Tuesday, September 15, 2009

මරන තුනක්

Tuesday, September 15, 2009




 
හිත හතර අතේ දුවනවා. කතන්දර කියන්න බැරි තරමක් එකතු වෙලා හිතේ පෙරහැරක් වගේ ඉදිරියටට එනවා. කස කාරයන්ට ඇඳල එන කතන්දර , චට පට ගාල පුපුරල ටිකකින් සද්දෙ නැතුව ඉක්මණට අමතක වෙලා යාවි කාටත්. ඒත් පෙරමුණේ රාළ වගෙ කෙනෙක් ඉස්සරහින් යනකොට ඒව කාගෙ හිත් වලත් අපූරුවට මතක තියේවි. මහා තෙජස් විලාසෙන් පෙරහැරෙ ඉස්සරහින්ම ගමන් කරන්නෙ, පෙරමුණේ රාළ තමයි. පෙරහැර යන ගමන් මාර්ගය සටහන් වෙලා තියෙන තල් පත අඩංගු මංජුසාව දෝතින් දරා ගෙන පෙරමුණේ රාළ අලියා පිටේ යනවා. නුවර පෙරහැර කොයි තරමක් බැලුවත් ඇති හිතෙන්නෙ නැති කලා නිර්මාණ එකතුවක්. හැබැයි අද මම කියන්න යන්නෙ නුවර පෙරහැර ගැන නම් නෙවේ.
මම හුඟක්ම ඉස්සර කියවපු පොතක තිබුණු අපූරු කතාවක් මතක් වුණා. සමහර උදවිය අහලත් ඇති, නැතුවත්ඇති... සමහර විට එච්.ජී.වේල්ස් මැති තුමා ගැන. එතුමා ලියපු පොතක් තිබුණා කාල යන්ත්‍රයක් ගැන. එහෙමත් නැත්නම් 'ටයිම් මැෂින්' එකක් ගැන. පොතේ නමත් 'ටයිම් මැෂින්' තමයි. ඒකෙන් චිත්‍රපටියකුත් හැදුවද කොහෙද? ඒ කතාවෙ තිබුණා, අමුතුම වර්ගයේ ඔරලෝසුවක්. හැම ඔරලෝසුවක වගේම ඒ ඔරලෝසුවෙත් මිනිත්තු කටුවකුයි, පැය කටුවකුයි තිබුණා. ඉතින් වෙනසකට තිබුණෙ මේ ඔරලෝසුවෙ මිනිත්තු කටුවට නැග්ගම අතීතෙට යන්න පුළුවන්. පැය කටුවට නැග්ගම අනාගතයට යන්න පුලුවන්.
මමත් ඒ වගෙ ඔරලෝසුවක් අරගෙනයි අද ආවෙ, 'පුලිනතලාවට'. ඉතින් මට හිතෙන හිතෙන වෙලාවට ඔය එක කටුවකට නැගල අතීතෙට හරි අනාගතයට හරි ඉගිල්ලෙනවා. ඔන්න මට මතක් වුණා, අපේ නංගි කෙනෙක් කියපු කතාවක්.
'ක්‍රොනොලොජි' පටලවා ගන්න එපා කියලා. ඕගොල්ලො දන්නවද ? මම නම් පැටලෙන තරමට මයි කැමති. නිකම්ම සරල රේඛාවක් වගෙ ජීවිතේ ගලා ගෙන ගියාමත් කිසිම ගතියක් නැහැ නේද? හැල හැප්පීම්, වැටීම්, නැගිටීම් ඔක්කොමගෙම සංකලනයක් වුණාමයි ජීවිතේ ඇඹුල්තියල් වගෙ රසවත් වෙන්නෙ.
අනං මනං කියන්න ගිහින් කතාවත් අමතක වුණා. නවත්තපු තැනටම යමුකො. ඉතින් දැන් අපෙ වේදිකා නාට්‍යයෙ මංගල දර්ශනයත් හෙට. අද ලයිට් රිහර්සල් සහ ඩ්‍රස් රිහර්සල් දෙකම එකට කෙරෙනව ලුම්බිණියෙම. ලුම්බිණියෙ මංගල දර්ශන කළාම නාට්‍යය හොඳට දුවනවා කියලා නාට්‍ය ප්‍රජාව අතරෙ පිළිගැනීමක් තියෙනවා. ඒකම තමයි අපේ අධ්‍යක්ෂක තුමත් ඒ රඟ හලේම නාට්‍යයෙ මංගල දර්ශනය කරන්න හිතන්න ඇත්තෙ.
