය ලැබුණා. මට හිතට ලොකු සතුටක් දැණුනා. ඒක මංගල දර්ශනය දක්වාම කාටවත්ම කියන්නෙ නැහැ කියල හිතුවෙ නාට්‍ය ලෝකෙ කැපිලි ගැන මම අහල තිබුණු නිසා.
ප්‍රධාන නිළිය මගෙන් ඇහුවා මම මීට කලින් නාට්‍ය වල රඟ පාල තියෙනවද කියල. මම නැහැ කිව්වම එයා කියනවා මාව කෝරස් එකටලු දමන්න තිබුණෙ. එයා ගිහින් අධ්‍යක්ෂ තුමාටත් මොනවද කුටු කුටු ගානවා
. " මලිති, මෙහෙ එන්න. ස්ටේජ් එකට ගිහින් නාට්‍ය ගීතයක් රංගනයක් එක්ක ඉදිරිපත් කරන්න."
අධ්‍යක්ෂක තුමාට ඕනි වෙලා මගෙ හැකියාවන් මත පමණක් මාව දෙවෙනි ප්‍රධාන චරිතයට තෝර ගත්තු බව පෙන්වන්න. එහෙම මොකට එයාට යට වෙනවද? දැන්මම එයාගෙ ආධිපත්‍යය පතුරුවන්න ප්‍රධාන නිළියට අවශ්‍ය වෙලා.
මමත් කිසිම පැකිලීමක් නැතුව වේදිකාවට නැග්ගා, බිමට නැමිල දැතින්ම වේදිකාවට ආචාර කරලා වේදිකාවෙ මැදට ගියා. මට පොඩ්ඩක් වත් බයක් දැනුණෙ නැහැ. වේදිකාවට යන්න ඉස්සර මම සචින් අයියට කියා ගෙන ගියා මම රඟන්න යන ගීතය. එනිසා මම ඔවුන් දිහා බැලුවා. ඔහු මද්දලය වයන්න පටන් ගත්තා. හාර්මෝනියම් එකත් වාදනය වෙද්දී මම ගමන් තාලයට අනුව පා තබමින් ගීතය පටන් ගත්තා.
' ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා...
සේ සොමි ගුණෙනා....
ආදර දිනනා සිසු සැවොමා....
රාජ ගුරුන්ගේ යුත් නැණ බෙලෙනා...
වෙමි මම සුවචා දූ කුමරී...ඊ..ඊ..'
මම මුළු ගීයම ඉදිරිපත් කළා. ගීය අවසානයේ හැමෝම අත් පොලසන් දුන්නා. අර නිළියට මොනව හිතුණද මන්දා? ඇය මා ළඟට ඇවිත් අතට අත දුන්නා.
" ඔයා මනමෙ කරල තියෙනවද? ඔක්කොම වචන කට පාඩම් නේද?"
" මනමෙ කරලා නෑ අක්කෙ...මට ඉබේටම පාඩම් වෙලා.."
" හරිම ලස්සනයි. ඔයා ඔයාගෙ ඇස් වලින් ගොඩක් රඟ පානවා"
" තෑන්ක්ස් අක්කෙ, අක්ක ඉතින් ගොඩාක් දක්ෂ කෙනෙක් නෙ..මට අක්කගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්"
මම කියපු එකට එයාට ගොඩක් සතුටුයි. එයාව ශේප් කර ගෙන ඉන්න එක හොඳයි කියල මට හිතුණ. දැන් වත්සලා අක්කගෙ අමනාපයක් නැහැ වගෙ. විරුද්ධත්වයකුත් නැහැ වගෙ. සචින් අයියත් මට සුබ පැතුවා. මට නාට්‍යය කරන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසයක් හිතේ පිරුණා.
(මේ.... මට වෙච්ච වැඩක් දන්නවද? මම එක කතාවක් ලිය ලියා ඉන්දෙද්දි මගෙ ලොක්ක ඇවිත් රිපෝට්ස් වගයක් ඉල්ලුවා. ඒවා හොයන්න ගිහින් මහ අවුල් ජාලයක් වුණා. මම ලියපු ලස්සන කතාවක් හොරු අරන් ගිහින් වගෙ නැති වුණා. ඒක මම ආයෙම ලියන්නම් කො. මේ කථාව ඊයෙ අඩක් නිම කළ එකක්. අද ඉතිරි ටික ලිව්වා, අනික් කතාව අතුරුදහන් වුනාට පස්සෙ. ඔක්කොම ටැපලිලා!)
Sunday, September 6, 2009
Subscribe to:
Post Comments (Atom)
4 ක් අදහස් දක්වලා.:
අර කලින් ලියවිල්ල බාගයක් බලනකොට මොකක්ද වැඩකට යන්න වුන නිසා බලාගන්න වුනේ නැහැ නෙව. ඉතින් මෙහෙ බලලා එහෙ බලනකොට ඒක අක්කණ්ඩි අතුරුදහන් කරලා නෙව. ඉතින් මොනවා කරන්නද...
මේ කතාවත් එළ! :)
Draft විදියටවත් නැද්ද?
නාට්‍ය ලෝකෙ විතරක් නෙමෙයි කැපිලි තියෙන්නේ. මටත් පොඩී අත්දැකීමක් තියෙනවා ලොකු චරිතයක් ලැබිලා පස්සේ කැපිලා ගිය. නාට්‍ය නෙමෙ. වෙන කෙහෙල්මලක්.
දැන් මේක ඇත්ත කතාවක්ද ලියන කතාවක්ද මට මාර පැටලිල්ලක් වෙලා තියෙන්නෙ
Post a Comment