Thursday, September 17, 2009

සිහිවටනය

Thursday, September 17, 2009
අද නම් මිනිත්තු කටුවට නගින්නෙත් නැතුව, පැය කටුවට නගින්නෙත් නැතුව කටු දෙක හරි මැද්දෙ හිට ගෙන ඉන්න ඕනි කියල මට හිතුණා. වර්තමානයෙ සිදුවන සිදුවීමුත් කවුරු හරි සැලසුම් කරල, අදෘශ්‍යමාන බලවේගයකින් ක්‍රියාත්මක කෙරෙනවද කියල හිතෙන තරමටම ඒවා ගුප්ත බවකින් පිරිලා.
මට හිතාගන්න බැහැ, මොකද සුමිත්ත මේ ලේඛකයාගෙම පොතක් අපේ හමුවීමේ සිහිවටනයක් විදිහට මට ගෙනැත් දුන්නෙ කියලා. එයා දන්නෙ කොහොමද ඒ පොත මගෙ ජීවිතයට සම්බන්ධයි කියල. පර චිත්ත විජානනනය තියෙනවයැ එයාට. නිකමට ගෙනෙන්න ඇති. ඒකටත් ඉන්ද්‍රයියා කියනව වගේම 'ගුප්ත' කියල ලේබලයක් අලවන්න තමයි වෙන්නෙ. 
මම ඒ පොත කියවල තිබුණෙ නැහැ. එයාගෙ පොත් ගොඩක් කියවන්න මට ලැබුණෙ නැහැ, මම දැන් අවුරුදු ගණනාවක ඉඳල රටින් පිට වෙලා නිසා. බැලුවම මේ පොත පුරාම මාව එක එක චරිත වලට ආදේශ කරලා. එයාට මොකද මගෙ ජීවිතෙන් අත් මිදෙන්න බැරි. මම ඒ ගොල්ලන්ගෙන් මිදිලා දුරු රටකට වෙලා ඉන්නෙ ඒ ගොල්ලන්ට ඕනි විදිහකට ප්‍රේම පුරාණයන් ගොඩ නගා ගෙන ඒ මත්තෙම මියැදිල යන්න කියලා හිතා ගෙන.
එහෙම ඉඳලත් මේ පොත පුරාම මගෙ සිතුවිලි පරම්පරාවන්, මගෙ ඇවතුම්, පැවතුම්, කොටින්ම මාව දික් අතට හරස් අතට විච්ඡේදනය කරල. මම කිව්ව මට මේව ලියන්න වෙලාවක් නැති නිසා ඔයාම ලියන්න කියල දවසක්. 
ඇමීබාවෙක් කැපුවම වගෙ, කපන කපන කොටස මගෙම කොටස් වෙලා විවිධ චරිත වල වෙස් අර ගෙන මගෙම චරිතය විවිධ නම් වලින් නිරූපනය වෙනව. මම කියපු දෙබස් එහෙමම තියෙන කොට මට බකස් ගාල හිනා යනව. තවත් වෙලාවක දුන්හිඳ ඇල්ල වගෙම ඇස් කඩා හැලෙනවා.
මම පොත කියවන තැනට ඇවිත් ඊ මේල් බලන දෝනිටත් හිනා.එයා දන්නව මම පොත් කියවන කොට කොක් හඬ දීලා හිනා වෙන්නත්, හරකියෙක් වගෙ අඬන්නත් දක්ෂයි කියලා. ඒ ගොල්ලො ඒවා ඒ ගොල්ලන්ගෙ පුංචි කාලෙ ඉඳලම අත් දැකීම් වලට එකතු කර ගත්තු දේවල් නිසා, මගෙන් මොකුත් අහන්නෙ නැහැ.
මගේ හිත පහුරු ගාන නිය පහරවල් සියුම් වේදනා රොත්ත බුරුත්තක් අතීතයෙන් උඩට හාරල ගන්නව. ඕවට නම් මම සැලෙයි කියල මගෙ ආඩම්බර හිත පාරට්ටු කිව්වට, ඔන්න දන්නෙම නැතුව අසනි වර්ෂා ඇද හැලෙනවා. අනුන්ගෙ ආදරයක් නෙවේ නේ, මොන තරම් සීරු මාරුවෙන් ලිස්සල යන්න හැදුවත්. මගෙ හිතටම දැණුනු, මමම විඳපු දේවල් නේ. තුන්වෙනි පාර්ශවයක් විදිහට පෙම් කතන්දර වල අවශේෂ චරිතයක් වෙනවට වඩා මගෙම ජීවිතයේ එක එක යුගවල ළඟට ආපු, දුරට ගියපු...එන්න වගෙ දුරින් හිටපු...ඒ වගෙම දුරු වෙලාම යන්න ගියපු අය මට ලියන්න ඕනි තරම් අනුභූතීන් තිලිණ කරපු එකත් භාග්‍යයක් කියලයි මට හිතෙන්නෙ වෙලාවකට. 