දවස ගෙවිල ගිය ඉක්මන. සිතුවිලිත් එක්ක හැල හැප්පෙන කොට වෙලාව යනව දැනෙන්නෙ නැහැ. මේ දවස් වල පොතක් සටහනක් ලඟට යන්න ඇස්වලට හිතුනෙම නැහැ. ඒකත් එතරම් හොඳ ලකුණක් නෙවෙයි.
මම නාට්‍යය බලන්න එන්න කියල තරිඳුට ප්‍රවේශ පත්‍රත් යැව්ව. එනවම කියල කෝල් එකකුත් දුන්න ඊයෙ. කට්ටියම එන්නෙ නැතෑ.
 ඇඳුම් අඳින්න ඉස්සරින් මේක් අප් දාගෙන ඉන්න කියල අධ්‍යක්ෂක තුමාගෙ සහකාරිය අපට කීවා. එයා තමයි නාට්‍යයෙ වෙස් නිර්මාණය කරන්නෙ. අංග රචනය කළාට පස්සෙ මගෙ මූණ මට වත් අඳුනගන්න බැහැ වගෙ. නාට්‍යෝචිත විදිහට නහය, ඇස්, දෙකම්මුල් මතු කරල අර ගෙන. නළු නිළියන්ගෙ හැඟීම් දුර ඉන්න අයට වුණත් පැහැදිලිව පෙනෙන ආකාරයට. අධ්‍යක්ෂක තුමාගෙ බිරින්දෑ මට ඇඳුම් අන්දන්න ආවා.
"අපෙ අළුත් නිළියට මම අන්දන්නම් කෝ"
ඇය රත්තරන් පාට රෙද්ද ධෝතියක් වගෙ මට අන්දනව. රැලි එකට එකතු කරල එක රැලි ගොන්නක් ඉනේ කොඳු ඇට පේලිය ළඟින් යට කළා. අනික් රැලි ගොන්න නාභිය ලඟින් යටට ගැහුවා. මට එතකොට කිති කැවිල, උරහිස් ඇකිළිලා 'ඊක්' කියවුණා. ඒකට ප්‍රධන නිළියගෙ මුණ පුරා හිනා ගඟක් පුපුරා හැලුණා.
"නාට්‍යය දෙක තුනක් කරන කොට ඔය කිචි ඇරිල යයි", ඇය කිව්ව. නේපත්‍යගාරයෙ හිටි ඔක්කොමල ඒකට මහ හයියෙන් හිනා වුණා. ඒ මොකද කියල මට එදා නම් තේරුණේ නැහැ. ඒත් ගායක කණ්ඩායමේ හිටපු සන්ධ්‍යා ඒ මොකද්ද කියල මට පස්සෙ කියල දුන්න.
"ශාලාව නරඹන්නගෙන් පිරිලා" කියලා හැමෝම කියන සද්දෙ මට අහෙනව. මුළු නාට්‍ය කණ්ඩායමටම වේදිකාවට එන්න කියල දෙබස් මතක් කරල දෙන අක්ක කියාගෙන ගියා. වේදිකාව මැද්දෙ පොල්තෙල් පහණක්. සේරම රවුමක් හැදිල ඒ පහණ වට කරල. අධ්‍යක්ෂක තුමා, බිරිඳ, සචින් අයියා, අංග රචන ශිල්පී අයියා...පොතේ ගුරු අයිය, ප්‍රධාන නළි නිළි යුවල ඔක්කොටම කතා කළා, පහන් පත්තු කරන්න. ඊට පස්සෙ අධ්‍යක්ෂක තුමා පුංචි කතාවක් කරල අපිට සුභ පැතුවා. අපි ඒ යුවලගෙ පා වැඳල ආශිර්වාද ලබා ගෙන ඉවර වෙනවත් එක්කම පළමුවෙනි සීණුව නාද වුණා.