ඉන්ද්‍රයියගෙ සුදු, උස සිහින් සිරුර ඇතුලෙ මේ වගෙ මනුස්සයෙක් හැංගිලා ඉඳීවි කියල මට නම් නිකමට වත් කවදාක වත්ම හිතුණෙ නැහැ. එයාට එහෙම වෙන්න ඕනි වුණේ ඇයි? තවමත් උත්තරයක් නැති ප්‍රශ්නයක් වෙලා ඒක හම දාමත් මගෙ හිත ඇතුළෙ ප්‍රශ්නාර්ථයක්ව තියේවි.
කතන්දර පොතට මෙහෙම කළොත් ඒකමිතිය නැතුව අච්චාරුවක් හෝ සලාදයක් වගෙ වේවි කියල සචින් අයියා කිව්වත් මම එයාට දුර කතනයෙන් දුන්නු උත්තරේට එයා ගොළු වුණා. 
"මගෙ ඇත්ත ජීවිතේ සැලසුමක්, වැඩ සටහනක් නැතුව, යන යන අතේ ගලා ගෙන ගියෙ මහ වැස්සකට කුණු රොඩු ඔක්කොම එකතු කර ගෙන ඉවක් බවක් නැතුව ගලා ගෙන යන මඩ වතුරක් වගෙ නෙවෙයිද, සචින් අයියෙ? අඩු ගණනෙ ඔයා වත් දුරු රටක ඉඳගෙන හරි මගෙත් එක්ක මේව බෙදා ගන්න එක ලොකු දෙයක්."
එයාට තේරුණා වෙන්න ඇති, හිතෙ සුව වෙලා තිබුණු තුවාල වල කලු කබොල්ලට යටින් තවමත් උණු ලේ එක්ක රිදුම් දෙන සැරව සෛල වේලිලා ගිහින් නැති වග.
" අනේ..සොරි, මලිති නංගි"
" ඔයත් මාව රැවැට්ටුව නේ...මතකද? ඉසෙල්ලම ඩොක්ටර් සරච්චන්ද්‍රගෙ පේමතො කවි මට වගෙ ලියල දුන්න. ඒ වෙන කොටත් ඔයා බැඳල බබෙකුත් හිටියා කියල ඔයා මට කිව්වෙම නැහැ නෙ." 
" ඒ මට ඔයාගෙ ආදරේ ලබා ගන්න තිබුණු ඕනි කමට නෙ, බබා." 
නාට්‍ය කණ්ඩායමේ සමහරුන්ට ඕනි වුණා, මාව සචින් අයියට ජෝඩු කරන්න. ඒ පසු කාලීන වැඩ පිළිවෙලවල් හිත් වල සනිටුහන් කර ගෙන. ඒ නිසාම අපි වෙන ප්‍රදේශ වල නාට්‍ය දර්ශන වලට යන කොට හිතා මතාම එක ළඟින් වාඩි වෙන විදිහට සැළසුම් හදනව. සචින් අයියා මගෙ ආරක්ෂකයෙකු විදිහට ඉඳල මගේ හිතේ ප්‍රේමයක ගිනි පුපුරු, අළු යට තියෙන්න හැරියා. 
එයාගෙ අදහස තේරුම් ගන්න මට සෑහෙන්න කල් ගියා. අනුන්ගෙ කවි ලියල මට ගෙනත් දෙන එක අත හැරියට පස්සෙ එයා අනුගමනය කළේ වෙනම ක්‍රමවේදයක්. කියවන පොත්වල සිත් ගන්නා සුළු සියුම් කොටස් වලට යටින් ඉරි ඇඳල මට කියවන්න දෙනවා.
මමත් බූරු වහන්සෙ වගේ ඒව කියවනවා, මේ ගොතපු ප්‍රබන්ධයන් නේද කියල හිතන්නෙ නැතුව. එයා ඉරි ඇඳපු කොටස් මගෙ හිතෙත් සියුම් තැන් වලට ඉදිකටු අනිනවා වගෙ ඇනිල හීන් ලේ බින්දුත් පනින්නට තරම් දරුණු වෙනව.
ඔය අනික් අය හිතන විදිහෙ රාග නිශ්‍රිත ප්‍රේමයක්ම නොවුණත්, මොකද්දෝ කියාගන්නත් බැරි, විග්‍රහ කර ගන්නත් බැරි ලෙංගතු කමක් අපි අතර නොතිබුණාම කියල කියන්නත් බැහැ. අපි රහත් වෙච්ච අය නෙවෙයි නෙ. සමහරු ඒකට, 'සොෆ්ට් කෝනර්' කියනවා. මම ඒ වචනෙ ඇහුවමයි. අපි දෙන්නගෙම හදවත් වල ඒ වගෙ අහුමුළු, කොන් ගොඩක් තියෙන්න ඇති, අපි නොදැන හිටියට ඒවා හරියටම මොනවද කියලා. 
සචින් අයියා නිසාම මම සත්‍ය සායි බාබාව අදහන්නත් පුරුදු වුණා. මට ශාකාහාරි වෙන්න හිතුණෙත් එයා නිසා. මේ අතීතය නෙවෙයි. වර්තමානය. ඉස්සර මස් කෑල්ලක් නැත්නම් බත් නොකන මම උම්බලකඩවත් නොකන තරමට ශාකාහාරි වුණා. 
එයා ඔස්ට්‍රේලියාවෙ ඉඳල නේපාලයට ආවා. මාව බලන්න විතරක් නෙවෙයි. ලුම්බිණියෙ යන්නත් එක්ක.
මම මගෙ රාජකාරී රථය අර ගෙන චන්ද මධ්‍යස්ථානයක් බලන්න යන විදිහට ගුවන් තොටුපොළට ගියා. චන්ද මධ්‍යස්ථානෙත් බලල පින්තූරත් ගත්තා. චන්ද ගණන් කරන තැනට සුදුසු කියල හිතෙන ගුරු විද්‍යාලයටත් ගිහින් එදාම පින්තූර ගත්තෙ මම කරන්නෙ රාජකාරියට පටහැනි දෙයක් නෙවෙයි කියල මගෙ හිතත් හදා ගන්න ඕනි නිසා. රියදුරා මට හරිම විශ්වාස වන්තයි. මම කිව්වෙ ඔය එන්නෙ මගෙ මස්සිනා කෙනෙක් කියලා. එයා චන්ද නිරීක්ෂණ වලට එනව කියලත් කිව්ව. 
බුදුන් ඉපදුණු දේශය බලන්න යන්න බොරු කියන එක පව් නේද කියල සචින් අයියා ඇහුවෙ, මේ ගෑණිගෙ කට්ට කම කියනව වගෙ බැල්මක් ඇස් වල ලියා ගෙනද කියල මම එයාගෙ ඇස් දෙකට රහස් පරීක්ෂක බැල්මක් හෙළුවා. එයින් නොසෑහුණු මගෙ සිත පණ්ඩිතකම් කියවනවා. 
" යහපත් දෙයක් කරන්න සම්‍යක් ප්‍රයෝග යොද ගත්තට කමක් නැහැ කියල බුදු හාමුදුරුවොත් කියල තියෙනව නෙ."
" ඔව්, ඔව්, කිතුල් ගහට වල් කපන්න ගිය මිනිහ ගෙ ගම ඕගොල්ලන්ගෙ ගමට කිට්ටුද?" කියල හිනා වුණා.
එක දිගට දවස් හතරක් යෙදිල තිබුණු සති අන්ත නිවාඩුවක එන්න කියල මම කරපු යෝජනාවට සචින් අයියා කැමතිවුණ එක ලොකු දෙයක්. කත්මන්ඩු වල බලන්න තියෙන තැන්වලට නම් වැඩ කරන දවස්වල වුණත් හතරෙන් පස්සෙ යන්න පුළුවන්. 
කත්මන්ඩුවල ගුවන් තොටුපළෙන් බැහැල එද්දි එහි බිත්තිවල ඇඳල තියෙන සිදුහත් කුමරුන්ගෙ උත්පත්තිය දිහාවෙ සචින් අයියා නැවතිල බලාගෙන හිටියා. මහමායා දේවි එතැන චිත්‍රයට නගල තියෙන්නෙ සාමාන්‍ය ගැමි ගැහැනියක් හැටියට. සූ සැට ආභරණ, හිස් පළඳනා, වළළු, මාල,කණ කර ආයිත්තම් සිත්තම් කරල නැහැ රජ බිසවකගෙ වගෙ. හරිම චාම් කාන්තාවක්. ඒ බිත්තියේ බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා මැනවින් පිළිබිඹු කරල තියෙනවා.