මගේ මුළු සර්වාංගයේම සීණු දහයක් පහළොවක් විතර නින් නාද දෙන්න ගත්තා. චකිතය, සබකෝලය එක්ක තව මොන මොන වදෝ කියා ගන්න බැරි හැඟීම් සමුදායක් මුළු සිරුර පුරාම රුධිර සංසරණ පද්ධතිය දිගේ ගලා ගෙන යනවා. පපුවෙත් දෙමෝලෙ පිටි කොටනව වගෙ.
ප්‍රධන නළුවා වේදිකාව පිටුපස කලු තිරයකට දෑස් යොමා ගෙන ඉන්නවා. මට හිතුනෙ එයා චරිතයට සම වැදෙනවා කියලා. ඒක හොඳ දෙයක්, ඉගෙන ගන්න කියල මට හිතුණා. මමත් වේදිකාවෙ පැත්තක තියෙන තිරයක් දිහාව බලා ගෙන මගෙ චරිතයට පිවිසෙන්න හිතට අණ කළා. මුලින්ම තියෙන ගීත එක්කලා දෙබස් හිතට ඇදල ගන්න හදන කොට තරිඳුත් එනව හිනා වෙවී, හිත් අහසට. එතකොට ගීත සහ දෙබස් තාරුකා වෙලා සඳේ මුකුළු වලට යට වෙනව. නිශ්ප්‍රභා වෙල යනව වගේ...
දඩබ්බරී තරිඳු දිහාවට උපහාසත්මක බැල්මක් දමලා මොනවදෝ කියන්න හදනවා.
" මේ, ඔය ළමයට නාට්‍යය කර ගන්න දීල ඔයා පැත්තකට වෙනවද" 
ඔලුව ගස්සල මම හිත එකඟ කර ගත්තා. සියලු අවශේෂ දේවල් හිතින් මදකට වත් බැහැර කරන්න කොච්චර අමාරුද? මිනිස්සු කොහොමද මන්දා භාවනා කරනව කියන්නෙ. මගේ හිත නම් එක තැනක රඳවගන්න හරිම මාරුයි.
'දූරං ගමං ඒක චරං' තමයි හැම තිස්සෙම. හීලෑ කමක් ඇත්තෙම නැහැ.
ඔන්න තුන් වෙනි සීනුවත් නාද වුණා. තිරය හෙමි හෙමින් දෙපසට මෑත් වෙනවා. පොතේ ගුරු මුළින්ම වේදිකාවට පිවිසෙනවා....ඒ පසුපසින් ගායක කණ්ඩායම මද්දලේ තාලෙට ගමන් පදයකට පියවර තබනවා, ලතාවකට. මම පොඩ්ඩක් වේදිකාවට පිවිසෙන ගමන් පදය එක තැන කරලා පුරුදු වුණෙ හිතේ සැක දුරු කරගන්න.
නාට්‍යය අවසාන වෙන්න ඉස්සර ඉඳන්ම අපිට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. කර්ට්න් කෝල් එකේදි මහා වැස්සක් වගෙ අත්පොලසන් නාද කඩා හැලෙනව. මම වේදිකාවට එද්දිත් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.
"කමෝන් මලිති" කියලත් කවුදෝ කෑ ගැහුව. ඒක පේරාදෙනිය පැත්තෙන් ආපු සද්දයක් කියල මට හිතුණා. තරිඳු ඇවිත් ඇති, රුවිනිල සේරමත් පිරිවරාගෙන. මම හිතුවෙ තිරය වැහුවට පස්සෙ ඉක්මනට ඇඳුම් මාරු කර ගෙන තරිඳුල ගාවට ඉගිල්ලෙන්න. ඒ වුණාට කට්ටිය එනව වේදිකාවට, නළු නිළියන්ට සතුට බෙදල දෙන්න හාදු වලින්. සිපාචාර, ආචාර සමාචාර, එක එක විදිහෙන්. මම අලුත් නිළියක් නිසා කවුරුවත් එන එකක් නැහැ, හිත ඇබින්දක් චංචල වෙනවා.  
"මලිති.."
මම පය ඉක්මන් කෙරුවෙ ඇඳුම මාරු කරගන්න දුවන්න කියලා. ඉස්සරහට තියපු පය එක වරටම ඉද්ද ගැහුව වගෙ නැවතිලා.
'ආපසු හැරෙන්' මගෙ හිත මට අණ දෙනව. ආපහු හැරුණ මගෙ ඇස් ඉස්සරහ හීන කොදෙව්වක්.
 "මෙයා කොහෙන්ද ආවෙ?"
හීනයක්ද, හැබෑවක්ද කියල මට නිනව් නැතුව ගියා. මගෙ දෙපා මට නලංගු නැහැ.
අපි දෙන්න එක ළඟට ඇදුනෙ, කාන්දම් දෙකක් වගෙ. ඒත් කාන්දම් දෙක එකට ඇලෙන්න ඉස්සරින් මම සිහි එළවගත්ත. අපේ ඇස්වලින් ගලාගෙන යන ආලෝක දහරාවන් සප්ත වර්ණ, සප්ත ස්වර සේරම කැටි කර ගෙන එහා මෙහා විදුලි රේඛාවන් වගෙ සසල වෙනව. ඔහු ඇවිත් මගෙ අත් දෙක දෑතින්ම ග්‍රහනයට ගත්ත. හිනා මල් පිපෙන්න බලා ගෙන හිටිය ඇස් වලින් වැහි වතුර කඩා හැලෙනව.
"මට සමා වෙන්න රත්තරං"
එයා කිව්වෙ, මගෙ ඇස් වලින් කම්මුලට පනින්න දැඟලුව වැහි බින්දු එයාගෙ ඇඟිලි තුඩු වලට අර ගෙන. මට කිසිම දෙයක් හිතා ගන්න බැහැ. මම එයාගෙ පපුවට ගහ ගෙන ගහ ගෙන ගියා...හිතෙන්. හිත් වක්කඩ කැඩිලා ගලා හැලෙද්දි පරිසරය බැම්මක් බඳිනවා. මෙතැන බැරෑරුම් දර්ශනයක් මවා පන්න පුළුවන් කමක් නැති හින්දම මම මහ හයියෙන් එයාගෙ අත් කෙනිත්තුව.
"ඔයා ඕනි දෙයක් කරන්න මලිති. ඔයාට ඒකට අයිතියක් තියෙනව."
" කොහෙද ඔයා ඔච්චර කල් හැංගිලා හිටියෙ...?"
මට මොනවා වුනාද මන්දා? මට හිතුනා එයාගෙ පපුවට හිස තියා ගෙනා කෑ ගහල අඬන්න. හිතේ දුක නැත්නම් කොහොමද එයාට දැනෙන්න කියන්නෙ. තවමත් අපි දෙන්නගෙ අත් එකට එක හිර වෙලා, මිදෙන්න ඕනි කමක් නැහැ. වචන වලට නිවාඩු දීලා අපි ඇස් වලට කතා කරන්න ඉඩ හැරියද..නැත්නම් නිශ්ශබ්ද තාවයෙ සොඳුරු බව විදින්න හිත් වලට හිතුනද?
"ඇයි ඉන්ද්‍රයියෙ, මට මෙහෙම කරේ?"
"ඔයාගෙ පිංතූරෙ පත්තරේ දැක්ක දාම මම හිතුව මම ඔයාව බලන්න එනව කියල....." එයා දිග කතාවකට මුල පුරන්න හැදුවා. එතකොටම රුවිනි දුවගෙන ඇවිත්, මාව බදා ගත්තා. එයාගෙ පස්සෙන් තරිඳු සහ අනෙකුත් පිරිවර. මම වළාකුළක ඉඳන් බිමට කඩා වැටුණ.  
"ඔයා ලස්සනට රඟ පෑවා. අපි හිතුවට වඩා කෙල්ලට ලස්සනට සින්දු කියන්න පුළුවන් නෙ"   