ලංකාවෙ වන්දනා නඩ එක්ක ලුම්බිණිය වඳින්න එන කට්ටියට කත්මණ්ඩුවල ගුවන් තොටු පොළ දකින්න ලැබෙන්නෙ නැහැ නෙ. මම ආපු දවසෙ ඔය එකක් වත් බලා ගන්න බැරි වුණෙ අපේ කාර්යාලයේ කට්ටිය එක්ක එහෙ මෙහෙ දුවන්න වුණු නිසා. අද නිදහස්. කවුරුවත් නැහැ, අණ දෙන නිලධාරීන්.
එහෙ වැඩ කරන ලංකාවෙ මල්ලිලා දෙන්නෙකුත් ලුම්බිණි යන්න ඕනි කිව්වා. එක් කෙනෙක් මුස්ලිම් නමක් තියෙන, ඒ වුණාට අපේ නාමික බෞද්ධයන්ට වඩා බොදු පිළිවෙත් අනුගමනය කරන කෙනෙක්. එයාගෙ කාමරේම සචින් අයියව නතර කර ගන්නත් එයා එකඟ වුණා. ඒත් සචින් අයියා කිව්ව එයා තනියෙම කමරයක ඉන්න ඕනි කියල. එයාගෙ බජන් කියන, පිරිත් කියන ඒවා අනික් අයට දරන්න අමාරු වේවි කියල. අපිත් හිතුවා එයා කියන එක හරිය කියලා.  
ලුම්බිණි ගමනට ඉස්සරින් මම සචින් අයියව 'මොන්කනම්මා' කියන දේවාලෙට එක්ක ගියා. මගෙ රියදුරාත්, භාෂා පරිවර්තිකාවත් මේ ගමනට සහභාගි කරගත්තෙ, නේපාලෙ වැසියො වුණත් ඒ ගොල්ලො එහෙ ගිහින් තිබුණෙ නැති නිසා. ඒ දේවාලෙත් තිබුණෙ මගේ බල ප්‍රදේශයේම වීමත් මට වාසියක් වුණා. 
පෝලිමේ ඉඳල කේබල් කාරයක ගිහින් තවත් පඩි ගණනාවක් නැගලයි, කන්ද මුදුනෙ තිබුණු දේවාලෙට යන්න තිබුණෙ. හොඳට ආවරණය කරපු කේබල් කාර්වල මිනිස්සුනව ගෙනියද්දි, එලුවො අරගෙන ගියා විවෘත රථ වල. ඒ බිලි පූජා කරන්න. අයිති කාරයන්ගෙ නම් ගහලා තිබුණ සත්තුන්ගෙ ඔලු ගෙඩි වල. 
විවිධාකාර ඇදහිලි. සත්තු මරල බිල්ලට දීල උන්ගෙ ගෙලකපද්දි ගලන රුධිරයෙන් තමයි පූජාව පවත් වන්නෙ. ලේ ගලා ගෙන යන තැනට මම නම් යන්න බැහැ කිව්ව. පහළ මළුවෙ ඉඳගෙන මම ටිකක් හයියෙන්, ඉංග්‍රීසියෙන් යාතිකාවක් කළා.
" අනේ..දේව මෑනියෙනි, ඔබගෙ නමින් මේ විදිහට කෙරෙන බිලි පූජා නවත් වනු මැනවි. මොවුන්ටත් ජීවත් වීමට අයිතියක් තියෙනවා නේද? මේ සත්ව ඝාතන නවත් වනු මැනවි" කියල.  
භාෂා පරිවර්තිකාව මගෙ දිහා පුදුම වෙලා බලා ගෙන හිටියා. සචින් අයියත් ඒ විදිහටම හිතන්න ඇති කියල මට හිතුණා. මාත් එක්ක එකම අංශයක වැඩ කරන අනික් සගයො දෙන්න මේ ගමනට ආවෙ නැහැ, ඒ ගොල්ලන්ගෙ දිස්ත්‍රික්කෙ වැඩ කටයුතු අධික නිසා. කන්ද උඩ සිරී පාදෙ වගෙ. කඩ වැහි වැහැල. වෙනසකට තියෙන්නෙ සිරී පාදෙ යන බැතිමතුන්ගෙ තියෙන කරුණ ගුණය මේ බැති මතුන් තුළ නැතී එක.