තරිඳුත් ඇවිත් පුරුදු සන්සුන් කමින් සුභ පැතුවා. මොහොතකට ඉස්සෙල්ල සිදුවුණු ආශ්චර්යය මාව කොහෙදෝ වට වන්දනාවක ගෙනිහින් වංක ගිරියක අතරමං කරලා වගෙ. 
" රුවිනි, මේ ඉන්ද්‍රයියා...මගෙ නෑ කෙනෙක්."
ඉන්ද්‍රයියා අතරමං වෙන්න ඉස්සර මම පරෙවියෙක් වෙන්න හදුවා.
" මේ තරිඳු..." 
" හා.හා..ඔයා දැන් ඇඳුම් මාරු කර ගෙන එන්න. ඔයාගෙ නෑදෑයෙක් නම් අපිට හෙමීට අඳුන ගන්නම් කො"
මට තරිඳුගෙ ඇස් දෙක දිහා එක එල්ලේ බලන්න බැරි ගතියක් දැනුණා. ඉන්ද්‍රයියගෙ ඇස්වල හැංගෙන්න හිතන මගෙ ඇස් වලට සම්ප්‍රදායිකා තරවටු කරනවා. දඩබ්බරී ඉඟි බිඟි කරනව, කල්ල කමට. හිත අවුල් කරන ව්‍යාකුලයාගෙන් මිදෙන්න හොඳම දේ, ටිකකට මේ ගොල්ලන්ගෙන් මිදිලා ඉන්න එක. මට එහෙම හිතුණා.
නේපථ්‍යගාරයට යද්දි සචින් අයියා බලා ගෙන ඉන්නව දොර ළඟ, මට සතුට පළ කරන්න. අනේ..! දෙයියනේ . 
" නංගි, අද හරිම ලස්සණට ඔයා රඟ පෑවා. අධ්‍යක්ෂක තුමා ඔයා ගැන හරියට පැහැදිලා ඉන්නෙ. ඔයා කොහොමද යන්නෙ, මම ගිහින් බස්සන්නද?" 
" බොහොම ස්තුතියි අයියෙ, මගෙ බෝඩිමේ යාලුවො ඇවිත් ඉන්නවා. මම ඒ අය එක්ක යන්නම්" එක මරණෙකින් ගැලවුණා.
' මරන තුනක් ඇති මිනිහෙක් පැනි කෑය' කවියකුත් ඇවිත් මට ඔච්චම් කරනවා.
මූණේ තවරපු සායම් ඉවත් කරද්දිත්, ඇඳුම් මාරු කරද්දිත් තොවිල් නටන සිතුවිලි මගෙ හිතට නිස්කාන්සුවක් දෙන්නෙම නැහැ. මම තරිඳුට ඉන්ද්‍රයියා ගැන කිසිම දෙයක් කියල නැහැ. වෙලාවක් ආවෙත් නැහැ නෙ, කතා සරිත් සාගරයෙ පිටු පෙරලන්න.
එන දේකට මුහුණ දෙනවා. ආයෙත් හිත දෙගිඩියාවක. අනේ..මොකටද මෙහෙම දේවල් මට විතරක්ම වෙන්නෙ. මට හිතෙනව හැමෝගෙන්ම ඈත් වෙල මුහුදු වෙරළට ගිහින් තනියෙම නැගිල බිඳෙන රළ ගෙඩියක් එක්ක ඈත දියඹට ගිහි හැංගෙන්න.

5 ක් අදහස් දක්වලා.:

Supun Sudaraka said...

හපෝයි! :-o

මේනක අබේරත්න said...

අක්කේ, ඉතිරි ටිකත් ඉක්මනට ලියනවද?
හරිම ලස්සනයි...!!

දුකා said...

මේකේ ඉතුරු කොටස බලනකම් මට නම් සිහියක් නෑ . . . !

ඔය ස්පීඩ් එකෙන්ම ලියල අපේ මනදොල සපිරුවොත් මොකෝ අක්කන්ඩි . . .

LishWish said...

අනේ අක්කේ ඉක්මනට ඉතිරියත් පළ කරන්න. දුකා විතරක් නෙමෙයි මමත් බලාන ඉන්නවා.

සුභ පැතුම්...!

නීනු said...

very nice.....I like it aunty...very nice

Post a Comment