ටිකක් පහලට බැහැල එන කොට කෑම කන්න තැනුත් තිබුණ. අපි එළවළුත් එක්කයි, පරිප්පු හොදි එක්කයි බත් කද්දි නේපාල් වැසියන් දෙන්න එළු මස් එක්ක පරිප්පු හොදි දාගෙන 'සුරුස්, සුරුස්' කියල සද්දෙ කර කර බත් කෑවා. 
නාට්‍ය කරන කාලෙ හිටි සචින් අයියයි මේ සචින් අයියයි කොච්චර නම් වෙනස්ද? තැන්පත් කම, පරිණත කම....හික්මුණු, නිවුණු ගති..මට අදහගන්නත් බැහැ. ඒත් මගෙ නම් හිටපු ගමන් කෙලි කම මතුවෙල දඟලන ගතිය තවමත් අත් ඇර ගන්න බැරි වෙලා.
අපි කවදාවත්ම හිතුවෙ නැහැ, වැඩිහිටියො වෙලා මෙහෙම ආයෙත් මුණ ගැහේවි කියල. හිතන දේවල්නෙවෙයි නෙ වෙන්නෙ. ඒත් ඉස්සර හමු වීමකයි දැන් හමු වීමකයි පරස්පර විරෝධී වෙනස් කම් රාසියක්. දැන් ඇස් කතා කරන්නෙ නැහැ. ඒ වෙනුවට කල්පනාවක හෝ අවස්ථා විශ්ලේෂණ වල යෙදිලා. පොත් පත්වලට ලියන්න කරුණු එකතු කරනවා.
මම දින පොතේ ලියපු සටහන් ටික කියවගෙන ගිහින් සේව් කරල පරිඝණකය නිවල දැම්ම. හෙට ලුම්බිණි ගමන ගැන කතා කර ගන්න අපි කෑම කමරයෙදි එකතුවෙන්න සැලසුම්කර ගත්තු නිසා, පිය ගැට පෙළ දිගේ පහළට ඇදුණා.

5 ක් අදහස් දක්වලා.:

nidhahasa said...

බොහොමයක් හේතු නිසා කාලෙකින් ප්‍රතිචාර දක්වන්න බැරි වුනා. හරි අපූරුයි. :)

LazyOwl said...

Wait a sec. I'm totally lost here. Last time, I was at the point, that you had to decide whether you are going to Germany or not. Did I miss, something here? Now, how the hell, this guy "Sumiththa", came to the scene, without even introducing himself?

You owe me an explanation. By the way, thanks for the wonderful story and keeping us on the edge.

අක්කණ්ඩි said...

Just to give a shock...I am not writing chronologically. I met some body and he gave me a book as a gift. And that book put me up side down....and went back to the past....

I will continue after 2/3 days about the trip to Germany .......OK?

LazyOwl said...

Oh...., I see. No, problem. See yeah, soon.

Supun Sudaraka said...

සිරාවට, මටත් ටිකක් පැටලිලා ගියා වගේ. ටිකක්‍ නෙවෙයි හොඳටම... :D

Post a Comment